Ads 468x60px

.

වත්සලාගේ ජීවිතයේ අහන්න අකමැතිම වචනය.

මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයෙන් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි ඇය වත්සලා දියලගොඩයි. වත්සලා වගේම ඇගේ  බාල සොයුරියත් රංගන  ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා කියලා අපට දැනගන්න ලැබුණා. මේ වත්සලා ඒ තොරතරු කියන්න අප හා එක්වූ අයුරුයි.

වත්සලා, අලුත් අවුරුද්දේ ඔබ කරන්න බාර ගත්තු වැඩ කටයුතු මොනවද? 
මම මේ අවුරුද්දේ නාලන් මෙන්ඩිස්ගේ “සතුරු මිතුරු” ශාන්ත සොයිසාගේ “සඳා” ටෙලිනාට්‍යවලට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව දෙරණ නාලිකාවේ “මනාලි” කියන වැඩසටහන සුපුරුදු පරිදි කරගෙන යනවා. සියත ටී.වී. නාලිකාවේ වැඩසටහනකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒකත් මේ වසරේදී කරන්න බලා‍පොරොත්තු වෙනවා. 

පහුගිය අවුරුද්දේ රූපලාවන්‍ය නිෂ්පාදන භාණ්ඩයක සන්නාම තානාපති හැටියට කටයුතු කළා. මේ අවුරුද්දටත් මට ඒ වගකීම නැවත පවරලා තියෙනවා. මට පවරලා තියෙන හැම කටයුත්තක්ම සාර්ථකව කරගෙන යන්නයි මේ අවුරුද්දේ මම බලා‍පොරොත්තු වෙන්නේ. 

දිගටම රංගන ක්‍ෂේත්‍රයේ රැඳෙන්නද දැන් ඔබ බලා‍පොරොත්තු වෙන්නේ? 
මගේ පෞද්ගලික ජීවිතයේ අනෙක් කටයුතුත් එක්ක මට වඩාත් පහසු  රංගනයේ යෙදීමයි. අනික මගේ හැකියාව තියෙන්නෙත් ඒ ක්‍ෂේත්‍රයේ. පවු‍ලේ වැඩ කටයුතු එක්ක පහසුවෙන් රඟපෑම් කරන්න පුළුවන්. අනික මම නිර්මාණ ගොඩක් එකපාරට කරන්නෙ නැහැ. ලැබෙන නිර්මාණ වලින් හොඳ එකක් දෙකක් තෝරගෙන රඟපානවා. මගේ සැමියා කැමතිත් නැහැ මම
රඟපෑම ඇර වෙන වෘත්තියක නිරත වෙනවට. 

ඔබ එක නිර්මාණයක් දෙකක් පමණක් කරනවා කිව්වට ටෙලිනාට්‍ය කීපයක් එකවර විකාශය වෙනවානේද? 
සමහර ටෙලිනාට්‍ය රූගත කරලා විකාශය කරන්න සෑහෙන කාලයක් ගත කරනවා ඒ විදියෙ අවස්ථාවක එකතු වුණොත් මිස මම ටෙලිනාට්‍ය දෙකකට වඩා බාර ගන්නෙ නැහැ. 

ඔබ කාලයක් කිව්ව රඟපාන්නෙ නැහැ කියලා
ඔව්. විවාහෙන් පස්සෙයි. මගෙ මහත්තයා කැමති වුණේ නැහැ විවාහයෙන් පස්සේ මම රඟපාන්න යනවට. 

නමුත් ඔබ දැන් රඟපානවානේ 
විවාහෙන් පස්සේ අවුරුද්දක් විතර රඟපාන්නෙ නැතිව හිටියා. ගෙදර නිකන් ඉන්න කොට කම්මැලියි. ඒ නිසා මහත්තයා ආයේ කැමති වුණා මම රඟපානවට. ආයෙත් රඟපෑමට එද්දී ප්‍රසංග කිව්ව හොඳ නිර්මාණ කිහිපයක් විතරක් තෝරගෙන රඟපාන්න කියලා දැන් මම හොඳ නිර්මාණ කිහිපයක් තෝරාගෙන රඟපානවා 

විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියන්න ඇත්තේ ඇයි? 
එයා බය වෙන්න ඇති ක්‍ෂේත්‍රයේ අහන්න දකින්න ලැබෙන සමහර සිදුවීම් ගැන, රංගනයට එක්වන බොහෝ දෙනෙකුට වෘත්තිය ජීවිතයයි. පවුල් ජීවිතයයි දෙක හරියට සමබර කරගන්න අමාරුයි. මගේ වයසත් එක්ක එයා හිතන්න ඇති මටත් ක්‍ෂේත්‍රයේ ඉන්න ගමන් ගේ දොර වැඩ කරන්න අමාරු වේවි කියලා. 

එතකොට දැන්
එයා තේරුම් අරගෙන ඇති මට හැම දෙයක්ම සමබරව කරගෙන යන්න පුළුවන් කියලා. 

වත්සලා මේ වෙද්දී ඔබ ටෙලිනාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද? 
මම රංගන ක්‍ෂේත්‍රයට ආවේ 2007 අවුරුද්දේ ඒ මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයෙන්. එදා ඉඳල අද වෙනතුරු ටෙලිනාට්‍ය දොළහක විතර රඟපාලා තියෙනවා. 

