Ads 468x60px

.

එදා පුංචි වෙළෙන්ඳා අද දහස් ගණන් සිත් සුවපත් කරන වෛද්‍යවරයෙක්

එදවස අප ඔහු හඳුනා ගත්තේ පුංචි වෙළෙන්දා නමිනි. ප්‍රසංග වේදිකාවේ නවමු වෙනසක් ඇති කළ ඒ ළමා ගායකයාට ආදරය නොකළ අයකු සොයා ගැනීම උගහට විය. 

ඇතැමෙකු ඔහු ගී ගයා අහවර වූ පසු වඩාගෙන තම ප්‍රතිචාර දැක්වූයේ අපමණ සෙනෙහසිනි.

අපි දැන් ඔහුගේ වර්තමානයට එමු. අද හෙතෙම දහස් ගණන් සිත් සුවපත් කරන වෛද්‍යවරයෙකි. එනමුදු සංගීතය තවමත් ඔහුගේ හදවතින් බැහැර කොට නැත. රුවන් ශ්‍රීලාල් දල්පදාදු නම් වෛද්‍යවරයා වූ ඒ පුංචි වෙළෙන්දා නැවතත් ප්‍රසංග වේදිකාව ඉතා සියුම්ව ආක්‍රමණය කරන ලදී. 


ඉතින් කලකින්, රුවන් වෙනුවෙන් අප ඉඩක් වෙන් කරන්නට නොහැකි වූ නිසා අප මෙසේ ඔහු පිළිබඳ සොයා බලන්නට සිතුවෙමු. ඊට ප්‍රබලම හේතුව වූයේ කල්මුණේ රෝහලේ සේවය කළ රුවන් කොළඹ පැමිණීිමයි.

රුවන්, කල්මුණේ ජීවිතය එපා වෙලා ද කොළඹ ආවේ?

කොහෙත්ම නැහැ. මානසික වෛද්‍යවරයකු විදිහට හොඳ සේවයක් ඒ ගම් පළාත වෙනුවෙන් මං ඉටු කළා. කොළඹට මං එන්නේ පුංචි උසස්

වීමක් ලබලා. වෛද්‍ය පරිපාලකවරයකු වශයෙනුයි මං කොළඹ ජාතික රෝහලේ දැන් සේවය කරන්නේ.

රුවන්ගේ පුංචි කාලේ රසිකයෝ අදටත් ඔබට හමුවනවා ඇති?

වෛද්‍යවරයකු වුණායින් පසු වැඩි දෙනෙකු දැනගෙන හිටියේ නැහැ පුංචි කාලේ සිංදු කියපු කෙනා තමයි මේ ඉන්නේ කියලා. මාව එහෙම හඳුන්වා දෙන්නෙත් වැඩි දෙනෙක් මගේ රසිකයෝ කියලා. 


වෙන කාගෙන් හරි මාර්ගයෙන් මාව කෙනෙකු හඳුනා ගත් අය මාත් එක්ක කතා කරලා පුදුම වෙනවා. ඇත්තම කිව්වොත් එදා පෙනුමයි අද පෙනුමයි හාත්පසින්ම වෙනස්.

ඒ කාලේ ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලුවා ළමා ගායකයකු විදිහට. ඒ ජනප්‍රියත්වය කාලය සමඟින් වියැකෙද්දී දුකක් හිතුණේ නැතිද?


මට ඒ කාලේ ගොඩක් අය ආදරය කළා. මග තොටේ දැක්කත් මුහුණ අතගාලා එහෙම විවිධ දේ කිව්වා. නමුත් මට ඒවා එච්චර ගාණක් නැහැ. ඉතින් ඒ ප්‍රසිද්ධිය අඩු වුණාට මට ලොකු අවුලක් දැනුණේ නැති තරම්.

කෙසේ වෙතත් ඔබ යළිත් ප්‍රසංග වේදිකාව ආක්‍රමණය කළා?

ඒක මෙහෙමයි සිද්ධ වුණේ. මං වෛද්‍යවරයකු වුණායින් පසු සුදු අයත් ලස්සනයි, ආයෙ ආයෙ එන්නේ නැහැ, වෙන ඕන දෙයක් වෙච්චාවේ වැනි ගීත කිහිපයක්ම කිව්වා. ඒවා අපේ සංගීත කණ්ඩායම් එයාලගේ ප්‍රසංග වලදී ගායනා කළා. ඒ සිංදු රසිකයන් අතරට ගියා. 


මං නැවතත් ඒවා ගයද්දී එම ගීත ජනප්‍රිය වෙලා තිබුණේ. එහෙමයි මට නැවතත් ප්‍රසංග වේදිකාවට එන්න පුළුවන් වුණේ.

ඔබේ පැරැණි ගීත නව සංගීතය මුසු කොට ගයන්න අදහසක් නැතිද?

එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එදා කටහඬ නෙවෙයි මට අද තියෙන්නේ.

එහෙම කියන්නේ ඔබනේ. මට නම් හිතෙන්නේ රුව කෙසේ වෙතත් ඔබේ කටහඬ තවමත් ඒ වගේමයි කියලා?

