Ads 468x60px

.

මැයි පළමුවෙනිදා සිට පෞද්ගලික අංශයට රු.2500 ලැබෙන්නේ මෙහෙමයි


ආණ්ඩුව මැදිහත් වී තමන්ගේ වැටුප් වැඩිකරතැයි පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් බලා සිටින්නේ බොහෝ කාලයක සිටය. එනමුත් එම කතාවට මෙපමණ කලක් වැළඳී තිබුණේ බාලගිරි  දෝෂයය. 

මේ අතරේ අගමැති රනිල් වික්‍රමසිංහ මැයි දින රැළියේදී කීවේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් දෙදහස් පන්සීයකින් වැඩිකරන බවය. අගමැතිවරයාගේ මේ කතාව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අමන්දානන්දයට හේතුවූ බවට සැක නැත.

කෙසේ නමුදු මේ දෙදහස් පන්සිය සේවකයන්ට ලැබෙනු ඇත්තේ දෙවාරයකටය. එනම් මුලින් රුපියල් එක්දහස් පන්සීයක් හා දෙවනුව

රුපියල් දහසක් යනුවෙනි. ඒ අනුව මැයි පළමුවෙනිදා සිට සේවකයන්ගෙ මූලික වැටුපට රුපියල් එක්දහස් පන්සීයක් බැගින්ද දෙදහස් දාසයේ ජනවාරි සිට ඉතිරි රුපියල් දහය සේවකයන්ට දීමට තීරණය කර ඇත.


කෙසේ නමුදු ආණ්ඩුවේ මේ යෝජනාවට වෘත්තීය සමිති දැඩි විරෝධය පළ කරති. අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ කියන්නේ රුපියල් 1500 වැටුප් වැඩිවීමේ යෝජනාවම මුළුමනින්ම ද්‍රෝහි යෝජනාවක් බවය, රුපියල් 2500 වැටුප් වැඩිවීම එම සේවකයින්ට දීමට ජනාධිපතිවරයා වහාම මැදිහත් විය යුතු බව ඔහු කියන්නේය. 


මේ අතර නිදහස් වෙළෙඳ කලාප ‍පොදු සේවා සේවක සංගමයේ සම ‍ලේකම් ඇන්ටන් මාකස් කියන්නේ පෞද්ගලික අංශයේ සේවකයින් ඉල්ලුවේ රුපියල් 5000 ක් වැටුප් වැඩි කිරීමත් බවය. රජය. හාම්පුතුන් සහ වෘත්තිය සමිති නියෝජනය කරන ජාතික කම්කරු උපදේශක සභාව මෙම වැටුප් ප්‍රශ්නය මූලික කරගෙන සාකච්ඡා කර තිබිණ. 

එහිදි මෙම ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තිය සමිති  වූ අන්තර් සමාගම් සේවක සංගමය, නිදහස් වෙළෙඳ කලාප හා ‍පොදු සේවා සේවක සංගමය, ලංකා වෙළෙඳ කාර්මික හා ‍පොදු සේවක සංගමය, ලංකා වෘත්තිය සමිති සම්මේලනය, ලංකා ජාතික වතු කම්කරු සමිතිය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වතු නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති ගණනාවක ඉල්ලීම වූයේ පුද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 5000ක අයවැය සහන දීමනාවක් දෙන ලෙසය. 

එහෙත් දැන් ආණ්ඩුවෙන් ලැබි ඇත්තේ ඉල්ලූ වැටුපෙන් භාගයකි. එයද ලැබෙන්නේ ඒ දෙපාරකටය. කම්කරු ඇමැති එස්.බි.නාවින්න ඉකුත් 27 වැනිදා කැබිනට් මණ්ඩලයට අනුක්‍රමික අංක 01/ඪ/2015 යනුවෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව පෞද්ගලික අංශයේ සියලු සේවකයින්ට 2015 මැයි මස 01 වෙනිදා සිට රුපියල් 1500 කින් වැටුප් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

එම යෝජනාවට අනුව පෞද්ගලික අංශයේ සේවක වැටුප රුපියල් 2500 කින් වැඩි කිරිමේ පළමු පියවර ලෙස මැයි 1 වෙනිදා සිට සේවකයින්ගේ දැනට පවතින වැටුප රුපියල් 1500 කින් වැඩි කරනු ඇත. දෙවන පියවර යටතේ 2016 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන අතර ඒ වන විට ගෙවන වැටුප තවත් රුපියල් 1000 කින් වැඩි කිරිමට නියමිතව ඇත.


පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැටුප් වැඩිකිරිමට අදාල තීන්දු ගෙන තිබේ. කෙසේ නමුදු මුලින් යෝජනා කර තිබුණේ මාසයකට රුපියල් 30,000ක වැටුපක් හා ඊට අඩු වැටුපක් ලැබෙන අයට පමණක් මෙම රුපියල් 1500 දීමටය. 

