Ads 468x60px

.

ඉන්දියා‍වේ බිහාර්හි බෝම්බ පිපිරීම් නිසා බුද්ධගයා මහබෝධි සිද්ධස්ථානය තාවකාලිකව වසා දමයි

වන්දනා නඩයක්‌ පිටත්ව ගොස්‌ සුළු වේලාවකින් පිපිරීම සිදු වුණා

ඉදිරි සතියේ බුද්ධගයා යන්න එපා - රජය දැනුම් දෙයි...

ඉන්දියා‍වේ බිහාර්හි මහාබෝධි විහාරස්ථාන පරිශ්‍රයේ ඊයේ (07) උදැසන සිදුවූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලත් එක් භික්ෂූන් වහන්සේ නමක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

කෙසේ වෙතත් කිසිදු ශ්‍රී ලාංකිකයකුට හෝ බෞද්ධාගමික පුජනීය වස්තුවකට හානියක් සිදුව නොමැති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන අතර බුද්ධගයා මහබෝධි සිද්ධස්ථානය තාවකාලිකව වසා දමා තිබෙනවා.


කෙසේ වෙතත් මහාබෝධි විහාරස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාර ශ්‍රී ලාංකිකයින් හෝ බෞද්ධයින් ඉලක්ක කොට එල්ල වුවක් නොවන බවට තොරතුරු වාර්තාවී ඇති නමුත්, සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙන ඉදිරි සතිය තුල ඉන්දියාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මෙරට ජනතාවට දැනුම් දී සිටිනවා.

මේ අතර සිදු වූ බෝම්බ පිපුරුම් පිළිබඳ කඩිනමින් සොයා බලන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාට දැනුම් දී තිබෙනවා.

මෙම, පිපිරීම් ගැන සැල වූ වහාම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහාබෝධි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දූරකතනයෙන් අමතා කරුණු විමසා බැලූ බවත්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට වහාම මේ පිළිබඳ අවශ්‍ය ක්‍රීයාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා ප්‍රකාශ කර සිටියා.

බිහාර් පොලිස් ප්‍රධානී අබයානන්ද් පවසන්නේත් මහාබෝධියට මදක් දුරින් පිහිටි ජයශ්‍රීමහා බෝධිය නිරුපද්‍රිත බවත්, කිසිම හානියක් නැති බවත්ය.කෙසේ වෙතත් විහාරස්ථානයේ වීදුරු කිහිපයකට හානි වි ඇති බවද පැවසේ. ආරක්ෂක අංශ පැමිණ ඉතිරිව තිබූ තවත් බෝම්බ කිහිපයක් නිශ්ක්‍රීය කොට තිබේ.

පිපිරීම් නිසා ටිබෙට් ජාතික ස්වාමීන් වහන්සේ නමක් සහ සංචාරකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන්දියාවෙන් ලැබෙන නවතම වාර්තාවල දැක්වේ. විහාරස්ථානයේ බෝධීන්වහන්සේට හෝ වෙනත් ආගමික ස්මාරකවලට හානියක් සිදු ව නැති බව ද වාර්තාවේ.

මේ අතර ඊයේ ( 07) දහවල් විහාරස්ථානයට නුදුරින් තවත් ජීව බෝම්බයක් සොයාගෙන ඇති අතර පසුව එයද නිශ්ක්‍රීය කර තිබේ. මේ වනවිටත් බෝම්බ නිශ්ක්‍රීය භට කණ්ඩායම් පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත්, විහාරස්ථානය අවට ප්‍රදේශයන්හි ද පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් වාර්තා වේ.

සිද්ධියෙන් අනතුරුව ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ (National Investigation Agency) සහ ජාතික ආරක්ෂක බලකායේ (National Security Guard) කණ්ඩායම් බුද්ධගයා වෙත පැමිණ ඇති අතර බිහාර් ප්‍රාන්තයේ මහ ඇමති නිතිෂ් කුමාර් මහතා විහාරස්ථානය වෙත පැමිණ කරුණු සොයා බැලූ බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මොහන් සිං මහතාද නිවේදනයක් නිකුත්කරමින් ආගමික ස්ථානවලට එල්ල කළ මෙම බියගුලු බෝම්බ ප්‍රහාරය හෙළා දැක ඇත . මෙම ප්‍රහාරයට වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීම කඩිනම් පියවර ගන්න බවද මන්මෝහන් සිං මහතා මෙහිදී සඳහන් කර ඇත.

