Ads 468x60px

.

සේයාගේ බෙඩ් ෂීට් එක අයිනේ තිබුණු මඩ පැල්ලම දැන් කියන කතාව..!


නිදන කාමරයේ ලයිට් එක දමන විට කාමරයේ එක් ජනේලයක් බාගෙට ඇර තිබුණ නිසාත්, නිදාගන්න හදන විට ඇඳේ වැලි තිබිම මගේ සැකයට භාජනය වූ නිසා, සේයා දුව නිවසේ නොමැති බව පැවසූ සැණින් මා නිදන කාමරයට ගොස් බලන විට ජනේලය ළඟ ඇඳේ බෙඩ් ෂීට් එක අයිනේ මඩ පැල්ලමක් තිබුණා යැයි කොටදෙණියාව බඩල්ගම සේයා සෙදෙව්මි නමැති පස්හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධව සාක්ෂි දෙමින් දැරියගේ පියා වූ බලදරගේ උපුල් නිශාන්ත (අවු. 37) යන අය පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා ඉදිරියේ පරීක්ෂණය පැවැත්වුණි.

කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ තම මව, සොහොයුරා සහ කුඩා සොහොයුරිය සමග ඉකුත් 11 වෙනිදා රාත්‍රී නිදා සිටියදී අතුරුදන්ව සිටි සේයා සෙදෙව්මි නමැති පස් හැවිරිදි
දැරියගේ මළ සිරුර ඉකුත් 13 වෙනිදා අකරන්ගහ අරවින්දවත්ත අසල වෙල්යායේ ඇළ ඉවුරක් මත තිබියදී හමුවී තිබුණි.

කොටදෙණියාව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සුජිත් උදය කුමාර මහතාගේ සාක්ෂි මෙහෙයවීම මත වැඩිදුරටත් සාක්ෂිදුන් සේයා දැරියගේ පියා වූ බලදරගේ උපුල් නිශාන්ත මහතා:

අංක 23/02, අකරන්ගහ, බඩල්ගම යන ලිපිනයේ මා පදිංචිව සිටිනවා. රැකියාව වශයෙන් සතියකට දින 3ක් දහවල් නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කරනවා. 

රාත්‍රියට ආයතන දෙකක සේවක සේවිකාවන් වෑන් රථයකින් ප්‍රවාහනය කරනවා. එම වෑන් රථය මට අයත් එකක්. මගේ මව සහ පියාත්, බිරිඳ දරු තිදෙනා සමග මා ඉහත ලිපිනයේ පිහිටි නිවසේ පදිංචිව සිටිනවා. සතියට දින කිහිපයක් පමණයි හයර් තියෙන්නේ.

පියා බඩල්ගම ටෙලිකොම් ආයතනයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරන අතර බිරිඳ පේෂකර්ම උපදේශිකාවක් ලෙස සේවය කරනවා. බිරිඳ උදේ 8.30ට වැඩට ගොස් සවස 05 ට ආපසු නිවසට එනවා. බිරිඳ සතියේ දින පහේම රැකියාවට යනවා. 

මගේ අම්මා රැකියාවක් කරන්නේ නැහැ. වැඩිමහල් පුතා මීගමුව ප්‍රදේශයේ පාසලක 2 වසරේ ඉගෙනුම ලබනවා. මියගිය සේයා දුව බඩල්ගම “සත්මඟ” පෙර පාස‍ලේ  ඉගෙනුම ලබන අතර බාල දරුවාව මගේ අම්මා බලා ගන්නවා.

2015.09.11 වන දින උදේ 6.15ට පමණ මා පුතාව පාසල් වෑන් රථයට  ඇරලවා රැකියාවට නිට්ටඹුවට යාම සඳහා එදින උදේ 6.45ට පමණ  යතුරුපැදියෙන් නිවසින්  පිටත් වුණා. රැකියා ආයතනයට ගොස් ලැබ් එකට වෙලා අලුත් විෂය නිර්දේශයට ක්‍රියාකාරකම් සකස් කළා. රැකියා ආයතනයෙන් එදින (11) සවස 4.30ට පිටත්වී සවස 5.15ට පමණ මා නිවසට ආවා.

