Ads 468x60px

.

මුස්ලිම් පාතාල නායක මාමාස්මින්, එස්.ටී.එෆ්. වෙඩි පහරින් මියගිය හැටි...

ආරක්ෂක අංශයට යම් අභියෝගයක් එල්ල වූ පාතාල කල්ලියක් මෙරට වී නම් ඒ මුස්ලිම් පාතාලය පමණි. 

එම පාතාලය බිහිවන්නේ ජිහාඩ් කල්ලියේද අවි පුහුණුව ලබමින් දේශ පාලන ආශිර්වාදයද ඇතිව බව පැවැසේ. 

කලක් මුළු කොළඹම හොල්ලාගෙන සිටි මුස්ලිම් පාතාලය ඇතුළු සමස්ත පාතාලයට එරෙහිව ආරක්ෂක අංශ දැවැන්ත මෙහෙයුමක් සංවිධානාත්මකව දියත් කළෝය. ඒ මෙහෙයුමට හසුවී මෙරට නම ගිය පාතාලකරුවන් දමනය වනවිට නොසැලී තිබුණේ මුස්ලිම් පාතාලය පමණි. 

ඒ මුස්ලිම් පාතාලයේ නමගිය කල්ලි නායකයන් එකා දෙන්නා ‍පොලීසිය සමග ගැටී මරුමුවට පත්වන විට සහ නාඳුනන කල්ලි අතින් අබිරහස් ලෙස වෙඩිකා මියැදෙන විට මුස්ලිම් පාතාලයට නායකත්වය දෙන්නට ඕනෑ තරම් පසු පෙළ කණ්ඩායමක් සිටි බැවිනි.

මුස්ලිම් පාතාලයේ නමගිය රජවරුන් වූ අයුබ්කාන්, ආනමාලු, ඉමිටියාස්, කුඩු නූර් සහ ෆාජි වැන්නවුන් මියැදෙන විට ඒ කිරුළ අවසානයේදී හිමිවූයේ මාමාස්මින්ටය. 


මුස්ලිම් පාතාලයේ කිරුළ ඔහුට හිමිවන්නේ මුස්ලිම් පාතාලයේ ප්‍රථම කල්ලි නායකයා ලෙස ඉතිහාසගතව සිටි ෂේක් ෆරීඩ් මොහොමඩ් ෆාජි ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සමග ගැටුමකින් 2009 අගෝස්තු 23 දා මාලිගාවත්ත ඇපල්වත්තේ ඔහුගේ රාජධානිය තුළම මියැදීමත් සමගිනි.

ඒත් සමගම ෆාජි යටතේ සිටි සිය ගණනක් වූ කල්ලි සාමාජිකයන් සමග මත්කුඩු ජාවාරම ඇතුළු පාතාල ආර්ථිකය සියතට ගන්නා මාමාස්මින් මුස්ලිම් පාතාලය ශක්තිමත් කරමින් නැවතත් පාතාල භීෂණය කොළඹ පතුරුවා හරින්නට උත්සාහ දරුවේය. ඒ ඇතැම් දේශපාලනඥයන්ගේද ආශිර්වාදයද සහයෝගයද මධ්‍යයේය.

කොන්ත්‍රාත් මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල ඔහු නිරතව සිටින්නට වූයේද එකල මුස්ලිම් පාතාල රජවරුන් මාලිගාවත්තේ ඇපල්වත්තේ පවත්වාගෙන ගිය පාතාල උසාවි සහ ‍පොලීසියට නැවත පණ ‍පොවමිනි. එකී පාතාල උසාවියෙන් සහ ‍පොලීසියෙන් නඩු අසා මරණ දඬුවම් පවා ලබාදුන් බව මුළු මාලිගාවත්තම දන්නා කරුණකි.


