Ads 468x60px

.

කපරාරුව පහසු කරවීමට උපකරණයක් හැදු කන්නන්ගර මහා විදුහලේ ගුරුතුමා...

වර්ග අඩි දහයක් නිම කරගැනීමට යන්නේ විනාඩි දහයක් පමණයි...

රුපියල් දාහක් වැනි සුළු මුදලකට...

ගොඩනැගිල්ලක් නිර්මාණයේ දී  අවස්ථා කීපයක නිමා කිරීම් කළ යුතුය. අත්තිවාරම බිත්ති ගොඩ නැගීම වහල ගැසීම කපරාරුව ආදී වශයෙන් එම  අවස්ථාවන් දැක්විය හැකිය. ගොඩනැගිල්ල මනාව නිමාවට තැබීම අතීතයේ සිට එන සිරිතකි. කටුමැටි ගෙයක් වුවද බිත්ති වල දෙමැටි කපරාරු කොට විසිතුරු කර ලස්සනට තබා ගැනීම කරති.

අපගේ වන්දනාවට පාත‍්‍රවන ස්ථානයක් වන දළදා මාලිගයද සාදා තිබෙන්නේ කටුමැටි බිත්ති මත දෙමැටි කපලාරු කොට පසුව එහි හුණු බදාම අලේප කරලීමෙනි. කොටින්ගේ බෝම්බයට අසුවීමේ දීද මේ කොටස නිරුපද්‍රිතව තිබූ හැටි අපට මතක් වෙයි.


මැටි බදාම ගැසීම් දී එයට දහයියා කොහු වැලි වැනි ද්‍රව්‍යයයන්ද එකතු කර හාල් කැඳ දියෙන් අනා ගෙන පදම් කර භාවිතා කළ බවට සාක්ෂි හමුවේ. දළදා මාලිගයේ  බදාම සකස් කර තිබෙන්නේ එලෙස බව සටහන්ව ඇත. ලංකා තිලක විහාරයේ බදාම විස්තරයේ දී එයට වඩා වෙනස් ආකාරයේ බදාම ක‍්‍රමයක් දක්වා තිබේ.

 
එහි සඳහන්ව තිබෙන ආකාරයට වල් බදාම පැණි බදාම හා රස බදාම යනුවෙන් බදාම වර්ග  කීපයක් බාවිතා කර ඇත. කහට ගස් වල පොතු පැණි වර්ග මීකිරි ආදිය එක් කර හුණු වැලි කලවම් කර මේ බදාම සාදා ගත් ආකාරය පැරණි පොතපතේ  දැක්වේ. 

එ ක‍්‍රමය වඩාත් කල් පවතින බව අපට පැහැදිලිය. අනුරාධපුර පොලොන්නරුව මහනුවර ආදී පුරාණ නගරවල සිද්ධස්ථානයන් හි චිත‍්‍රසටහන් කර ඇති බිත්ති පරීක්ෂා කර බැලූ කල්හි එ්බැව් පැහැදිලි වේ.

වර්තමාන ගොඩනැගිලි බිත්තිවල කපරාරුව සමාජ ආර්ථික  විකාශනයත් සමග වෙනස් වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. මීට දශක පහකට පමණ පෙර ගෙවල් කපරාරුවට ගන්නා ලද්දේ හුණු වැලි මිශ‍්‍රණයකින් පමණකි. කැටගල් කබොක් හෝ ගඩොල් බිත්ති කපරාරු කරලීම උදෙසා මේ බදාමය භාවිතා කර ඇත්තේ පැරණි ආදර්ශයන් අනුවයි. 


එම බදාම තට්ටු  අඩ සියවසකට පසු පරීක්ෂා කර බලන කල්හි එ්වායේ දුර්වලතා හඳුනා ගතහැකිය. පුරාණයේ මෙන් වෙනත් බැඳවුම් ද්‍රව්‍යයන් භාවිතා කර නොමැති හෙයින් එම බිත්ති සමහරක් බොල් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

මේ තත්වය නිසා දැන් දශක කීපයක පමණ සිට සිමෙන්ති කපරාරුව භාවිතා කරලීමට පටන් ගෙන ඇත. හුණු වැලි හා සිමෙන්ති ඊට අයත් විය. එයද දැන් වෙනස්වී සිමෙන්ති කපරාරුව කොට එයට උඩින් පොටි ස්ථරයක් ඇද වරණාලිප්ත කරලීම  මොස්තරය වී තිබේ. එදාට වඩා අද වියදම් අධික වන බව මෙයින් පෙනේ. වර්තමානයේ ගෙවල් ලස්සන කරන ස්වරූපය විචිත‍්‍රවත්ය. 