වෑන් එක සෙනසුරාදා විකුණන්න නියමිතව රුපියල් 5000ක් අත්තිකාරම් ලබා ගෙන තිබුණා. පසුව මා වෑන් එක සේදුවා. වෑන් එක සෝදා ඉවර වෙන කොට රාත්‍රී 7 පමණ වුණා. මගේ බිරිඳ දරුවන්ට ප්‍රයිඩ්රයිස් එකක් ගෙනත් තිබුණා. එයින් ටිකක් මාත් කෑවා. සේයා දුව ගේම් එකක් ගහන්න ෆෝන් එක ඉල්ලුවා. 

මට පරක්කු වෙනවා පුතේ කියා සේයාට ජංගම දුරකථනය දුන්නෙ නැහැ.  රාත්‍රි 7.30ට ගාමන්ට් එක ගාවට යන්න තිබුණේ.  සේයා ෆෝන් එක ඉල්ලනකොටත් රාත්‍රි 7.30යි. බඩල්ගම ෂෙඩ් එකෙන් තෙල් ගහගෙන 7.40ට පමණ ගාමන්ට් එක ගාවට ගියා. මම එතනට ගියාම එයාලා දෙන ගමන් විස්තරය අනුව මා යන්න ඕනැ.

එදින මට කටාන පැත්තට  ගොස් දෙල්ගස් හංදියෙන් ගමන් අවසානය තිබුණේ. තිදෙනකුව පමණයි මට බස්සවන්න තිබුණේ. අවසානකෙනා බස්සවන විට වෙලාව රාත්‍රි 8.47 ට පමණ ඇති. හයර් කොන්ත්‍රාත්තුව භාර අරගෙන තියෙන්නේ අශෝක යන අයෙක්. ඔහු මට කෝල් කර කිව්වා රෑ 10ට නැවත ගාමන්ට් එක ළඟට එන්න කියලා.  

මා පළමු හයර් එක ඉවර කරලා රාත්‍රි 9.05ට විතර මගේ නිවසට ආවා. සාලයේ ලොකු පුටුවේ ලොකු පුතා  නිදාගෙන හිටියා.  ඒ පුටුවේම බිරිඳ වාඩිවෙලා ටී.වී. බලමින් සිටියේ. බිරිඳගේ ඔඩොක්කුවේ කුඩා දියණිය නිදාගෙන සිටියා වගේ මතකයි.

මහෙස්ත්‍රාත්වරයා : සේයා කොහෙද හිටියේ?

සාක්ෂිකරු: මා සේයා ගැන සොයා බැලුවේ නැහැ. ගෙදරට ඇවිත් මගේ දින‍පොතේ සටහන් දැම්මා ගියපු හයර් එකේ විස්තර ගැන.

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

දින ‍පොතේ සටහන් යෙදීමෙන් අනතුරුව ටී.වී. එකේ තිබුණ නාට්‍යයක් බැලුවා. දරුවන් ගැන වෙන් වෙන්ව බැලුවේ නැහැ. සේයා දුව කාමරයේ ඇති කියා සිතුවා. 9.45 වෙනකම්ම රූපවාහිනිය බැලුවා.  

නැවත හයර් එක යන්න මා රාත්‍රි 9.45ට ගෙදරින් පිටත් වුණා.  මාරියෝ ආයතනයේ 07 දෙනකුව බස්සන්න තිබුණා. 10.30ට අන්තිම එක්කෙනා බස්සවා එනවිට  මට නැවත කෝල් එකක් ආවා.

හයර් කොන්ත්‍රාත්කරුගෙන් මිනුවන්ගොඩ යන්න තියෙනවා නැවත ෆැක්ටරියට එන්න කියා. රාත්‍රි 10.50 ට පමණ එක් අයකු මාව මිනුවන්ගොඩ වෑගොව්වට දමා ආවා. නැවත මා රාත්‍රි 12.10ට පමණ මගේ නිවසට පැමිණියා. වෑන් එක නිවස ඉදිරිපිටින් නවතා මා නිවසේ ඉදිරි දොරෙන් ඇතුළු වුණා. ඉදිරි දොරට දොරගුළු දමා තිබුණේ නැහැ. 