මෑතකදී මාමාස්මින්ගේ පාතාල අධිකරණයෙන් මරණීය දණ්ඩනය ලබාදී තිබුණේ යුද හමුදාවේ කෝකියෙකු වන රහීම්ට බව සඳහන්ය. ඒ 2012 වසරේ ඔක්තෝම්බර් 01 වෙනිදා ඔහුව පැහැරගෙන ගොසිනි.


රහීම් නමැති එම කෝකියා සැබැ ලෙසම කෝකියෙකුට වඩා ක්‍රියාකරනු ලැබුවේ ආරක්ෂක අංශයේ ඔත්තුකරුවෙකු ලෙස බව පැවැසේ. තිහාරියේ මුල් පදිංචිකරුවෙකු වුවත් ඔහු මාලිගාවත්තට පැමිණ කාලයක් එහි රැඳී සිටිමින් මුස්ලිම් පාතාල කල්ලියට රිංගා ගත්තේය. මුස්ලිම් පාතාලයේ කිරුළ දීර්ඝ කාලයක් තිස්සේ දරමින් සිටි ෆාජි ඔහුගේ රාජධානිය තුළදීම මරුමුවට පත්වන්නේ ඒ අතර කාලය තුළදීය.


එහි සැකය එල්ල වී තිබුණේ රහීම්ටය. නමුත් රහීම්ව පාතාල ‍පොලීසිය පැහැරගෙන ගොස් පාතාල උසාවියට පමුණුවා ඒ ගැන නඩු අසන්නේ මාමාස්මින් දීර්ඝ කාලයක් තිස්සේ රහීම් ගැන ඇස ගසාගෙන සිටි නිසාය.


අනතුරුව ඇපල්වත්ත වධකාගාරයේදී වධහිංසනයට ලක්ව රහීම් මරණයට පත්වන්නේ ආරක්ෂක අංශ සමග එක්ව පාතාලයට එරෙහිව කටයුතු කිරීමේ වරදටය. වදදී මරා දැමුණ රහීම්ගේ මළ සිරුර පසුව හමුවන්නේ කුණු ඇළකිනි.

රහීම්ට අත්වූ ඒ ඉරණම ගැන පාතාලයට එරෙහි මෙහෙයුම්වල නිරතව සිටි සෑම නිලධාරියෙකුම දන්නා කරුණකි. මාලිගාවත්තේ පාතාල උසාවියෙන් නඩු අසා දඬුවම් නියම වූ එකම පුද්ගලයා රහීම් පමණක් නොවේ. 


වරක් ෆාජිගේ බිරිඳ සමග සමීප සම්බන්ධකමක් පවත්වමින් සිටි ජල්ඩින් නමැත්තෙකුට පාතාල උසාවියෙන් මරණීය දණ්ඩනය නියමකර තිබුණේ පණපිටින් පුළුස්සා මරා දමන්නටය. මාලිගාවත්ත ඇපල්වත්තේ පිහිටි පාතාල වධකාගාරය තුළදී එතෙක් මතෛක් සිදුවූ දරුණුතම ඝාතනය වන්නේද එයයි.

මාමාස්මින් නායකත්වයට පත්වීමෙන් අනතුරුව එකී වධකාගාරයේදී පුද්ගලයෙකු ඝාතනයට ලක්වී ඇත්නම් ඒ රහීම් පමණි. මාමාස්මින් නායකත්වයට පත්වීමෙන් පසු මුස්ලිම් පාතාල වධකාගාරය තුළ රහීම් පවා ඝාතනය වන්නට මුල්වන්නේ ඔහු ෆාජි ඝාතනයට ඔත්තු දීම ගැන ඇතිවූ සැකයම පමණක් නොවේ. 


මාලිගාවත්ත ජුම්මා හන්දියේදී 2012 වසරේ ජනවාරි 02 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන කණ්ඩායමක්  එම ස්ථානයේ රැඳී සිටි මාමාස්මින්ට කළ වෙඩි තැබිමද ඊට බලපෑවේය. එදා ඔහු පලාගොස් දිවි බේරාගත්තද එම ස්ථානයේ සිටි මාමාස්මින්ගේ සහෝදරයා වූ රසුල්ඩීන් වෙඩිකා මිය ගියේය. කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලැබිය.

