Ads 468x60px

.

ලෝක විනාශ කතාව පට්ටපල් බොරුවක්...

මේක තනිකරම හුඹස් බියක්...

ලෝක විනාශයක් සිදුවෙන බවට විද්‍යාත්මක සාක්ෂි නැහැ...

නුදුරු දිනෙක විශ්වය විනාශ වේ ය යන අස්ථාන බිය දැන් ලෝකය පුරාම පැතිර තිබෙනවා. පෙරදිග රටවලටත් වඩා විශේෂයෙන් ඇමෙරිකාව මුල්කර ගත් අපරදිග රටවල ඒ මතය වඩාත් ප්‍රචලිත වූයේ ලෝකයේ විනාශය පෙන්වන චිත්‍රපට නිෂ්පාදනය කොට තිරගත කිරීමත් සමඟයි

අතීතයේ මෙක්සිකෝවේ ගෝතමාලාවේ විසූ මායාවරුන්ගේ දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසු ලෝකය ගැන අනාවැකි නොලියවී තිබීම ඊට ප්‍රධාන හේතුවයි. කෙනෙකුට බණ භාවනා කිරීමෙන් සිත එකඟ කොට විවිධ ධ්‍යාන උපදවා ගත හැකි බවත් එසේ, සිත දියුණු කර ගත් අයට අනාගතය ඇතුළු බොහෝ දේ දැකිය හැකි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. 

 එදා ලෝකය ගැන අනාවැකි කී ඒ මායාවරුන්ගේ ප්‍රධානියා දෙසැම්බර් 21 වැනිදායින් පසු ලෝකයේ ඉදිරි අනාගතය ගැන නොලියන්නට ඇත්තේ උපදවා ගත් ධ්‍යාන බලය පිරිහීම නිසා හෝ රෝගාතුර වීම නිසා වීමට පුළුවන. එසේත් නැතිනම් ඔහු මියයාම නිසා වීමට පුළුවන. එසේ අනාගතය නොලියවී තිබීම පමණින් ලෝක විනාශයක් පිළිබඳ අද සමාජයේ ඇත්තේ හුඹස් බියක් පමණි.

කල්ප විනාශය පිළිබඳ දීර්ඝ විස්තරයක් සම්බුද්ධ දේශනාවේ අන්තර්ගතය. එය විමසීමෙන් විශ්වයේ ආරම්භයත් එහි විනාශයත් ගැන මනා අවබෝධයක් ලබා ගැනීම අසීරු වන්නේ නැත. බෝසත්වරු සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමී ධර්ම පුරණ කාලය හඳුන්වා ඇත්තේ කල්ප නාමයෙනි. එසේ කල්ප නාමයෙන් හඳුන්වා ඇත්තේ වර්ෂවලින් ගිණිය නොහැකි බැවිනි.


‘යොදුනක් දිග, යොදුනක් උස, යොදුනක් පළල ඒකඝන පර්වතයක් යම්කිසි පුද්ගලයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු කසී සළුවකින් පිස දැමුවහොත් පර්වතය ගෙවී යන්නේ ය. එහෙත් කල්පය එයටත් වඩා දීර්ඝ කාලයකැ’ යි බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ ‘පබ්බත සූත්‍රයේ’ දී විස්තර කොට ඇත. ගෙවී ගොස් ඇති එවැනි කල්පවල සීමාවක් නැති බවත්, ඒ සා විශාල දීර්ඝ කාලයක් පුරා සත්ත්වයන් සසර සැරි සරන බවත් එහි පැහැදිලි කොට ඇත.

‘යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් ගැඹුරු වළක සම්පූර්ණයෙන් ම අබ පුරවා ඇත. කිසියම් පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් එම අබ වළෙන් ඇටයක් ඉවත් කරයි. එසේ ඉවත් කර ගෙන යන විට අබ වළෙහි අබ ඇට අවසාන වෙයි. එහෙත් කල්පය ගෙවී නැත’ යි ‘සාසප’ සූත්‍රයෙන් පැහැදිලි කොට ඇත. යොදුනක් යනු සැතපුම් දහසයක් බව බණ පොතෙහි සඳහන් ය. මෙයින් පැහැදිලි වන්නේ ද කල්පයක ඇති දීර්ඝ බවයි.

