Ads 468x60px

.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ යලිත් නවක වදය.

ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට පෑන් ඇතුල් කරනවා...

එක ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන...

තව ළමයෙක් නිරුවත් කරවලා ඇඟට මුත්‍රා කරලා...

පසුගිය මාර්තු 17 වන ඉරිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අක්බර් නේවාසිකාගාර යේ නැවතී සිටි පළමු වසර ඉංජිනේරු සිසුන් කණ්ඩායමකට ජේෂ්ඨ සිසුන් විසින් අමානුෂික අයුරින් නවක වදය ලබා දී ඇති බව හෙළිවෙනවා. 

නවක සිසුන් බලහත්කාරයෙන් දීර්ඝ වෙලාවක් අඩ නිරුවත් කොට ව්‍යායාම කරවා ඉන්පසුව ඔවුනට පිළුණු වූ බත් වැලි සහ පරවූ මල් සමග අනුභව කිරීමට සලස්වා තිබේ. මේ නිසා සමහර සිසුන් රෝගාතුර වී වෛද්‍ය ප්‍රතිකාර පවා ගෙන තිබෙනවා. 

මෙසේ අමානුෂික ලෙස නවක වදය දුන් ජේෂ්ඨ සිසුන් විසින් මේ සම්බන්දයෙන් විශ්ව විද්‍යාල පරිපාලකයන්ට කිසිවක් නොකියන ලෙසටද නවකයන්ට තර්ජන එල්ල කොට ඇතත් හිංසනයට පත් වූ නවක සිසුන් කීප දෙනෙකු විසින් මෙම නවක වද ක්‍රියාව පිළිබඳව  ලිබිතව පැමිණිලි කොට තිබෙනවා

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ශාන්ත හෙන්නායක මහතා පවසන පරිදි මම අමානුෂික නවක වදය සඳහා දෙවන වසරේ ඉංජිනේරු සිසුන් ජේෂ්ඨ සිසුන් විසි දෙනෙකු පමණ සහභගි වී තිබෙනවා

පසුගිය වසරේද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අමානුෂික ලෙසින් නවක වද තිබුණු අතර ඒවා වැළැක්වීමට හෝ නවක වදය ලබා දුන් ජේෂ්ඨ  සිසුන්ට එරෙහිව පියවර ගැනීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිපාලනය අපොහොසත් වි තිබෙනවා.

- දර්ශිනි විමලසුරිය

 (පසුගිය වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කාන්තා හිංසනය ගැන පලවූ ලිපිය පහත දැක්වෙන අතර එම ලිංගික හිංසනය සිදුකල ජේෂ්ඨ සිසුවියන්ට විරුද්දව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැත)

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය.
 
ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය. 

ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ? 

මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.  

බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.
 
එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ. 

ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක පරිහානිය ගැන 1960 – 1970 දශකයේ පවා කරුණු ලියැවී තිබේ. දිවංගත ලේඛක සිසිර කුමාර මනික්‍යආරච්චි මේ සම්බන්ධයෙන් පොත් පවා පළ කොට ඇත. එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කොමිසන් වාර්තා වලද මේ ගැන සඳහන් වේ. 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.  

එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත. 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට අප ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූයෙමු. එම සංචාරයේදී අප නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. 

අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු අපට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් අප සමග පැවසුහ. 

නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නිය වුවාය. ඇයගේ ආරක්ෂාව පතා අපට නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු. 

" පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය අලුත් දෙයක් නෙවෙයි. මේක හැමදාම පේරාදෙණියේ තිබ්බා. ඒත් ඒක රහසක් හැටියට තමයි පැවතුනේ. මොකද සමලිංගික හිංසනය කරන සිසුවියත් එයට ලක් වන නවක සිසුවියත් කවදාවත් ඒක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. අතවරයට ලක් වන සිසුවියට ඒක විශාල මානසික පීඩනයක්.

ඇයට ඒක විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට හෝ ගුරුවරුන්ට කියන්න බැහැ. ඒ වගේම ඒක ගෙදර කෙනෙකුටවත් කියන්න බැහැ. තනියම මේ හිංසාව දරාගෙන ඉන්න තමයි ඔවුන්ට සිදු උනේ. අතවරයට පත් වූ සිසුවිය විවහා වූ පසු තමාගේ සැමියාටවත් මේක කියා ගන්න බැහැ. නමුත් සදහටම මේ මානසික කැළල ඇය තුල තියනවා. 