මෙම තීරණය එය අසාධාරණ බවට වෘත්තිය සමිති වෙතින් කෙරුණ ඉල්ලීම මත එය රුපියල් 30000 ,රුපියල් 40,000 වැඩි කිරීමට එකඟතාව පළ වී ඇත. කෙසේ නමුදු වැටුප් වැඩිවීම් වැටුපට එකතු වීමේදී එය රු.41,500/- නොඉක්මවිය යුතුය බව කැබිනට් පත්‍රිකාවේ සඳහන්ය. එමෙන්ම එම වැටුප් වැඩි කිරීම

(අ) 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත
(ආ) 1980 අංක 46 දරන සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල් පනත.
(ඇ) 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත 
(ඈ) 1939 අංක 32 දරන ප්‍රසූතිකාධාර ආඥාපනත
(ඉ) අතිකාල, රාත්‍රීකාල දීමනා සහ නිවාඩු දින දීමනා සම්බන්ධ සියලුම ගෙවීම් අදාළ විය යුතු බව සඳහන් කර ඇත.


ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම දිය යුතු වන්නේ මූලික වැටුපට මිසක් දීමනාවක් ලෙස නොවේ.

මේ අතර නිදහස් වෙළඳ කලාප හා ‍පොදු සේවා සේවක සංගමයේ සම ‍ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසන්නේ පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500 කින් වැටුප් වැඩි කර ගැනීම, පාර්ලි මේන්තුවේ සම්මත කර ගැනීම සඳහා තම වෘත්තිය සංගමය සකස් කළ කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට මන්ත්‍රීවරු ගණනාවක් මේ වන විට සිය එකඟත්වය පළ කර තිබෙන බවය. 


ඔහු එසේ පවසන්නේ අතුරු අයවැය යෝජනා මගින් පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2500 කින් වැඩිකරන ලෙසට හාම්පුතුන්ගෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම හාම්පුතුන් විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසාය.  

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා කෙරුණු මෙවැනි වැටුප් වැඩි කිරිමේ අයවැය යෝජනා මීට පෙරද හාම්පුතුන් කිසිවකු ක්‍රියාත්මක නොකළ බවත් එසේ වන්නේ අයවැයෙන් වුවත් ඒවා හුදු ඉල්ලීම් පමණක් විම නිසා එවැනි යෝජනා ක්‍රියාත්මක කිරිමට හාම්පුතුන් හට නීතිමය බැඳීමක් නැති නිසාත් බවත් ඇන්ටන් මාකස් මහතා පෙන්වා දෙයි.

මෙහිදි 1978 අංක 1 දරන කම්කරුවන්ගේ අයවැය සහන දිමනා පනත සහ 2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත නම් වලින් පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනත් යොදා ගෙන පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරිම් ලබා දීමට පියවර ගෙන තිබිණ.



පහුගිය අතුරු අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා දෙනු ලැබූ රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමත් සමඟ රාජ්‍ය අංශයේ සේවකයෙකු ගේ මාසික වැටුප රුපියල් 35000 දක්වා වැඩි කළා. 


නමුත් මිලියන 8.5 පමණ වන පුද්ගලික අංශයේ සේවකයින් අතරින් පඩි පාලක සභා මගින් ආවරණය වන මිලියන 2.3 ක් වන සේවකයින්ගේ මාසික අවම වැටුප රුපියල් 15,000 ක් හෝ ඊටත් අඩුයි. 

මේ තත්ත්වය සැලකිල්ලට අරගෙනයි අපේ වෘත්තීය සංගමය ඇතුළු ජාතික කම්කරු උපදේශක සභාව නියොජනය කරන සියලු වෘත්තිය සංගම් මෙම රුපියල් 5000 වැටුප් වැඩිවීම ඉල්ලා සිටියේ. ඇන්ටන් මාකස් මහතා පවසයි.

මේ අතර වසන්ත සමරසිංහ මහතා පවසන්නේ පෞද්ගලික පනත් ගෙනැවිත් සම්මත කිරීමට දෙයක් මෙහි නැති බවය. ආණ්ඩුව ගෙන එනු ලැබු යෝජනාව නීතිගත කිරීම ආණ්ඩුවේ කාර්යක් බවය. 


මේ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය විධායක බලය පාවිච්චි කර මෙම සාධාරණ ඉල්ලීම පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් ඉටුකළ යුතුය යන්න ඔහුගේ අදහසය.

කෙසේ නමුදු කම්කරු ඇමැති එස්.බි නාවින්න ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුපද වැඩි කිරීමට යෝජනා කර ඇත.
එහි මෙසේ සඳහන්ය.


පෞද්ගලික අංශයේ සෑම සේවකයකුටම හිමිවන පරිදි ජාතික අවම වැටුප මාසිකව රු.10,000/- ක් වශයෙන් නියම කිරීම. මේ අනුව ෙදෙනික වැටුප රු.400ක් (රු.400 * දින 25 - රු.10,000/-) වන අතර එය මූලික වැටුප වශයෙන් 2015 මැයි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සෑම සේව්‍යයෙක් විසින්ම සේවකයින්ට ගෙවිය යුතුය යනුවෙන් එහි සඳහන් කර ඇත.
 
Related Posts with Thumbnails