Ads 468x60px

.

නිවැරැදි හා සත්‍ය තොරතුරු වෙනුවට "හොට්‌ ගොසිප්" ගෙන ඒමේ තරගය...


කොටදෙණියාවේ බඩල්ගම ප්‍රදේශයේ අහිංසක දැරිවියගේ ඝාතකයන් යෑයි සැක කෙරෙන තවත් පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගත් බව ඊයේ පුවත්පත් වාර්තාකර තිබිණි. 

මෙවර ස්‌ථිර වශයෙන් ම ඒ අදාළ සැකකරුවාම අත්අඩංගුවට ගෙන ඇති බව කිව හැකිය. ඒ කවර පරීක්‍ෂණයකට වුව පෙරාතුව ඔවුන් විසින්ම ඝාතනය සිදු කළේ තමන් බව පොලිසියට පාපොච්චාරණය කර ඇති නිසාය. 

මෙතැන් පටන් අධිකරණ ක්‍රියාමාර්ගවලට ද පෙර ඒ පාපිෂ්ටයන් එල්ලුම් ගස්‌ ඇරීමට අපි සූදානම් නොවෙමු. කොටදෙණියාවේ දැරියගේ ඝාතනය
අතිශය කෲරතර, ම්ලේච්ඡ ක්‍රියාවක්‌ බවට විවාදයක්‌ නැත. 

සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන්, දෙදෙනා පමණක්‌ නොව එවැනි පාපතර ක්‍රියාවකට පෙළැඹෙන ඕනෑම පුද්ගලයකු ම්ලේච්ඡත්වය ද ඉක්‌මවා ගිය තිරිසන් ගති විදහා දක්‌වන අය බවද කිව යුතුය.

දැන් ප්‍රශ්නය ඇත්තේ කොටදෙණියාවේ දැරියගේ ඝාතනය හමුවේ එතෙක්‌ මෙතෙක්‌ සමාජය හැසිරුණු ආකාරය ගැන ය. සියලුම මුද්‍රිත මාධ්‍යවල, දැරියගේ විවිධ ඡායාරූප නිරන්තරයෙන් පළ විය. 


සියලුම රූපවාහිනි නාලිකාවල ප්‍රවෘත්ති විකාශයේදී දැරියගේ ඡායාරූප පෙන්වීම නොවරදවාම සිදු කෙරිණි. විවිධ ගොසිප් වෙබ් අඩවි පුංචි ඇයගේ ඡායාරූප පළ කර තිබුණේ ඉවක්‌ බවක්‌ නැතිවය. 

විවිධ සමාජජාල වෙබ් අඩවි හරහා දැරිය කෲරතර අන්දමින් දූෂණය කර ඝාතනය කර තිබූ අයුරු දැක්‌වෙන ඡායාරූප සංසරණය විය. රට පුරා උද්ඝෝෂණයන්හි ජනතාව අත දරා සිටි පුවරුවලද සේයාගේ ඡායාරූප දක්‌නට ලැබිණි. 

මේ සියලු දේ නිසා කොටදෙණියාවේ දැරියගේ ඝාතනය ගැන කම්පාවක්‌ ඇති කරනවා වෙනුවට සමාජය තුළ වෙනම "ත්‍රිල්" එකක්‌ නිර්මාණය වී තිබුණු වගක්‌ පෙනෙන්නට තිබිණි. දැරියගේ ඝාතන සිදුවීම අප්‍රසන්න ලෙස සමාජගත කිරීමේ මාධ්‍ය භාවිතාවක්‌ පවා පෙනෙන්නට තිබිණි. 

සමාජය තුළ මේ සිදුවීම මිනිසුන්ගේ සිත් කම්පනය කරන අන්දමේ සිදුවීමක්‌ වෙනුවට "ඇගේ වෛරය" චිත්‍රපටයේ තවත් කොටසක්‌ තරමට සාමාන්‍යකරණය වී තිබිණි.

2012 වර්ෂයේදී ඉන්දියාවේදී සමූහ දූෂණයට ලක්‌ව මිය ගිය "නිර්භයා" නමැති වෛද්‍ය ශිෂ්‍යාවගේ සිදුවීමේදී සහ කොටදෙණියාවේ සිදුවීමේදී මෙරට මාධ්‍ය හා ජන සමාජයේ හැසිරීම අපට බොහෝ පාඩම් කියා දෙන්නකි. සමූහ දූෂණයට ලක්‌ව මියගිය ඒ වෛද්‍ය ශිෂ්‍යාවගේ සැබෑ නම මේ වනතුරුත් කොතැනක හෝ ලියෑවී නැත. කෲරතර මරණයකට ගොදුරු වූ ඒ වෛද්‍ය ශිෂ්‍යාව ලොව හඳුනාගත්තේ "නිර්භයා" ලෙසිනි. 


