Ads 468x60px

.

පන්ති කාමරෙදිම දැරියන් 11ක් කෙලෙසූ ගල්කිරියාගම ගුරා පත්වීම ගත්තෙ කාගෙන්ද?

රා අරක්කු බිබී කානුවක් කානුවක් ගාණේ වෙරි මතින් වැටී සිටි "කසිප්පු දිසා" හිටි හැටියේම ඒකනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා දිසානායක ලෙසින් කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරයකු ලෙස පත්වීමක් ලබා ගත්තේය.

"කසිප්පු දිසාටත් ගුරු පත්වීමක් හම්බවෙලා. මිනිහා බැඳලා ඉන්නේ ගුරුවරියක්නේ. ඒ ගුරුවරියගේ මල්ලී කෙනෙක් තමයි ස්වේච්ඡා ගුරුවරුන් බඳවා ගන්න දාපු නම් ලැයිස්තුවට හොරාට කසිප්පු දිසාගෙ නමත් දාල තියෙන්නෙ. එහෙම තමයිලු ඔය තනතුර අරගෙන තියෙන්නෙ. දේශපාලන හයියකුත් තියෙන්න ඇති."


මීට වසර පහකට පෙර ස්වේච්ඡා පදනම මත ගුරු වෘත්තියට එක්වූ ටිකිරි බණ්ඩා ගුරු තනතුර ලබා ගත් ආකාරය පිළිබඳ ගම්මුන් කතා කළේ සමච්චල් සහගතවය. කසිප්පු දිසා ගුරුවරයෙක් වීමේ පුවත එකල ගල්කිරියාගම ප්‍රදේශය පුරාම කතාබහට ලක් විය.


නියමින් හෝ අනියමින් ලබා ගත් මේ ස්වේච්ඡා ගුරු තනතුර මත ටිකිරි බණ්ඩාව ගල්කිරියාගම ප්‍රදේශයේ ගුරු හිඟයේ අඩුපාඩු මැද අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සිටින පාසලකට අනුයුක්ත කළේ එම අහිංසක දුවා දරුවන්ගේ නැණ පහන දැල්වීම සඳහාය. ඔහු ඉගැන්වූ පාසලේ තිබූ ගුරු පුරප්පාඩුව හේතුවෙන් තුන්වැනි ශේ‍ර්ණියේ සිට පස්වැනි ශේ‍ර්ණිය දක්වා ඉගැන්වීම් කටයුතු භාර ගන්නට ඔහුට සිදු වූවේය.

වයස අවුරුදු පනහ සපිරෙන්නට ඔන්න මෙන්න සිටි ටිකිරි බණ්ඩා ජීවත් වූවේද ගල්කිරියාගම ප්‍රදේශයේය. ඔහුගේ බිරියද එම ප්‍රදේශයේම පාසලක ගුරුවරියක වශයෙන් සේවය කළ අතර ටිකිරි බණ්ඩා තරුණ දියණියන් දෙදෙනකුගේ තාත්තා කෙනකු විය.

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කීවාක් මෙන් ටිකිරි බණ්ඩාට කෙතරම් තනතුරු තානාන්තර ලැබුණද බේබදුකමේ නම් වෙනසක් වූවේද නැත. පාපැදියෙන් පාසල වෙත පිටත් වන ඔහු පාපැදියත් පෙරළාගෙන වෙරි මතින් පාරවල් ගාණේ වැටී සිටින දර්ශනය ගමේ හැමෝටම සාමාන්‍ය හුරුපුරුදු දර්ශනයක් බවට පත්ව තිබිණි. කවුරුන් කෙසේ අවවාද කළත් ඔහු තම ජන්මාන්තර පුරුද්ද වෙනස් කරගන්නට නම් උත්සාහ ගත්තේ නැත.


"ලොකු ගෑනු ළමයි ඉන්න තාත්තෙක් නේද? ඔය බීම නතර කරන්න"

බිරිය හැමදාමත් ටිකිරි බණ්ඩා උදයේ නිවෙසින් පිටත්වීමට පෙර පැවැසුවාය. එහෙත් හැමදාමත් සවස් යාමයේ ඔහු නිවෙසට ගොඩ වූවේ හතරගාතයෙනි.වසරකට පමණ පෙර ටිකිරි බණ්ඩාගේ හැසිරීම් වෙනස් වන්නට පටන් ගත්තේය. බොහෝ උදේ‍යාගයෙන් පාසලේ ඉගැන්වීම් කටයුතු සඳහා දායක වූ ඔහු වෙනදා මෙන් නොව උදයේම පාසල බලා පිටත් වූයේ "දරුවන්ව කොහොමහරි ශිෂ්‍යත්වය පාස් කරන්න ඕනා" යි තම බිරියට කියමින්ය.