මෙම කල්ප බුදුවරුන් ගේ පහළ වීම අනුව, සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ, හා මහා භද්‍ර කල්පය යැයි පස් ආකාරය. සාර කල්පයේ දී බුදුවරයන් වහන්සේ පහළ වන්නේ එක් නමකි. බුදුවරු දෙනමක් පහළ වන කල්පය මණ්ඩ කල්පයයි. වර කල්පයේ දී බුදුවරු තුන් නමකි. සාර මණ්ඩ කල්පයේ දී බුදුවරු සතර නමකි. මහා භද්‍ර කල්පයේ දී බුදුවරු පස් නමක් පහළ වන අතර අප දැන් සිටින්නේ මහා භද්‍ර කල්පයේ ය. 


මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව් නමක් ලොව පහළ වූහ. ඉදිරියට බුදු වීමට ඇත්තේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ය. ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් කාලාන්තරයක් ගතවූ පසු මේ මහා භද්‍ර කල්පය අවසන් වන්නේය.

ඉහත දැක්වූ කල්පයන්ට අමතරව බුදුවරු පහළ නො වන කල්පයන් ද අපමණ ය. ශුන්‍ය කල්ප වශයෙන් දක්වා ඇත්තේ එම කල්පයන් ය.

කල්ප විනාශය පටන් ගත් කල්හි පළමුවෙන්ම ඉතා දැඩි වර්ෂාවක් ඇති වෙයි. එයින් මහත් සේ සතුටට පත් මනුෂ්‍යයෝ තම තමන් ගේ සියලු බෝග වගාවන් පටන් ගනිති. පැළ හට ගන්නා කල වැසි වැසීමට සූදානම් වන්නාක් මෙන් මේඝ ගර්ජනා ඇති වන්නේ ය. එහෙත් වැහි බිඳුවකුදු නොවසින්නේ ය. 


එතැන් පටන් දිගු කලක් වැහි පොදක්වත් නොලැබේ. වැව් පොකුණු සිඳී යයි. ගංගාවන් වියැළේ. ගහකොළ මැරී, සතුන් මැරී, මිනිසුන් ද මැරී යන්නට පටන් ගනී. මේ කාලයෙහි ස්වල්ප වශයෙන් වුව ද පින් ඇති ස්ත්‍රී පුරුෂයෝ මැරී ගොස් දිව්‍ය ලෝකවල උපදිති. එහි ධ්‍යාන උපදවා ඇතැම් කෙනෙක් බඹලොව උපදින්නාහුය. 

කලක් ගත වූ විට දෙවැනි ඉරක් පායන්නට පටන් ගනී. මෙසේ සූර්යයන් සත් දෙනෙක් පායති. ඒ වන විට සියලු සත්ත්වයන් මැරී මහා සමුද්‍රය පවා වියළී ගොස් නිමය. සත් වැනි ඉර පායත් ම මුළු පෘථිවි ධාතුවම එක ම ගිනි ජාලයක් සේ ඇවිල යන්නේ ය. මහ පොළව විනාශ වීමෙන් පසු මුළු අජටාකාශයම මහ ගණ අඳුරකින් වැසී යයි.

මහා පෘථිවිය විනාශ වීමෙන් පසු චාතුර්මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිම්මිත වසවර්තිය යන සදෙව් ලොව ද බ්‍රහ්ම ලෝක පහක් ද විනාශයට පත්ව ආභස්සර බඹලොව දක්වා දැවී යන්නේ ය. ලෝකය විනාශ වන්නේ ඒ අයුරිනි.