ඇය රෝහල්ගත කර සිටින ඡායාරූපයක්‌ හැරුණු විට කිසිදු ඡායාරූපයක්‌ පුවත්පත්වල හෝ අන්තර්ජාලයේ දක්‌නට නැත. ඇයගේ මරණයෙන් පසු ඉන්දියානු සමාජයේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයම බොහෝ උද්ඝෝෂණයන්හි නිරත විය. 

එම උද්ඝෝෂණ මැද ආවේගය උපරිමයෙන් දක්‌නට ලැබිණි. එහෙත් ඒ උද්ඝෝෂණ දියත් වූයේ සාධාරණය වෙනුවෙන් මිස තවත් මිනිසෙක්‌ මරාගෙන කන මට්‌ටමින් නොවේ. මෙරට ජන සමාජය සිය ආවේගය මුදා හැරියේ නඩු තීන්දුව ද තමන්ම ලබා දෙමිනි. 

කිසිදු වග විභාගයක්‌ නොමැතිව දකින දකින අසල්වාසියා පමණක්‌ නොව අම්මා, තාත්තා පවා "වරදකරුවන්" කරන්නට සමාජය ඉක්‌මන් වී තිබිණි. මේ "හිරිකිත සන්නියට" අඩව් අල්ලන්නට ජනමාධ්‍ය ද එක්‌ව සිටියහ.

නිවැරැදි හා සත්‍ය තොරතුරු වෙනුවට "හොට්‌ ගොසිප්" ගෙන ඒමේ තරගයක්‌ පැහැදිලිවම දක්‌නට ලැබිණි. තරගයේ තරම පැහැදිලි කරගන්නට කොටදෙණියාවේ දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවාගේ මව අසන ප්‍රශ්නයම ප්‍රමාණවත් ය.

"මගේ දරුවාට වෙච්ච අසාධාරණය ගැන වග කියන්නේ කවුද?"

රට පුරා පැවැති උද්ඝෝෂණවලදී පැහැදිලිවම දක්‌නට ලැබුණේ, ඝාතකයන් සොයා අත්අඩංගුවට ගන්න යෑයි කියන්නක්‌ නොවේ. "අපි කියන කෙනා අත්අඩංගුවට ගන්න" වැනි මුග්ධ ආවේගයක්‌ සහිත කෑ ගැසීම්ය.

මේ සිදුවීම් දාමය පුරාම අප දුටුවේ මෙවැනි වගකීමක්‌ නොමැති හැසිරීම්ය. සමාජය පිළිබඳව දල අවබෝධයක්‌ හෝ ඒ කිසිවෙකුටත් නොතිබුණාසේය. සමාජයේ මේ හැසිරීම් කොටදෙණියාවේ දැරිය ඝාතනය කළ අධමයන්ටත් වඩා විකෘතිය.

ඒ විකෘතිය ඉතා නපුරු ආකාරයට ඝාතනයට ලක්‌වූ දැරියගේ පියාට මෙන්ම මවටද බලපා තිබිණි. පියාගේ ජීවිතය ඉතා අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබුණු බව ඔහු විසින්ම මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබිණි.

ඒ අතරම තවත් මොට්‌ටයන් පිරිසක්‌ තමන්ගේ උද්ඝෝෂණයට සහභාගිවන්නැයි සේයාගේ අසරණ දෙමව්පියන්ට බලකරමින් ඇයගේ නිවස වටකළ බවද සැලය.

සිවිල් සමාජය පමණක්‌ නොව වගකීමෙන් ක්‍රියාකළ යුතු ජනමාධ්‍ය පවා මේ සිදුවීමේදී තීන්දු තීරණ ගත්තේ දුරදිග සිතා බැලීමෙන් නොවෙයි. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිත කරන කොටදෙණියාවේ බඩල්ගම සියලුම පුද්ගලයන් "සැකයට" බඳුන්ව තිබිණි. රස්‌තියාදු ගසන ඕනෑම කෙනෙක්‌ ඝාතකයා බවට සැක කෙරිණි. පරිගණකයේ අසැබි දසුන් තිබෙන ඕනෑම කෙනෙක්‌ සැක කෙරුණේ බාල අපරාධකරුවකු මට්‌ටමෙනි.

මෙවැනි සිදුවීමකදී අප ක්‍රිaයාකළ යුත්තේ හදවතට නොව බුද්ධියට ඉඩදීමෙනි. කොටදෙණියාවේදී ඝාතනය වූ ඒ අහිංසක දැරියට පමණක්‌ නොව තවත් බොහෝ දෙනකුට සාධාරණය ඉෂ්ට වන්නේ එවිටය.
 
Related Posts with Thumbnails