පන්ති කාමරයේ සිටි දරුවන් කෙරෙහි වෙනදාටත් වඩා සෙනෙහස දැක්වූ ඔහු වඩ වඩාත් උනන්දුවී විෂය නිර්දේශ ආවරණය කරන්නට පටන් ගත්තේය. පන්ති කාමරය නිරන්තරයෙන් වෙනස් කළ ඔහු ගැහැනු ළමයින්ව ඉදිරි පේළිවල අසුන්ගත කරන්නට පියවර ගත්තේය. 


පන්ති කාමරයේ මේසයට සිමෙන්තියේ ගෑවෙන තරම් දිග හතර වටින් හොඳටම ආවරණය වූ මේස රෙද්දක් දමා ගත් ඔහු විශේෂ පාඩම් කියා දීමටයි කියමින් ගැහැනු දැරිවියන් තම සමීපයට ගෙන්වාගෙන අලුත් අඩව්වක් නැටීමට පටන් ගත්තේ විදුහලේ සෙසු ගුරුවර ගුරුවරියන්ගේ හා විදුහල්පතිවරයාගේ ඇස්වලට වැලි ගසමිනි.

ඔහුගේ ක්‍රියාකලාපය දුටු සෙසු ගුරුවර ගුරුවරියෝ සිතුවේ ටිකිරි බණ්ඩා යහපත් පුද්ගලයකු බවට පත්වී ඇතැයි කියාය. ඔවුන්ගේද විශ්වාසය ඉතා සූක්‍ෂ්මව දිනාගත් ටිකිරි බණ්ඩා නිදහස් වේලාවන් බලා හොර ගල් අහුලමින් හිඳ විදුහල්පතිවරයාගේ කාමරයට රිංගා ගත්තේය.

"මේ වගේ පාසල්වලට පහසුකම් අඩුයි තමයි. මට ඕනා මේ ළමයින්ව ශිෂ්‍යත්වෙ පාස් කරන්න. ඒ නිසා මම කැමැතියි පාසල් වේලාවෙන් පස්සේ නොමිලේ උපකාරක පන්ති කරන්න."

ටිකිරි බණ්ඩාගේ ගැටයට හසුවූ විදුහල්පතිවරයාද ඔහුගේ යෝජනාව හිස් මුදුනින් අනුමත කළේ ටිකිරි බණ්ඩා කෙරෙහි මහත් විශ්වාසයක් තබාගෙනය.පාසල නිමාවන තෙක් ඇඟිලි ගනිමින් සිටි ටිකිරි බණ්ඩා තම පන්ති කාමරය තුළම අමතර පන්ති පැවැත්වූවේය. තම දරුවන් හොඳින් ශිෂ්‍යත්ව විභාගය සමත්වනු දැකීමට රිසි මවුපියෝද දරුවන්ව උනන්දුවෙන් ටිකිරි බණ්ඩා සර්ගේ ශිෂ්‍යත්ව පෙරහුරු පන්තියට සහභාගි කළහ.

සතියේ එක් එක් දිනය එක් එක් ශේ‍ර්ණි සඳහා ඔහු වෙන් කළේය. එම පන්තිවලිනුත් තමා බෙහෙවින් ප්‍රිය කළ ගැහැනු දරුවන් තමා සමීපයට ගෙන උගන්වන්නට හෙතෙම බොහෝ සේ ප්‍රිය වූවේය. තම ගුරුවරයාට ඇති බිය හා ගෞරවය නිසාම එම දැරිවියෝද ගුරුවරයා සමීපයටම ගියහ.වසරක් පමණ ඔහුගේ උපකාරක පන්ති සාර්ථකව සිදු කරන්නට ටිකිරි බණ්ඩා සමත් වූවේය.

ටිකිරි බණ්ඩා සර්ගේ උපකාරක පන්තිවලට නොකඩවා සහභාගි වූ ප්‍රාථමික ශේ‍ර්ණියක ඉගෙනුම ලැබූ එක් දැරියක් හිටි හැටියේම පාසල් යෑමටත්, උපකාරක පන්ති යෑමටත් නොහැකි බැව් පවසමින් අධ්‍යාපන කටයුතු මඟහරින්නට පටන් ගත්තාය. දින කිහිපයක් පුරා දැරියගේ අසාමාන්‍ය හැසිරීම් රටාව නිරීක්‍ෂණය කළ ඇගේ මවුපියෝ පාසල් යන්නට මැළිවන්නේ ඇයිදැයි දැරියගෙන් ආදරයෙන් විමසීය.


"මට පන්ති යන්න බැහැ. සර් හවස පන්තියට ගියාම අමාරු පාඩම් කියලා දෙන්න කියලා මාව ළඟට ගෙන්න ගන්නවා. ඊට පස්සේ අනිත් අයට පේන්නේ නැතිවෙන්න එයා මගේ ඇඟ අතගානවා. මගෙ විතරක් නෙවෙයි සැරෙන් සැරේ එක එක අය ගෙන්නගෙන එහෙම කරනවා, ඒ නිසා මට පන්ති යන්න බැහැ. දැරිය හඬමින් සියල්ල මවුපියන්ට පැවැසුවාය.