ඉදින් අවුරුදු දස දහසකටත් වඩා ඉක්ම ගොස් මහා සම්පත්තිකර වර්ෂාවක් ඇති වේ. සක්වල ධාතුවම සිසිල් වේ. බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය, මහ පොළව, මහ සමුද්‍රය, ඉර හඳ තාරකා යන සියලුම දහස් ගණන් ග්‍රහ ලෝක පහළ වේ.

මෙසේ කාලාන්තරයක් ගෙවී ගිය තැන ලෝකය නැවත ප්‍රකෘතිමත් වේ. සංවට්ඨ, සංවට්ඨට්ඨායී, විවට්ඨ හා විවට්ඨායී කල්පය නමින් එය කොටස් හතරකින් සිදු වේ. සත්ත්ව ලෝකයේ හට ගැනීම පටන් ගත් පසු විවට්ඨායී නමින් දැක්වෙන හතරවන භාගයේ දී ගුණ ධර්ම නිසා මිනිසා ගේ ආයුෂ වැඩි වී සෞභාග්‍යය ද වැඩේ. 


එවිට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ද පහළ වෙති. ඒ අනුව මේ මහා භද්‍ර කල්පයේ බුදුවරුන් සතර නමක් පහළ වූ අතර, ඉහත දැක්වූ පරිදි විවර්තස්ථායි කල්පයෙහි එනම් හතරවන භාගයේ දී අවුරුදු අසංඛ්‍ය ගණන් ඉක්ම ගිය විට පස්වන බුදුරජාණන් වහන්සේ එනම් මෛත්‍රී නම් සර්වඥයන් වහන්සේ පහළ වෙති.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහාපණ්ඩිතකොටුගොඩ ධම්මාවාස අනුනාහිමි

ඒ සිදුවන්නේ මෙසේ ය. මේ බුද්ධ ශාසනය කාලාන්තරයක් ගත වන විට අධර්මය බහුල වීම නිසා පිරිහී යන්නේ ය. එම ශාසන විනාශයට හේතු සතරකි. කාලාන්තරයක් ගතවීමෙන් අනිත්‍ය ස්වභාවය සනාථ කරමින් ශාසනය අභාවයට යාම (රත්තඤ්ඤු මහත්තතා) පළමු වැන්න ය. 


බුදු දහම ලොව විවිධ රටවල පැතිර යාම නිසා ඒ ඒ මිනිසුන් අතර පවතින අනිකුත් ආගම් - ධර්ම සහ දේව විශ්වාසාදිය සමඟ මිශ්‍ර වීමෙන් පිරිසිදු බුදු දහම කුමක්දැයි අනාගත ජනයාට දැන ගත නොහැකිය. මේ අනුව ලොව අනෙකුත් දෘෂ්ටීන් විශ්වාසයන් අතරට වැටීමෙන් පිරිසිදු බුදු දහම මැකී යනු ඇත. ඒ වේපුල්ල මහත්තතාවය නිසා ඇතිවන විපතයි.

වෙහෙර විහාරස්ථානවලට - සංඝයාට අසීමිත ලෙස ධනය ගලා ඒම නිසා පිරිසිදු පැවිදි බව අමතක වීම ලාභග්ග මහත්තතාවය නිසා සිදු වේ. සතර වන හේතුව බාහුසච්ච මහත්තතාවයි. එනම් ශ්‍රාවක භික්ෂුන් වහන්සේ අනාගතයේ ලෝකයෙහි පවතින, ඇතිවන විවිධ ශබ්ද ශාස්ත්‍ර කර්මාන්ත ශිල්ප විදියට ඇබ්බැහි වීමේ පිරිසිදු තථාගත ධර්මය සුළු කොට සැලකීමයි. එය ශාසන පරිහානියට හේතු වේ. 


එවිට මනුෂ්‍යයෝ පංචශීල ප්‍රතිපදාව කඩකරන්නාහු ය. ප්‍රාණඝාතාදී බරපතළ අකුසල ධර්මයන්ට ඇබ්බැහි වන්නා හ. මෑණියෝය, නැගණියෝය, දියණියෝය, සහෝදරයෝය, මයිලණුවෝය, පියාණෝය ආදි වශයෙන් නොසලකා ඔවුනොවුන් කාම සංසර්ගයෙහි යෙදෙන්නාහුය. 