මුතු කිරිල්ලී නාට්‍ය බොහොම ජනප්‍රිය වුණා. ඒ වාගේම නාට්‍ය කණ්ඩායමත් එක්ක බොහෝ කාලයක් වැඩ කළා. තාමත් ඒ මිතුරුකම් තියෙනවාද? 
නිරෝෂන් අයියා එක්ක නම් පහුගිය කා‍ලේ හිතවත්කම් තිබුණා. මොකද අපි තවත් නාට්‍ය කිහිපයකදී මුණගැහුණා. ප්‍රියා රණසිංහ ආන්ටි එක්කත් මම මේ දවස්වල වැඩ කරනවා. අනිත් අය නම් මුණගැහෙන්නේ උත්සවයකදී විතරයි. ඒ අයව මුණගැහෙන්න මට වෙලාවකුත් නැහැ. ඒ අයට වෙලාවකුත් නැහැ. අපට මිතුරුකම් මතක් කරන්න වෙන්නේ උත්සව අවස්ථාවකදී තමයි. 

ටෙලිනාට්‍ය රංගනයේදී සිදුවුණ අමතක නොවන සිදුවීම මොකක්ද? 
දූවරු ටෙලිනාට්‍යයේ රඟපාන්න ගිහින් මට අමතක නොවන සිදුවීමකට මුහුණ දෙනන් වුණා. ඒ ටෙලිනාට්‍යයේ තිබුණා බයිසිකලයක් පදින්න. ඇත්තම කිව්වොත් මට බයිසිකල් පදින්න බැහැ ඒත් ටෙලිනාට්‍යයට ඕන නිසා මම බයිසිකල් පදින්න අමාරුවෙන් පුරුදු වුණා. එදා රූගත කිරීම තිබුණේ රාත්‍රියේ ත්‍රිවිල් එකින් ආපු පිරිසක් මට කරදර කරන්න එන දර්ශනයක්. රඟපාන්න තිබුණේ. 

බයිසිකලයෙන් එද්දී ගල් බොරළු තියන පාරේ මාව ලිස්සලා වැටුණා.  ඒකින් මගේ දකුණු අතේ වෙදඟිල්ලට යටින් ඇටයක් කැඩුණා. මාසයක් විතර බේත් දාගෙන ඉන්න වුණා. ඒ සිද්ධිය වෙලා මේ ජනවාරි මාසෙට හරියටම අවුරුද්දයි. අත කැඩුණු දවසේම මම කිව්වා ආයෙ නම් බයිසිකලයක් අල්ලන්නෙවත් නැහැ කියලා දැන් නම් මම බයික් පදින්න හරිම බයයි. 

රංගන ක්‍ෂේත්‍රයට ඔබත් එක්ක ආපු ඇතැම් අය මේ වෙද්දී විවාහ වෙලා. සමහර අය විවාහය දික්කසාදයෙන් කෙළවර කරගෙන. 
මම නම් මගේ ජීවිතයේ අහන්න අකමැතිම වචනය දික්කසාදය. නමුත් ඉතින් සමහර අයගෙ විවාහ පවතින්නෙ නැහැ. ඒක ඒ අයගෙ වෙලාව. මිනිස්සු හිතන පතන විදි වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙන්නේ පුදුම විදියට. ඒක විවාහ දෙදරන්න බලපානවා. ඒත් මම හිතන්නෙ හැමෝම පවුල් ජීවිතය රැකගන්න කටයුතු කරන්න ඕන කියලා. මොන දේ වුණත් අපට අන්තිමට ඉතුරු වෙන්නේ විවාහ වුණ කෙනා විතරයි. 

සමහර අයට විවාහයෙන් පස්සේ නොගැළපීම් පේනවා ඇති. ඒවා දික්කසාදයට හේතු. මගේ නම් ප්‍රාර්ථනය කාටවත් එහෙම නොවේවා කියලයි. හැමෝටම හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා නම් හොඳයි. 

ඔබ දෙපළගේ පවුල් ජීවිතේ විස්තර මොනවද? 
දෙවියන්ගේ පිහිටෙන් අපේ ජීවිතේ ලොකු ගැටුම් නැහැ. අපි දෙන්නා අපේ දේවල් කරගෙන පාඩුවේ ඉන්නවා. අපි විවාහ වෙලා දැන් අවුරුදු තුනක් ඉවරයි. තාමත් අපි හොඳින් ඉන්නවා. ගෙදර දොරේ ‍පොඩි ‍පොඩි ප්‍රශ්න නැතුවා නමෛයි. විනාඩි පහෙන් දහයෙන්, දවසින් දෙකින් ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්නවා. 

අලුත් සාමාජිකයෙක් එහෙම පවුලට එකතු කරගන්න මේක කාලෙ නමෛයිද? 
ඔව්. ඒ බලා‍පොරොත්තුවත් හිතේ තියෙනවා. ඒ බලා‍පොරොත්තුව මේ අවුරුද්දේ, නැත්නම් ලබන අවුරුද්දෙ ඉටුවේද කියලා කියන්න බැහැ.

ඔබේ සොයුරියත් රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා නේද? 
ඔව්. නංගි චාපා දියලගොඩ පහුගිය දවස්වල නංගි උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී හිටියා. ඉන් පස්සේ තමයි එයා ටෙලිනාට්‍යයක රඟපෑවේ. “මිල්ලව වලව්ව” “පබසරා” කියන ටෙලිනාට්‍යවල එයා රඟපෑවා. ඒවා ළඟදී විකාශය වේවී. තවත් ටෙලිනාට්‍ය දෙක තුනකටත් මේ දවස්වල එයා සම්බන්ධ වෙලා ඉන්නවා. 

නංගිට ක්‍ෂේත්‍රයට එන්න අක්කගෙ උදව් ලැබෙන්න ඇති
අනිවාර්යයෙන්ම අපි හැම දෙයක්ම කරන්නේ කතා බහ කරලා. එයා ටෙලිනාට්‍ය බාර ගනිද්දී පවා මගෙන් අහලා බලනවා. එයා ක්‍ෂේත්‍රයට ආපු එක ගැන සතුටු වෙනවා.
 
Related Posts with Thumbnails