වෙළෙඳ වටිනාකම්වලට පාරිභෝගිකයින් වහල්ව ඇත. එ්නිසා  ගොඩනැගිල්ලක් නිමා කරලීමේ දී විශාල මුදලක් වියදම් වේ. මෙය සමාජයට  ඉහළිය නොහැකි බරක් බවකිව යුතු නොවේ. නමුත් අනුකරණය නිසා මේ තාක්ෂණයන් කාලානුරූපව වෙනස් කරගැනීමට උත්සාහ නොගැනීම ඛේදවාචකයකි.

මේසන්වරයකු සිය ශිල්පීය දක්ෂතාව මත බිත්තියක් කපරාරු කිරීමේ දී පළමුවෙන් මට්ටම ගැන සිතයි. බිත්තිය ලඹයට සමතලා කිරීම  ඔහුගේ වෑයම වෙයි. එ් සඳහා ලඹකර නූලට කැට තියා  මට්ටම් ලීයත් හැන්දත් භාවිතා කර කපරාරුව නිම කරයි. 


අනතුරුව හැන්දෙන් මැදීමෙන් එය නිමා කරයි. මෙය තරමක් දුෂ්කර කාර්යයකි. පළපුරුද්ද අනුව සාමාන්‍ය කාලයක් ගතවේ. මෙය වඩා පහසු කරවන උපකරණයක් මෙතෙක් තිබී නැත. එයට හේතුව ගොඩනැගිලි ශිල්පය අලූත්වූවාට සංකල්පයන් නිර්මාණාත්මකව දියුණු නොවීමයි. 

මේ තත්වය වෙනස් ආකාරයට දුටු ගුරුවරයකුගේ නිර්මාණයක් පසුගියදා නව නිපයුම් තරඟාවලියේ දි දැක ගන්නට ලැබුණි. සුනෙත් රංගනාත් නම් මේ ගුරුතුමා දැනට මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහා විදුහලේ ආචාර්යවරයෙකි. මතුගම ශාන්ත මරියා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම ශ‍්‍රීපාද අධ්‍යාපන පීඨයට ඇතුළත් වී ගුරු පුහුණුව නිම කර ගුරු වෘත්තියට එක්ව ඇත්තේ 2005 වසරේ දීය.

ඔහු අතින් නිර්මාණයව ඇත්තේ කපරාරුව පහසු කරවන උපකරණයකි. එය අතින් ක‍්‍රියා කරවිය හැකි වන අතර ශිල්පියාගේ දක්ෂතාවය අනුව කාරයක්ෂමතාවයද ඇති කර ගතහැකි උපකරණයකි. මේ මගින් බිත්තිය මත අඟල් 10 ×8 බදාම කැට නොහොත් පිඟන් ගඩොල් ආකාරයේ හතරැස් කැට නිර්මාණය කරගත හැකිය. පුරුදු පරිදි ලඹයට කැට තියා මට්ටම් කර ගත් බිත්තියේ අඟල් භාගයට තුන්කාලට හෝ අඟලට සරි ලන පරිදි මේ හතරැස් කැට නිර්මාණය කර ගත හැකිය. 


පසුව අවශ්‍ය නම් එවා වෙන් කරන ඉර මකා බිත්තිය මැද ගත හැකිය. වර්ග අඩි දහයක් නිම කරගැනීමට විනාඩි දහයක් පමණ ගත වේ යැයි ගණන් බලා ඇත. මේසන් උපකරණයක් වශයෙන් මෙය දියුණු කළ හැකි නිර්මාණයකි. රුපියල් දාහක් වැනි සුළු මුදලකට මෙය නිෂ්පාදනය කරතිබීමද වටනේය.
2007 වසරේ දී සිය විදුහලේ නව නිපයුම් සංගමය යළිත් ආරම්භ කොට නව නිර්මාණ සඳහා සිසුන් පෙළ ගැස්වූ සුනෙත් රංගනාත් මහතා සිය විදුහල වෙනුවෙන් නව නිපයුම් ජයග‍්‍රහණ රාශියක් ලබා ගැනීමට නායකත්වය සපයා ඇත. එයිනුත් සමස්ත ලංකා තරගාවලි වලින් සම්මාන හයක් ලැබ ගෙන දීමට මග පෙන්වාදී ඇත්තේ සුනෙත් මහතාය. 

එ ගමන් මග ඔස්සේ ඉදිරියට යමින් ජාතිය වෙනුවෙන් දායාද කළ මේ උපකරණය නිර්මාණශීලී ගුරු පරපුරකට මහඟු ආදර්ශයක් බව නොකියාම බැරිය. නිදහස් අධ්‍යාපනයෙන් කන්නන්ගර මැතිතුමා බලාපොරොත්තු වූ අරමුණු ඉටු වන්නේ මෙවැනි නිර්මාණ තුළින් යයි මම සිතමි.
 
Related Posts with Thumbnails