නිකම් දොර වසා තිබුණේ. නිවස එළියේ ලයිට් එක දැල්වෙමින් තිබුණා. දොර ඇරගෙන නිවස තුළට  ගොස් දොර අගුළු දමා වසා දැමුවා. කුස්සියේ ලයිට් එක දමා මා වතුර බි පිටුපස දොරට අගුළු දමා දැයි බලා කුස්සියේ ලයිට් එක නිවා දමා ෆෝන් එකේ ටෝච් එළියෙන් නිදන කාමරයට ඇවිත් නිදන කාමරයේ  ලයිට් එක දැම්මා.

බිරිඳ පුතා චූටි දුව එක ඇඳක නිදා සිටියා. කාමරයේ ඇඳන් 2ක් එකට ළංකර තියෙන්නේ. සේයා දුව නිදියන්නේ මගේ ඇඳේ.  එයා ඇඳේ සිටියේ නැහැ.  මා ඇඳේ මදුරු නෙට් එක හදන විට බිරිඳ ඇහැරුණා. 

සේයා දුව කෝ කියා බිරිඳ මගෙන් ඇසුවා. මා කිව්වා සේයා නම් ඇඳේ නැහැ කියා. එවිට බිරිඳ කිව්වා අම්මා ළඟට යන්න ඇති කියා. දරුවා වෙනදත් එහෙම යන නිසා මම සොයා බැලුවේ නැහැ.

මහෙස්ත්‍රාත්වරයා: තාත්තා නිවසට ඇවිත් සිටිනවාදැයි සොයා බැලුවද?

සාක්ෂිකරු: මා එසේ සොයා බැලුවෙත් නැහැ.

වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු: නිදාගන්නා කාමරයේ ඇඳන් අසල ජනෙල් පියන් හතරක් තියෙනවා. එම හතරටම අගුළු දමන්න පුළුවන් වුණත් එක ජනේලයක ග්‍රිල් එක නැහැ. මම කාමරයේ ලයිට් එක දාන  කොට ග්‍රිල් එක නැති ජනෙල් පියන බාගෙට විවෘතව තිබුණේ. එදින වැසි දිනයක් නිසා ජනේලය ඇර තිබිම ගැන මට ‍පොඩි සැකයකුත් මතු වුණා. ඉස්සරහ දොරේ යතුර නැති වුණා. 

නිවස තුළට එන්න ජනේලය පන්නා ග්‍රිල් එක ගලවා දැම්මා. වසරක් පමණ ගත වුණත් ග්‍රිල් එක නැවත සවි කරන්න බැරි වුණා. රාත්‍රියට දාඩියදාන සමහරක්  දිනවලට  මා ජනේලය ඇරගෙන නිදා ගන්නවා. මා නිදාගන්න ඇඳේ ඇලවෙන කොට ඇඳේ වැලි තිබුණා. මා එම වැලි බිමට ගසා දමා මා නිදාගත්තා. මා නිදියන  විට වේලාව රාත්‍රි 12.15ට  12.20 ට පමණ ඇති.

පසුදා (12 වෙනිදා) උදේ 6.30 ට පමණ මා අවදි වී සාලයට එනවිට ටී.වී. එක දාලා තිබුණා.  ධර්මදේශනාවක් විකාශය වෙමින්  තිබුණා. කුස්සියට ගිහින් තේ එක අරන් සාලයට එන විට පුතා ටී.වී. එකේ කාටුන් එකක් බලමින්  සිටියා. මා තේ බොමින්  සිටින විට සාලයට පැමිණ මගේ තාත්තා සේයා කෝ කියා විමසා සිටියා. 

මා කිව්වා අපි ගාව හිටියෙ නැහැ. ඔයාලා ගාවනේ හිටියේ කියලා. තාත්තා කියන්න කලින් අම්මා කිව්වා නැහැ නැහැ අපි ගාව හිටියෙ නැහැ. ඔයාලා ගාවනේ හිටියේ කියලා. තාත්තා කෑගැහුවා සොයපියව් දරුවව කියලා.

ජනේලය ඇරලා තිබුණ නිසාත්, නිදාගන්න යන විට ඇඳේ වැලි තිබිමත් සම්බන්ධව මට එකවර නැවත සැකයක් ආවා. මා නිදන කාමරයට දිව ගියා.  ජනේලය ගාව බෙඩ්සීට් එක අයිනේ මඩ පැල්ලමක් වගේ  තිබුණා.  මම කෑගැහුවා ජනේලය ළඟ කකුල්පාරකුත් තියෙනවා කවුරු හරි ළමයාව අරන් ගිහින්ද කියා කෑගැසීම නිසා අවට අයත් නිවසට ආවා. සියලු දෙනා එක්ක දරුවාව හෙව්වත් හමුවුණේ නැහැ.