පාසලේ පාපතර ගුරුවරයා තමන්ගේ දියණියට ලිංගික අපයෝජනයක් කොට ඇති බව වටහාගත් මවුපියෝ වහාම පාසලේ විදුහල්පතිවරයා සොයා ගෙන ගියහ. දැරියගේ මවුපියන් පැවැසූ දෙය විශ්වාස කරගන්නට නොහැකි වූ විදුහල්පතිවරයා මවිත වී බලා සිටියේය. දැරියගෙන් ප්‍රශ්න කළ විදුහල්පතිවරයා ටිකිරි බණ්ඩා අතින් අපයෝජනයට ලක් කළ අනෙකුත් දැරියන්ගේ තොරතුරුද අසා දැනගත්තේය.

දැරිය පැවැසූ තොරතුරු අනුව මේ සැකකාර ගුරුවරයා විසින් අපයෝජනයට ලක් කරන ලදැයි සැකකෙරෙන සිසුවියන් ගණන එකොළොස් දෙනෙකි. එකී සිසුවියන්ද ගෙන්වා ප්‍රශ්න කළ පසු එම දැරිවියන් පැවැසුවේද ගුරුවරයා විසින් ඔවුන්ට ලිංගික අපයෝජනයන් සිදුකරන ලද බවකි. 


ලිංගික අපයෝජනයන්ට ලක් වූ බවට සැකකරන අවුරුදු 8ත් 10ත් අතර ශිෂ්‍යාවන්ගේ මවුපියන් දැනුම්වත් කිරීමට අවශ්‍ය බව පවසා විදුහල්පතිවරයා දැනුම් දුන්නද පාසලට පැමිණියේ දියණියන් සිවුදෙනකුගේ මවුපියන් පමණි.

මේ සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයා වූ ටිකිරි බණ්ඩාව ගෙනැවිත් ප්‍රශ්න කළද හෙතෙම පැවැසුවේ තමා එවැනි ලිංගික අපහරණයක් දැරියන්ට සිදුනොකළ බවය. ඒ නිසා මේ සම්බන්ධයෙන් පාසලේ විනය කමිටුවට හා පලාගල කැකිරාව අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ටත්, පළාත් අධ්‍යාපන ලේකම්වරයාටත් දැනුම් දෙන්නට විදුහල්පතිවරයා පියවර ගත්තේය.

පලාගල කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා මේ සම්බන්ධයෙන් මුලින් පරීක්‍ෂණ පැවැත්වූවේය. දැරියන්ගේ පාපෝච්චාරණයන් හමුවේ ගුරුවරයා අතින් විශාල වරදක් සිදුවී ඇති බව වටහා ගත් ඔහු මේ පිළිබඳ ගල්කිරියාගම පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන්නට කටයුතු කළේය. පොලිසියේ මැදිහත්වීමෙන් පසුව දැරියන් එකොළොස් දෙනාගෙන්ම කටඋත්තර ලබා ගැනීමට හැකියාව ලැබිණි.

මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදුකරන අතරතුර පසුගිය 10 වැනි දා සැකකාර ටිකිරි බණ්ඩා හදිසියේම අතුරුදන් වූවේය. ටිකිරි බණ්ඩාව සෙවීමට පොලිස් නිලධාරීහු සිය මෙහෙයුම් දියත් කරද්දී නීතියෙන් බේරී සිටීම අසීරු බව වටහාගත් ටිකිරි බණ්ඩා එදිනම සවස පොලිසියට පැමිණ භාරවූවේය.

පාසල් ශිෂ්‍යාවන් 11 දෙනකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන ටිකිරි බණ්ඩා අධිකරණ නියෝග මත මේ මස 22 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ගැහැනු දරුවන්ගේ ජාත්‍යන්තර දිනය සමරමින් "ඔබ අපේ දියණියයි" කියමින් රටපුරා දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දී, දරුවන් සුරැකීම වෙනුවෙන් හා ළමා අපයෝජනය පිටුදැකීම ගැන වගකිවයුත්තන් පුරසාරම් ‍ෙදාඩද්දී රටේ කාන්තාවන් හා දැරියන් සුරැකීමට අමාත්‍යංශයක් තිබියදී මෙවැනි දෑ සිදුවීම ඛේදනීය තත්ත්වයකි.

නිදහස් අධ්‍යාපනය යැයි කයිවාරු ගසමින්, නිරන්තරයෙන් අධ්‍යාපනයේ විප්ලවීය වෙනස්කම් ඇති කරන්නට වෙරදරන අධ්‍යාපන අමාත්‍යංශයක් තිබියදීත් ගුරු වෘත්තියට එක්වීමට මූලික සුදුසුකම්වත් සපුරා නැති වංචාකරුවකු මෙලෙස ගුරු වෘත්තියට එක්වීමද සැබැවින්ම අභාග්‍යයකි.

අරුණි මල්ලවආරච්චි
දඹුල්ල - නාමල් කෝරාල  (Mavbima)
 
Related Posts with Thumbnails