මවක් වූ පසුව ඇය තමන්ගේ දරුවන් දකින විට පවා මේ සිද්දිය ඇයට මතක් වෙන්න පුළුවන්. මේ අතවර නිසා කාන්තා සිසුවියන් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. සමහරු මානසික රෝගීන් උනා. කීප දෙනෙකු දිවි නසාගෙනත් තියනවා. " 

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින කාන්තා සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා.

අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. 

මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්. 

රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. 

ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා.

මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා.

රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී. 

වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ.

ඒ නිසා මේවා සදහටම මේ විශ්ව විද්‍යාලයේ තියේවි. දැන් බලන්න ලඟදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දහ දෙනෙකුගේ ඇඳුම් ගලවලා වැසිකිලියකට දමලා නවක වදය දීලා. මේක කරලා තියෙන්නේ දෙවැනි වසරේ සිසුවියන් වගයක්. 

මේ අය සමහර අලුත් ගෑනු ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් පවා කරලා තියනවා කියලා සමහර නවක ළමයි කියනවා. එක ළමයෙකු නිරුවත් කරවලා ඇඟට මුත්‍රා පවා කරලා. අපට ආරංචිය තියනවා මේ තුන්දෙනා එකතු වෙලා ගම්පහ ඉස්කෝලෙකින් ආපු ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන කියලා.

මේක අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්. ලිංගික දුෂණයක්. වෙළඳ කලාපයේ අඩු ඉගෙනීමක් තියන කෙල්ලොවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පන්ති තහනම් කිරීම විතරයි කරලා තියෙන්නේ. හරිනම් මේ අය උසාවි දාන්න ඕනේ. මේ අයගේ නම් ගම් පත්තර වල දන්න ඕනේ. 

එතකොට තම තමන්ගේ ගෙවල් වල අය, අසල්වැසියෝ මේ අයගේ හැසිරීම කොහොමද කියලා දැනගන්නවා. එතකොටවත් ලැජ්ජා වෙලා හැදෙයි. එක අනෙක් අයටත් පාඩමක් වෙයි. නමුත් දැන් මේ තුන්දෙනා පන්ති තහනමෙන් පස්සේ අපහු එනවා. ඇවිත් නැවත අහිංසක කෙල්ලන්ට අතවර කරයි. 

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ.

අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ? 

මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා. මම ලඟදි කියෙව්වා ලක්බිම ඉරිදා පත්තරේ ලිපියක් නවක වදය සම්බන්දයෙන්. ඒකේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන දොස්තර මහත්තයා බොහොම අපුරුවට රස කරලා කියනවා කිසිම හිරිකිතයක් නැතුව 1978 දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ සිදුවීමක් ගැන.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන හැටියට නවක වද සතිය නිමාවන දිනයේ ජීවක නේවාසිකාගාරයේ සියලුම නවක වෛද්‍ය ශිෂ්‍යයන් සැත්කමකට භාජනය කරන බව ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් දන්වා තිබුණාලු . මෙය පිරිමින්ගේ ලිංගේන්ද්‍රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කමයි. 

ඔහු කියන විදියට එදා නේවාසිකාගාරයේ කාමරයක් ශල්‍යාගාරයක් ආකාරයටම සකස් කර ශල්‍ය වෛද්‍යවරුන් අඳින ඇඳුම්වලින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිපදෙනෙක් සැරසී සිටියාලු . සැත්කමට අවශ්‍ය කතුරු, පිහිවැනි ආයුධ පවා ඔවුන් සතුව තිබුණාලු. නවක සිසුවෙකු ඇඳ මත හොවා කතුරු පිහි ආදිය යොදාගනිමින් පිරිමි ලිගුවේ පෙර සම ඉවත් කරන ආකාරයටම ඔවුන් සැත්කම රඟ දක්වලා. 

මේ සිදුවීම ගැන බලන්න ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය මුවාවෙන් නවක සිසුවෙකු නිරුවත් කරලා ඔහුගේ ලිංගේන්ද්රියට බොරුවට ශල්‍ය කතුරු දික් කරනවා. මෙසේ කෙනෙකුට තවත් කෙනෙකු බලහත්කාරයෙන් පීඩනය යොදා නිරුවත් කිරීම කල හැකිද? 

මේ සිදුවීම සීලාචාර රටක සිදු උනානම් විශ්ව විද්‍යාලයේ කුලපති පමණක් නොවේ අධ්‍යාපන ඇමැතිටත් උසාවි යන්න සිදු වෙනවා නේද? මේවා ලංකාවේ ලිංගික අසහනය නිසා වෙන සිදුවීම් නොවෙයිද ? "

නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය. 

"මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ.

එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ. 

ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ” 

සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය. 

“නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරී තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා. 

කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක ආප්පෙකට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා.

එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ” 

නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති.  

පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි.  

කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය. 

දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය. තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය. 

“විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් පේරාදෙණියේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි.

තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා.

මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා.

ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ” 

පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය. 

” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා.

නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. 

ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා. 

නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි………………..

(මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ.

මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. 

මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. 

මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ? " 

නවක සිසුවියන් පවසන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති. 

වින්දිතයන්ද නිහඬතාවය රකිති. මේ ලිංගික හිංසනය නිසා රූපා රත්නසීලි වැනි අහිංසක යුවතියන් ජීවිත වලින් වන්දි ගෙවා තිබේ. එහෙත් මේ සාපයේ අවසානයක් දැකීමට නොහැක. 

දර්ශනීය හන්තානේ කඳුවැටිය සහ මනරම් මහවැලි ගඟ මැදි කරගත් ලෝක පුජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලය අද ලිංගික අසහනයෙන් සහ කාම ඔල්මාදයෙන් පෙලෙන රෝගීන්ගේ තිප්පලක් බවට පත් වෙමින් තිබේ. අධ්‍යාපනික වශයෙන්ද පේරාදෙණිය ගරා වැටී ඇත. අඳුරු මහාද්වීපයේ විශ්ව විද්‍යාලද අද පේරාදෙණිය පසු කරමින් යති. 

කාන්තා හිංසනය ගැන කතා කිරීමට ලාහෙන් මැනීමට තරම් සංවිධාන , ඩොලර් වලින් පඩි කන නෝනලා සිටින රාජ්‍ය නොවන ආයතන ලංකාවේ තිබේ. නමුත් මේ එක ආයතනයක් හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය ගැන , බොහෝ කාලයක් පුරා පවතින ලිංගික හිංසනය නවත්වි නැවැත්වීමට උනන්දු නොවෙති.  

කාන්තා අයිතීන් ගැන කතා කරන මැඩම්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උත්තමාවියන් අතින් දුෂණයට ලක් වන නවක සිසුවියන් ගැන කතා කිරීමටවත් නොවෙහෙසෙති. ඊට හේතුව ඔවුන්ගේ දියණියන් ඇමරිකාවේ ,ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනීමට යන නිසා විය හැකිය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් නිහඬව මේ වධය දරා ගත යුතුය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී තමන්ගේ සොහොයුරියට සිදු කල අතවරය ගැන කෝපයෙන් තැවෙන ඇයගේ සහෝදරයා විසින් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පල කරන ලද කොමෙන්ටුවක් අපගේ නැත ගැටුණි. පාඨකයන්ගේ අවධානය සඳහා එය සංස්කරණය කොට මෙහි පල කරමු. 

November 20, 2011 at 9:33 am
"ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා.

ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද? තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. 

යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින් ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ.

ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයි ට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් යන්න ඉල්ලන්න.අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි?"

(උපුටා ගැනීම ලංකා සී නිවුස් වෙබ් අඩවිය)
තම සොහොයුරියට සිදුවූ අතවරය , අවමානය ගැන සොහොයුරාට ඇති වේදනාව , කෝපය සාධාරණය. නමුත් මෙවැනි සිදුවීම් වල අවසානය කුමක් විය හැකිද ? තම සොහොයුරිය බිලිගත් හැතිරිය මරා දැමීමට සොහොයුරා අනාගතයේදී නොපෙලඹේද ? 

මෙවැනි සමාජ වියසන වැළැක්වීම විශ්ව විද්‍යාල බලධාරීන්ගේ යුතුකම නොවේද? අනාගතයේ මහා විනාශයන් වීමට ප්‍රථම මෙවැනි ලිංගික හිංසනයන්ට විරාමය තැබිය යුතුය. මේ සඳහා බුද්ධිමය කතිකාවක් සිවිල් සමාජය තුල ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු ලෝක උරුමයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන චානුක වත්තේගම මෙසේ විචිත්‍ර සටහනක් තබයි. පේරාදෙ ණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය. 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි.  

මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි. 

අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න.  

මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම )

මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. 

මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි.  

මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය.  

පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. 

මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි. 

“මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.

ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න”

- ඩී. සුගත් රාජපක්ෂ
විමර්ශන සහාය
දර්ශිනී විමලසුරිය
මානෙල් ද සිල්වා
නිර්මාල් පිරිස්
විශේෂ ස්තුතිය
වෛද්‍ය හේමලතා වෙල්ගම මිය
නලීන් වීරකෝන් මහතා
ඩි.එම්. නිමල් දිසානායක මහතා
 
Related Posts with Thumbnails