අසීමිත ආශාවක් ඇති කර ගනිති. වැඩිහිටි ගෞරවය අතහැර දමති. මෙසේ යුතුකම් නොසලකන අයුක්තියට ම නිතර කැමති පාප ක්‍රියාවන් හි නිරත මනුෂ්‍යයන් වැඩිවීම නිසා මිනිසා ගේ ආයුෂය ක්‍රමයෙන් දස වසරින් දස වසර අඩුවී ගෙන අඩුවී ගෙන යයි. අවසානයෙහි මිනිසා ගේ පරම ආයුෂ දස වසර දක්වා පහත බසී.

මෙකල හතර පස් වියේ දැරියන් ආවාහ විවාහ කර දෙති. සියලු රසයෝ අතුරුදන් වෙති. ඇල් වී බඳු අග්‍ර රසයෙන් යුත් ධාන්‍ය වර්ග නැති වේ. කඩල, කුරක්කන්, තිරිඟු බඳු ධාන්‍ය අග්‍ර භෝජනය වේ. කුසලය යන නාම මාත්‍රය පවා අසන්නට නොලැබේ. 


එකල මිනිස්සු අසවලා මව මරණ ලද්දේ ය, පියා මරණ ලද්දේ ය යි තව තවත් බිහිසුණු දේ කරන්නා හ. ඒ අපරාධකාරයා ම වීරයෙක් කොට ඔහුටම ගරු සරු දක්වන්නා හ. සතුන් මරා මස් කෑම බහුලව කරන්නා හ. කෝපය වෛරය බොරුව රජ කරන්නේ ය. රට වැසියෝ පාලකයන් ද, පාලකයෝ රට වැසියන් රවටන්නා හුය. 

දෙවියන් ගේ බැල්ම නොලැබෙන්නේ ය. එකල ස්ත්‍රී පුරුෂයන් ;ග් අධික ආශාව නිසා දුර්භික්ෂ ඇති වේ. මුළාව වැඩිවීම නිසා රෝග බහුල වේ. ද්වේශය වැඩි වීම නිසා ඔවුනොවුන් කපා කොටා ගන්නා කාල පරිච්ඡේදයක් වන්නේ ය. දුර්භික්ෂ නිසා ආහාර පාන නැතිව අපමණ සත්ත්වයෝ මැරෙති. ආහාර ආශාවෙන්ම මැරෙන නිසා ඔවුහු පේ‍්‍රත ලෝකයෙහිම උපදිති. 

රෝගාබාධ නිසා දුක් විඳ මැරෙන සත්ත්වයෝ අහෝ! මේ බඳු රෝග නම් තව කෙනෙකුට නො වැලඳෙවා යි සිතන නිසා ඔවුහු මෙත් සිතින් මැරී දෙව්ලොව උපදින්නා හුය. ඊර්ෂ්‍යාව ක්‍රෝධය නිසා ඔවුනොවුන් ඇනකොටා ගෙන තද වෛරයෙන් මියයන නිසා නරකයෙහිම උපත ලබන්නේ ය. මේ අතර මෘගසංවර්ෂාව නම් කල්පාන්ත වැස්ස ද පටන් ගන්නේ ය. 

එයින් තෙමෙන සත්ත්වයෝ ඔවුනොවුන් කෙරෙහි තද වෛරයෙන් ‘ඕකා අල්වාගනිව්, කපවි, කොටව්, මරව් යයි කෑ ගසන්නේය. අතට ගත් දේ කවරක් වුව එය ආයුධයක් වන්නේ ය. එකෙකුට අනෙකෙකු දුටු විට ඔහු - ඇය මරණු කැමැත්තම පහළ වන්නේ ය. පාපයේ බරපතළකම එතරම් වැඩි ය.