මෙසේ මාලිගාවත්තේ මුස්ලිම් පාතාල බළකොටුවට නිදැල්‍ලේ පැමිණි සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනකු මාමාස්මින් ඉලක්ක කර වෙඩි තබන්නේ සිය ගණනක් ඔත්තු බලන්නට ඔහුගේ රාජධානියට පිවිසෙන සියලු මාර්ගවල ත්‍රිරෝද රථ රියැදුරන් සහ සුළු වෙළෙන්දන් ලෙස සිටියදීය. 


එතරම් ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මකව තිබියදීත් තුවක්කුකරුවන් නිදැල්‍ලේ පාතාල බළකොටුවෙන් ඉගිලී යාමද මාමාස්මින්ට ගෙන දුන්නේ දැඩි ලජ්ජාවකි.ඒ ලජ්ජාව වසාගන්නේ එකී වෙඩි තැබිම ගැන පරීක්ෂණ පැවැත්වීමට ජුම්මා  මස්ජීඩ් පාරට පැමිණෙන මාලිගාවත්ත ‍පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට පහරදීමට ඔහුගේ ගෝල බාලයන් උසිගන්වාය. 

ඒ බව ඉවෙන් මෙන් වටහා ගත් ‍පොලිස් කණ්ඩායම පසු බසින විට මාමාස්මින්ගේ ගෝල බාලයෝ ජුම්මා මස්ජිඩ් පාරේ දෙපස නතර කර තිබුණු ත්‍රිරෝද රථ 09ක් ඇතුළු වාහන 18කට ගිනි තබා විනාශ කරනුයේ මාලිගාවත්තම අවුලවමිනි. ඒත් සමගම කැරළි මර්දන ‍පොලිස් කණ්ඩායම්, විශේෂ කාර්ය බළකාය මෙන්ම යුද හමුදාවද එහි ආවේ කලහකාරීන් පාලනය කරන්නටය. 

එහිදී ටී.56 අවි ඇතුළු ගිනිඅවි සහ බෝම්බ අතැතිව සිටි මාමාස්මින් ඇතුළු පාතාල කණ්ඩායම අහසට වෙඩි තබමින් පෙට්රල් බෝම්බ සහ විෂ වායු ප්‍රහාරයන් ‍පොලිස් නිලධාරීන් දෙසට එල්ලකරන්නට වූයේ මාලිගාවත්ත යුද පිටියක් කරමිනි.

ඒ සියල්ලක්ම ඔවුන් කරනු ලැබුවේ කාන්තාවන් පෙරටු කරගෙනය. නිවෙස්වල නිදා සිටි කාන්තාවන් නැගිටුවා මහ පාරට ගෙනැවිත් ඇත්තේ මාමාස්මින්ගේ මව බව සඳහන්ය.


‍පොලීසියට සහ හමුදාවට තත්ත්වය පාලනය කරන්නට පැය ගණනක්ම ගතවිය. මාලිගාවත්ත අවුල වූ මාමාස්මින් ඒත් සමගම මාලිගාවත්තෙන් එදා පලායන්නට වූයේ මුස්ලිම් කාන්තාවන්සේ හිසේ සිට දෙපතුළ දක්වාම වැසෙන සේ අඳිනු ලබන කාන්තා ඇඳුමකින් සැරසීය. 


මෙරට පාතාලයේ ප්‍රබලයෙකු ගැහැනු ඇඳුමක් ඇන්දේ නම් ඒ මාමාස්මින්ය. එතැන් සිට මාමාස්මින්ට රැකවරණය ලැබුණේ එකී කාන්තා ඇඳුමිනි. ඔහු නිදහසේ ගමන් බිමන් ගියේත්, මාලිගාවත්තේ සිටි සිය බිරින්දෑවරුන් මුණ ගැසෙන්නට ගියේත් කාන්තා ඇඳුමට මුවාවී බව පැවැසේ.