බොහොම ස්තුතියි. එහෙම කිව්වට. මං මගේ පරණ ගීත නැවත පටිගත කළොත් සමහර අයකුට තද වේවි. ඒවා ඒ විදිහෙන්ම අහන්න කැමති අයත් ඉන්නවනේ.

ඔබේ ඉංග්‍රීසි කලිසමයි වැනි ගීත ඔබ ප්‍රසංග වේදිකාවල ගයද්දී ඒවා පටිගත කොට ගුවන් විදුලි නාලිකාවල ප්‍රචාරය වෙනවා. සමහර විට එම ගීත ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමකයි තියෙන්නේ. 


ඔබ හොඳ ශබ්දාගාරයක පටිගත කොට ඒවා ඉදිරිපත් කළා නම් තවත් පරපුරකට එම ගීත රස විඳින්නට හැකි වෙනවා නොවේද?

ම්ම්ම් . . . කතාව හරි. ඒ පිළිබඳ හිතා බලන්නට ඕනෑ.

එදා ප්‍රසංග වේදිකාව සහ අද ප්‍රසංග වේදිකාව අතර වෙනස දකින්නේ කොහොමද?

එදාට වැඩිය අද හොඳයි මට හිතෙන විදිහට.

හේතුව?

අද මං වෙනස්ම රසික ප්‍රතිචාර අත් විඳිනවා.

තවදුරටත් පැහැදිලි කළොත්?

ඔන්න ඔයාම බලාගන්නකෝ.

රුවන් තම ජංගම දුරකතනය ගෙන ඔහු ප්‍රසංග වේදිකාවේ ගයන වේග රිද්මයේ ගීතයක දර්ශනයක් මට පෙන්වූයේය. එහි ඔහු ගයමින් ප්‍රසංග වේදිකාවේ පහළට පැමිණෙයි. 


එසැනින් රුවන්ව වට කරගත් රසිකයන් පිරිසක් ඔහුව ඔසවා ගන්නා ලදී. ඉන් එක් අයකු රුවන්ව කර මත තබා ගත්තේය. මේ ප්‍රතිචාර මධ්‍යයේ ඔහු නොනවත්වාම ගීතය ගයනු මට පෙනිණ.

කොහොමද මට අද තියෙන තැන. ඇතැම් ගායකයෝ වේදිකාවෙන් බහින්නේ නැහැ රසිකයෝ හානි කරයි කියලා. මම නම් එහෙම නැහැ. මට ඕනෑ එදා වගේම අදත් මිනිස්සු පිනවන්න.

ඔබ පුංචි කාලයේ පුංචි වෙළෙන්දා නම් ඒක පුද්ගල ගී ප්‍රසංගය පවත්වද්දී මහත් වූ අකරතැබ්බයකට මුහුණ දුන්නාලු. ඒ ගැනත් මතක් කළොත්?

ඔය සිද්ධිය වුණේ රත්නපුරේ ප්‍රසංගය පවත්වපු වෙලාවක. මං සිංදු කියලා ඉවර වෙච්ච ගමන් කවුදෝ මාව එක පාරටම ඔසවාගෙන දිව්වා. මගේ වාසනාවට දැකපු පිරිසක් මාව බේර ගත්තා. 


පස්සේ ආරංචි වුණ විදිහට එළියේ වාහනයක් එහෙම තිබිලා තියෙනවා මාව දාගෙන යන්න. බැරි වෙලාවත් එදා මාව පැහැර ගත්තා නම් සමහර විට එය මහත් වූ ශෝකාන්තයක් වෙන්න තිබුණා.

මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ රුවන් ශ්‍රීලාල් කියන වෛද්‍යවරයාට?

ඔව්, අහන්න.

රියැලිටි ළමා වැඩසටහන්වලදී ළමයින් වැඩිහිටියන්ගේ ගීත ගයන එක ගැන මොකද කියන්න තියෙන්නේ?

ඒ තරගයේ සිටින විනිශ්චය මණ්ඩලයේ අයට ළමයින් ගයන එම ගීත ගැන ප්‍රශ්නයක් නැතිනම් මට ඒ ගැන කියන්න බැහැ නේද.

මට ඔබෙන් මීට වඩා වගකීමක් ඇති පිළිතුරක් ඕනෑ?

හරි. මං මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. මං පොඩි කාලේ කාගෙවත් සිංදු කිව්වේ නැහැ. ඒ වගේ අද කාලේ ළමයිනුත් තමන්ගේම ගීත කිහිපයක් හදා ගන්නවා නම් හොඳයි. එතකොට ළමයින් ලැජ්ජාවට පත් වන්නෙත් නැහැ, තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙන්නෙත් නැහැ.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු?

එහෙම විශේෂයක් නැහැ. අලුත් ගීත කිහිපයක් කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේ අලුත්ම ගීතය වන ‘ඉස්පිරිතාලේ’ පසුගියදා නිකුත් කළා. එහි ගුණ දොස් විමසා බලමින් ඉන්නවා.
 
Related Posts with Thumbnails