පිපිරීම් වලින් එක්‌ බෝම්බයක්‌ අනිමිසලෝචන චෛත්‍යය අසලත් අනෙක්‌ බෝම්බය ජයශ්‍රී මහා බෝධිය අසලත් පිපිරී ඇත. බෝම්බ කිහිපයක්‌ ටිබෙට්‌ විහාරස්‌ථානයකත් බුද්ධගයාව අසල ඇති අඩි 80 ක්‌ උසැති ජපන් බුදුපිළිමය අසලත් තවත් බෝම්බයක්‌ හිස්‌ බස්‌රථයක්‌ තුළත් පුපුරා ගොස්‌ ඇත. එක්‌ බෝම්බයක්‌ ආරක්‍ෂක අංශ මගින් නිෂ්ක්‍රීය කර ඇත. 

මෙම ප්‍රහාරවලින් බුරුම බෞද්ධ භික්‌ෂූන් වහන්සේ නමක්‌ හා තවත් බුරුම සංචාරකයෙක්‌ තුවාල ලබා සිටිති. ඉන්දීය රජයේ ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය මෙය ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ යෑයි නිවේදනය කර ඇති අතර බිහාර් ප්‍රාන්ත පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය පිටුපස ඉන්දීය මුජහිඩීන්වරු නම් සංවිධානය සිටින බවයි.

බුද්ධගයා මහා බෝධි විහාරය බිහාර් ප්‍රාන්තයේ අගනුවර පැට්‌නා නුවර සිට කිලෝමීටර් 110 ක්‌ ඈතින් පිහිටා ඇත. මෙම විහාරය 2002 වසරේදී ලෝක උරුමයක්‌ ලෙස යුනෙස්‌කෝ සංවිධානය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඉන්දු - නේපාල දේශසීමාවේද ආරක්‍ෂාව තර කර ඇත.

බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නිටිෂ් කුමාර් මහතා මහා බෝධිය වෙත පැමිණ මේ ප්‍රහාරය පිළිබඳ පරීක්‍ෂා කර ඇති අතර මෙහි ආරක්‍ෂාව සඳහා මධ්‍යම රජයෙන් හමුදාව යෙදිය යුතු බව පවසා ඇත. මේ ප්‍රහාරය දැනගැනීමෙන් තමා බෙහෙවින් කනගාටුවටත් කම්පනයටත් පත්වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනය කර තිබේ.

ජනාධිපතිවරයා මේ පිළිබඳව දිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා සමගත් මහා බෝධි විහාරස්‌ථානයේ හිමිවරුන් සමගත් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. ඉන්දියාවේ ප්‍රධාන විපක්‍ෂය වන භාරතීය ජනතා පක්‍ෂය පවසන්නේ බුද්ධගයාවට නිසි ආරක්‍ෂාව සැලසීමට බිහාර් ආණ්‌ඩුවත් මධ්‍යම රජයත් අපොහොසත් වී ඇති බවයි.


වන්දනා නඩයක්‌ පිටත්ව ගොස්‌ සුළු වේලාවකින් පිපිරීම සිදු වුණා
ශ්‍රී මහා බෝධි විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි වන්දනා නඩයක්‌ පිටත්ව ගොස්‌ සුළු මොහොතකින් මෙම පිපිරීම් සිදුවූ බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා ශ්‍රී ලංකා මාධ්‍යයට තොරතුරු හෙළි කරමින් පැවසීය.

මෙම පිපිරීම්වලින් වැඩි හානියක්‌ සිදුවී නැහැ. සිද්ධියෙන් පසු මහා මෙහෙයුමක්‌ දැන් ක්‍රියාත්මක වී තිබෙනවා. වැඩිදුර තොරතුරු මෙතෙක්‌ අනාවරණය වී නැහැ. මෙම පිපිරීම පිළිබඳව අප කනගාටු වෙනවා"යෑයි හෙතෙම වැඩිදුරටත් පැවසීය.