ඒ තත්ත්වය මත මාමාස්මින් කොටුකර ගැනීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ නිසාම ආරක්ෂක අංශ ඔහු අල්ලාගන්නට සාර්ථක තොරතුරු සපයන්නන් වෙනුවෙන් රුපියල් මිලියනයක්ද වෙන් කළේය.


එහෙත් මාලිගාවත්තේ කිසිවකුත් එම මිලියනයට වහ නොවැටුණේ හමුදා කෝකියාට අත්වූ ඉරණම ගැන හොඳාකාරවම දැන සිටි බැවිනි. ඒ තත්ත්වය මත මාමාස්මින් කොටුකර ගන්නට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු සමස්ත ආරක්ෂක අංශම මාලිගාවත්තට ඇස ගසාගෙන සිටියෝය. 


ඇතැම් බුද්ධි නිලධාරීන්ද මාමාස්මින් මෙන්ම මුස්ලිම් කාන්තා ඇඳුම් හැඳ මාලිගාවත්තේ සැරිසැරුවේ එවන් මුස්ලිම් කාන්තා ඇඳුමින් සිටින කාන්තාවන්ගේ ලෝගුව ඉවත් කර කිසිවෙකුත් පරීක්ෂා නොකරන බව දැන සිටි නිසාය.

එසේ කෙරුනු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ඉකුත් 04 වෙනිදා අලුයම විශේෂ කාර්ය බළකායේ සාගර කුලසේකර ඇතුළු හත්දෙනකුගේ විශේෂ කණ්ඩායමක් ඔවුන්ට ලැබුණු තොරතුරකට අනුව කඳවුරෙන් පිටත්ව යන්නේ විශේෂ කාර්ය බළකා සේනාවිධායක නියෝජ්‍ය ‍පොලිස්පති චන්ද්‍රසිරි රණවන මහතාගේ උපදෙස්ද ඇතිවය.


ඔවුන් ඒ යන්නේ මාලිගාවත්ත ඇපල්වත්තටය. ඒ මාමාස්මින් ඒ මොහොතේ ඔහුගේ තුන්වැනි බිරිඳ සමග සිටිති යැයි කී දෙමහල් නිවස පරීක්ෂා කරන්නටය. ‍පොලිස් කණ්ඩායම ඒ නිවසට ඇතුළුවන්නේ නිවස වටලා ආරක්ෂක පියවර සියල්ල ගැනීමෙන් අනතුරුවය. ‍


පොලීසිය පවසන ආකාරයට එහිදී ඉහළ මහ‍ලේ බිරිඳ සමග සිටි මාමාස්මින් එකවරම ඇඳෙන් නැගිට වසා තිබූ ජනේලයක් විවර කර පනින්නේ අසල්වැසි නිවසක වහලයක් මතටය. ඒත සමගම විශේෂ කාර්ය බළකා සෙබළු ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ වහලින් වහල පැන යාමට ඉඩ නොතබාය.

විශේෂ කාර්ය බළකාය සඳහන් කරන්නේ අනතුරුව කෙරුනු සෝදිසියකදී ඔහු සිටි කාමරයේ ඇඳ යටින් ටී.56 අවියක් සහ අත්බෝම්බ 09ක් තිබි හමුවූ බවය. තවත් අවියක් ඔහු ජනේලයෙන් පනින්නට යනවිට තිබුණද එම අවිය හමුනොවූ බවද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.


කෙසේ වෙතත් එසේ අත්අඩංගුවට ගැනුණු ඔහුද අවසානයේදී ‍පොලිස් වෙඩි පහරින් මරුවැළඳ ගන්නේ අවි ආයුධ සඟවා ඇති තැනක් පෙන්වීමට යන අතර බව ‍පොලීසිය පවසයි. ඒ කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සරණ පාරේදීය.


ගයාන් කුමාර වීරසිංහ
 
Related Posts with Thumbnails