මේ දුක්ඛිත තත්ත්වය දුටු නුවැණැත්තෝ ද අතිශය ටික දෙනෙක් ම වෙති. ඔවුහු මෙසේ සිතති. අහෝ! ලෝක විනාශය පැමිණියේ ය. දෙදෙනෙකුට එක තැනක ජීවිත්විය නොහැකිය යැ’යි ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් මරා ගනු දැක වහ වහා දෙතුන් මසකට සෑහෙන්න ආහාරපාන සපයා ගෙන හුදෙකලාවම ගස් අතරට හෝ පර්වත ගුහාවකට ගොස් මාස ගණන් සැඟවී ගත කරන්නා හ. ඒ මෘගසංවර්ෂාවෙන් ගැලවෙනු පිණිසය.

එසේ බුද්ධිමත්ව සිතන්නෝ ලක්ෂයකට දෙතුන් දෙනකුට වඩා නොවන්නා හුය. අන් සියල්ලෝ ඔවුනොවුන් මරාගෙන විනාශ වෙති. කලකට පසු ගල් ගුහාවලින් නික්ම අවුත් ඉතිරි වූ දෙතුන් දෙනා සිදු වී ඇති විපත ගැන කතා කොට පාපයේ වැඩිවීම නිසා මනුෂ්‍යයෝ විනාශ වූහ. සිතාමතා කටයුතු කිරීම නිසා අපි ටික දෙනා ඉතිරි විය. 


දැන් අපි සියලු පාපයන් දුරු කරමු. වැඩිහිටියන් ගරු කරමු. ගුණදම් වඩමුයි කතිකා කොට ප්‍රාණඝාතයෙන් වළකිති. දස කුසල් සමාදන් වෙති. විෂම ලෝභය දුරු කරති. මෙත් සිතින් වාසය කරති. පණ ඇති කිසිවකුටත් සිහිනයකින් පවා විපතක් නො සිතති.

මෙම ස්වල්ප දෙනා උතුම් ගුණ වඩන්නට පටන් ගත් කල්හි ඔවුන්ගේ ආයුෂ දස වසරින්, විසි අවුරුද්ධකට දික්වෙයි.

ගුණධර්ම දියුණු වෙත් ම ඔවුන්ගේ දරුවන් ගේ ආයුෂ තිස් අවුරුද්ද, හතළිස් අවුරුද්ද, පනස් අවුරුද්ද බැගින් වැඩි වෙමින් දෙසීයක් දක්වා අවුරුදු ආයුෂ වර්ධනය වන්නේ ය. කෙමෙන් ජනගහනය ද වැඩි වන්නේ ය. ගස්කොළ මල් ඵලවල ශරීරයට හිතකර ගුණ අධික වන්නේ ය. අතිශය හිතකර දේශගුණයක් පහළ වන්නේ ය. 


මෙසේ මනුෂ්‍යයෝ තව තවත් කුසල් කරන්නා හ. කාලාන්තරයක් ගත වන විට කෝටි සංඛ්‍යාත ජනගහනයක් ඇති වෙති. ඔවුහු ශීලා දී ගුණධර්ම ඇත්තෝ ය. මේ නිසාම දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සිට චූත වන්නෝ ම මේ මිනිස් ලොව උපදිති. මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අනුදහස දක්වා වැඩි වන්නේ ය.

මෙසේ මිනිසා ගේ ආයුෂ අවුරුදු ලක්ෂය වන්නේ ය. මෙසේ අධික සැප සම්පත් නිසාම කාලාන්තරයක් ගත වන විට නැවත මනුෂ්‍යයෝ ගුණ ධර්ම කෙරෙහි තිබු දැඩි සැලකිල්ල අඩු කරගන්නා හුය. නැවතත් ටිකින් ටික උන් ගේ රූප සෝභාව පිරිහෙති. පරමායුෂ අවුරුදු අසු දහසකට අඩු වන්නේ ය.