ඉදිරි සතියේ බුද්ධගයා යන්න එපා - රජය දැනුම් දෙයි
ඉදිරි සතිය ඇතුළත බුද්ධගයාවේ වන්දනා ගමන් වලින් වැළකී සිටින ලෙස රජය නිවේදනය කර සිටී. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ඉන්දියාවේ බුද්ධගයාවේ මහාබෝධි ප්‍රධාන සිද්ධස්‌ථානයේ ඊයේ (7 දා) පෙරවරු 5.00 ට පමණ බෝම්බ පිපිරීම් කිහිපයක්‌ සිදුවූ බව වාර්තා වී ඇත. ඉන් මියන්මාර්හි වන්දනාකරුවන් දෙදෙනකුට තුවාල සිදුවී ඇති අතර කිසිදු පූජනීය වස්‌තුවකට හෝ ශ්‍රී ලංකාවේ වන්දනාකරුවන්ට හානියක්‌ සිදුවී නොමැත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධගයාවේ ශ්‍රී ලංකා නායක හිමිපාණන් අමතා කරුණු විමසූ අතර නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතාට මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු කරන ලෙස උපදෙස්‌ ලබාදී ඇත. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිටිස්‌ කුමාර් මහතා විසින් සිද්ධිය සම්බන්ධව මූලිකත්වය ගෙන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම පිපිරීම ශ්‍රී ලාංකිකයන් හෝ බෞද්ධයන් ඉලක්‌ක කොට සිදු කරන ලද්දක්‌ නොවන බව ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ ප්‍රසාද් කාරියවසම් මහතා අවධාරණය කරයි. ඉදිරි සතිය තුළ එහි පරීක්‍ෂණ කටයුතු කෙරෙන බැවින් එම සතිය තුළ වන්දනා ගමන්වලින් වැළකී සිටින ලෙසද හෙතෙම දන්වා සිටී.


ප්‍රහාරය හෙළා දකිති ජනාධිපති
බුද්ධගයා පූජා භූමියට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය සාමය අගයන සමස්‌ත ලෝකයට සහ මනුෂ්‍ය වර්ගයාට සිදුකළ බලවත් නිගාවක්‌ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආගමික සිද්ධස්‌ථාන සහ අහිංසක බැතිමතුන් ඉලක්‌ක කර ගනිමින් මෙවන් ප්‍රචණ්‌ඩකාරී ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ජනාධිපතිතුමා පැවසීය.

ලොවපුරා බෞද්ධාගමිකයන්ගේ පූජනීයම ස්‌ථානය වන ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ඊයේ (07) අළුයම සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිය බලවත් කනගාටුව පළකරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

බෞද්ධාගමික සිද්ධස්‌ථානයක පමණක්‌ නොව ඕනෑම ආගමික සිද්ධස්‌ථානයක මෙන්ම ලොව කුමන ස්‌ථානයක වුවද මෙවන් හිංසාකාරී ක්‍රියාවන් සිදු නොවිය යුතු බවද අවධාරණය කළේය.

මෙම සිදුවීම සැළවීමෙන් තමා දැඩි කනස්‌සල්ලට පත් වූ බවත් ඉන් පීඩාවට පත්වූ බැතිමතුන්ට තම බලවත් කනගාටුව පළකරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිටිෂ් කුමාර් මහතා වෙත දුරකථනයෙන් කතා කළ ජනාධිපතිතුමා බැතිමතුන්ගේ පහසුකම් සහ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීය.

ඉන්දීය ජනපති සහ අගමැති
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් බුද්ධගයාවේ මහාබෝධි විහාරයට එල්ලවූ ප්‍රහාරය ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි මහතා මෙන්ම ඉන්දීය අගමැති මන්මෝහන් සිං මහතා විසින් ද තරයේ හෙළා දැක ඇත.

ආගමික ස්‌ථානයකට එල්ල වන ප්‍රහාරයකට කිසිම ලෙසකින් සමාව දිය නොහැකි බව ඉන්දියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.අගමැතිවරයා මේ ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති අතර ඉන්දීය ජනපතිවරයා පවසා ඇත්තේ මෙය නින්දනීය ප්‍රහාරයක්‌ බවය.

මේ අතර බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැති නිකිෂ් කුමාර් මහතා බුද්ධගයා විහාරයට ගොස්‌ මේ ප්‍රහාරයෙන් සිදුවූ හානිය ගැන පරීක්‍ෂා කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කියයි.


 
Related Posts with Thumbnails