තාත්තා ‍පොලිසියට ගියා. ‍පොලිසිය සහ ගම්වාසින් සේයාව සොයන කොට 13 වෙනිදා උදේ අරවින්දවත්ත මායිමේ ඇළ ඉවුරක තිබියදී දැරියගේ මළසිරුර හමුවී තිබුණා. මට විතරයි එතනට යන්න දුන්නේ. මා සේයා දුවව හඳුනාගත්තා යැයි පැවසීය.

සේයා දියණියගේ සීයා වූ බලදරගේ දයාරත්න (අවු.59) මහතා සාක්ෂි දෙමින්  මෙසේ පැවසීය.

11 වෙනිදා රාත්‍රි 7 ට පමණ මා බිරිඳ සහ අසල්වැසියන් සමග වෑන් රථයකින් මිනුවන්ගොඩ මළ ගෙදරක ගියා. නිවසට ආවේ රාත්‍රි 10 පසු වෙලා. මමත් බිරිඳත් නිවසින් පිටත්ව යන විට පුතත් එයාගේ බිරිඳත් පුතාගේ දරු තිදෙනත් ගෙදර හිටියා. මා මළගෙදර යන්න පෙර පුතා වෑන් එක  හෝදමින් සිට කිව්වා රාත්‍රි හයර් එක යන්න තියෙනවා කියා. මළගෙදර ගිහින් එන විට  පුතා හිටියේ නැහැ. 

දරුවෝ නිදිබව මට තේරුණා. සාමාන්‍යයෙන් මාත් මගේ බිරිඳත් ගෙදර නැතිවිට පුතාගේ බිරිඳ සහ දරුවන් රාත්‍රි 7ට 7.30ට විතර නිදියනවා. නිවසින් කවුරු හෝ පිටත ගොස් සිටියොත් නිවසේ ඉදිරි දොරේ දොරගුලු දාන්නේ නැහැ. මළ ගෙදර ගිහින් ආපි ආපසු එනවිට නිවසේ දොර ඇරලා තිබුනද කියන්න මට මතක නැහැ.

රාත්‍රි නිවසට ඇවිත් බිරිඳට කියා බත් බෙදාගෙන කෑම කාලා මා නිදාගත්තා. බිරිඳ සහ මම නිදා ගන්නේ එකම කාමරයක. බිරිඳ ඇඳේ තනියම නිදියන නිසා සේයා දියණිය නිදාගන්න ඇඳේ කාමරයටත් එනවා. දිනපතා අපි ළඟ නිදාගන්න එන්නේ නැහැ. මැදියම් රැයේ ඇහැරුණත් අපි ළඟට එනවා. රාත්‍රි එදා ආවද කියන්න මම දන්නෙ නැහැ. 

මට නින්ද ගිහින් තිබුණේ. පසුදා (12 වෙනිදා) මම උදේ 5.20 ට පමණ  අවදි වී රැකියාවට යාම සඳහා  සූදානම් වුණා. බිරිඳ මට උදේට හීල් බත් ආහාරයට සූදානම් කර දුන්නා. මා සිරිතක් වශයෙන්  උදේට ඇවිදින ගමන් කන්නේ.  උදේ කමින් අවදි නොවූ දරුවන්ව ඇහැරවනවා. සේයා දුව නැති නිසා එයා කෝ කියා විමසන විට කුස්සිය පැත්තෙන් කිව්වා එයා තවම නිදි කියා.

මා එයා නිදියන පුතාලාගේ කාමරයට ගියා. සේයා ඒ කාමරයේ නැති නිසා මා අපේ කාමරයේ බැලුවා. දරුවා කාමර දෙකේම නැහැ. පසුව සියලු දෙනා කලබලවී සේයා දුවව හෙව්වත් එයාගේ මළසිරුර 13 වෙනිදා අරවින්දවත්ත අසල  ඇළ ඉවුරක තිබි හමුවූ බව පැවසීය.

මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි නැවත සටහන් කිරීම ඔක්තෝබර් 02 වෙනිදාට නියම කෙරුණි.
 
Related Posts with Thumbnails