මිනිසුන් ගේ ආයුෂ අවුරුදු අසූ දහසක් වන කල්හි බුද්ධ කෝලාහලය හට ගන්නේ ය. එනම් බුදු කෙනකු පහළ වීමට පෙර මෙවන් උතුමෙක් ඇති වන්නාහ’යි ලෝකයේ ඇතිවන කැලඹීමයි. සම්මා සම්බුදු රාජාණන් වහන්සේ නමක් ලොව පහළ වීමට අවුරුදු දහසකට කලින් ලෝක පාලක දේවතාවෝ තව අවුරුදු දහසකින් බුදු කෙනෙක් පහළ වන්නාහ’යි මිනිස් පථයට පැමිණ කියාගෙන යන්නා හ. එය බුද්ධ කෝලාහලය යි. අප ජීවත්වන මේ මහා භද්‍ර කල්පයෙහි එසේ මතු බුදු වන පස්වැනි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ය.

මෙසේ බුදු දහමට අනුව නුදුරේ ලෝක විනාශයක් වන්නේ නැත. ලෝක විනාශයක් සිදු නොවුණ ද ලෝකයට යම් යම් විපත්ති කරදර සිදු නොවේයැයි කිව නොහැකිය. අද ජන සමාජයන් හි විවිධ අපරාධ ය. ඇනකොටා ගැනීම්ය. ගුණ ධර්ම පිරිහී ගොස් ය. රට රටවල් අතර යුද කල කෝලාහලය. 


මෙසේ මිනිසා අදැහැමි වීම නිසා විශේෂයෙන් මිනිසා පරිසරයට හිතකාමී නොවීම නිසා පරිසරය මිනිසාට එරෙහිව නැඟී සිටින ස්වභාවයක් අපි දකිමු. පසුගිය කාලයේ ලෝකයේ රටවල් රැසක ඇති වූ සුළි කුණාටු, ගං වතුර, නායයාම් ඊට හොඳම උදාහරණයන් ය. මේ විපත්තීන්වලින් මිදීමට එකම මඟ අදැහැමි බව දුරලීමය. 

විශේෂයෙන් තම තමන්ගෙන් අන්‍යයන්ට ඉටුවිය යුතු යුතුකම් වගකීම් දැන ඒවා නිසියාකාරව ඉටු කිරීමය. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කිරීමය. මෙලොවක් නැත, පරලොවක් නැත එහෙයින් සත්ත්ව ඝාතනය කළාට කම් නැත යන මිථ්‍යා දෘෂ්ටිය දුරු කිරීම ද දස රාජධර්මයෙන් රට පාලනය කිරීම ද එහි දී ප්‍රධානය.

මේ ගුණ ධර්ම දියුණු වූ කල සමාජය යහපත් ය. සමාජය යහපත් වූ කල එයින් යම් බලයක් ඇති වන්නේ ය. ඒ අපේ චිත්ත බලයයි.

චිත්ත බලය ගුණාත්මක වූ කල එය වාතයට මිශ්‍ර වේ. එය ගහකොළවලට සතුන්ට යහපත් ය. ඒ යහපත මේ පෘථිවි තලයම යහපත් ලෙස වෙනස් කරන්නේ ය. පෙර රජ දවස අප රට රුහුණු පිහිටි මායා යැයි කොටස් තුනකට වෙන් වුණි. මායා නම් කඳු රටය. අපේ රජවරු ඒ උස් කඳු මත උස්ව නැඟෙන තුරු රෝපණය කළේය.

ඒ තුරු ලතා අහසේ පා වෙන වැහි වළාකුළු රඳවා ගත්තේය. කඳුකරයට ඇද හැළෙන වැසි දිය ක්‍රමවත්ව රට පුරා ගෙන ගියේ ය. පරිසරය ආරක්ෂා කළේය. අදට ඇවැසි වන්නේ ද එවැනි පරිසර හිතකාමී වැඩ පිළිවෙළකි. එවිට පරිසරයෙන් වන බොහෝ විපත්තීන්වලින් මිදෙන්නට අපට පුළුවන.
 
Related Posts with Thumbnails