Ads 468x60px

.

කොණ්ඩයා මීගමු රෝහලට ගෙනා හැටි (පින්තුර)


කොටදෙණියාව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අද (25) මීගමුව රෝහලට ගෙනවිත් තිබේ. 

රහස් පොලිසිය සැකකරු රෝහලට ගෙන ආ අවස්ථාවේ විශාල පිරිසක් රැස්ව ඇති අතර එම අවස්ථාවේ නොසන්සුන් තත්වයක්ද ඇතිවී තිබේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්.එන්.රුහුල් හක් සැකකරුගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරයි.  




සේයා දැරිය ඝාතනය කළ අයුරු විස්තර කරමින් සැකකරු විසින් සිදු කරන ලද පාපොච්චාරණය පහතින් කියවන්න. 

කොටදෙණියාව සේයා සදෙව්මි දැරියට ලිංගික අතවර කර ඝාතනය කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත නොහොත් "කොණ්ඩයා" නමැත්තා තමා සිදු කළ අපරාධය පිළිබඳව රහස්‌ පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

මෙම සැකකරු පසුගිය 23 වැනිදා ගම්පහ, බෙම්මුල්ල බදුවතුගොඩ කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු රාත්‍රි කාලයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහනේ සිටින අයුරු බලා සිටීමට හුරු වූ පුද්ගලයෙක් බවත් ඒ අයුරින් සේයාගේ නිවසට එබිකම් කර බැලීමේ දී දැරිය සිය මව සමග නිදාගෙන සිටින අයුරු දැක දැරිය කෙරෙහි ආශාවක්‌ ඇති වූ බවත් පොලිසියට කළ පාපොච්චාරණයේ සැකකරු සඳහන් කර තිබේ.

සැකකරු පොලිසිය හමුවේ මෙසේ පාපොච්චාරණය කර ඇත.

"මම රෑ වෙලා අක්කලාගේ ගෙදර යන්නයි ආවේ. මේ වෙනකොට ඔය ගෙදර කාමරයේ ලයිට් දාලා තිබුණා. මම ජනේ‍ලේ ඇරලා බැලුවා. එතකොට ළමයයි එයාගේ සහෝදරයෝ දෙන්නයි අම්මයි එකට නිදාගෙන හිටියා. මම ජනේලෙන් පනින්න හැදුවත් මට බය හිතුණ හින්දා මම ගෙදර ඉස්සරහ පැත්තට ගියා. ගිහිල්ලා ඉස්සරහ දොර ඇරලද කියලා බැලුවා. ඒ වෙනකොට දොර ඇරලා තිබුණේ. මම ගේ ඇතුළෙන් කාමරේට ගියා.මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටෙ අස්‌සේ ගසා අතවර කරන්න ලෑස්ති උනා.

ඒත් ළමයා නින්දෙන් දඟලපු නිසා මම ළමයාවත් වඩාගෙන එළියට ආවා. ගිහිල්ලා මඳ දුරක් එනකොට ළමයාට එකපාරටම ඇහැරුණා. එහෙම ඇහැරිලා 'අම්මේ අම්මේ' කියලා කෑගැහුවා. දඟලන්න ගත්තා. දරුවා නැගිටියි කියලා බය වෙච්ච නිසා මම ළමයාගේ බෙල්ලට බැනියම දාලා තද කළා. ඊට පස්සේ ළමයා දැඟලුවේ නැහැ. මම හිතුවේ මැරුණා කියලා. එහෙම අරන් ගිහිල්ලා තමයි අතවර කළේ.

ඊට පස්සේ තමයි ආයෙත් බෙල්ල තද කරලා මැරුවේ. දරුවා මරලා කැ‍ලේට දාලා අක්කලාගේ ගෙදර නොගිහින් ගම්පහ ගෙදර ගියා. පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා 'උඹ මොකද බය වෙලා' කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. 'මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා' කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා."

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයා වන අතර ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේ දී මෙම ඝාතනයේ සුලමුල හෙළි කර ගැනීමට පොලීසියට හැකියාව ලැබී ඇත. ඒ අනුව ඔහුගේ සොහොයුරා වන සේයා දියණිය ඝාතනය කළ දුනේෂ් ප්‍රියශාන්ත නමැති පුද්ගලයා සැඟව සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

සැකකරු කිසිදු අධ්‍යාපනයක්‌ නොලැබූවෙකු ලෙස සඳහන් වන අතර ගම්පහ ප්‍රදේශයේ දැරියක පැහැරගෙන අතවර කිරීමට උත්සාහ කිරීම නිසා ගම්වැසියන්ගෙන් එල්ල වූ බලපෑම් හේතුවෙන් කොටදෙණියාවෙහි පදිංචි තම සොයුරියගේ නිවසට පැමිණ සැඟව සිට තිබේ.

රාත්‍රි නිදාගන්නා බවට සැකකරු නිවැසියන්ට හඟවමින් සිට ඇතත් රාත්‍රිය පුරා මොහු ප්‍රදේශයේ නිවෙස්‌ අසලට ගොස්‌ කාන්තාවන් නිදි යහන්වල සිටින අයුරු නිරීක්‍ෂණය කිරීම විනෝදාංශය ලෙස කර ඇති බව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරගෙන ඇත.

භූමිදානය කරන ලද තරුණියකගේ සිරුරක්‌ ගොඩගෙන දූෂණය කිරීම සම්බන්ධවත් කාන්තාවන් බලහත්කාරයෙන් බදා ගැනීමට යැම, පුද්ගලයන්ට පහරදීම ඇතුළු විවිධ අපචාර චෝදනා මොහුට එල්ල වී තිබූ බවද හෙළි කරගෙන ඇති පොලිසිය මොහු විවිධ විකෘති ආශාවන්ගෙන් පෙළුණු අයකු බවට සැකකරයි.

සැකකරු DNA පරීක්‍ෂණයක්‌ සඳහා යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව ඔහු පැය 72 ක්‌ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී ඇත.
 
Related Posts with Thumbnails