Ads 468x60px

.

රටේ ජනතාවගේ ප්‍රශ්න හා ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒවාට විසඳුම් සොයනු වෙනුව...


පාර්ලිමේන්තුව රැස්‌කරන්නට දිනකට රුපියල් ලක්‌ෂ 46 ක්‌ වැයවන බැවින් පාර්ලිමේන්තුව කෝලම් මඩුවක්‌ කරන්නට එපා යෑයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අවවාදාත්මකව පවසා තිබේ. 

මේ රුපියල් ලක්‌ෂ හතළිස්‌හය අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් බවද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මතක්‌ කර දී තිබේ.

කථානායකවරයා මේ ප්‍රකාශය කළේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ කෑකෝ ගසමින් කලහකාරීව හැසිරුණු අවස්‌ථාවකය. කථානායකවරයා විසින්ම මන්ත්‍රීවරුන්ට ඔවුන් සඳහා රටේ ජනතාව දරන වියදම

පෙන්වාදීම ඉතාම කාලෝචිතය. හේතුව අද පාර්ලිමේන්තුව තුළ සිදුවන ඇතැම් හැසිරීම් ඒ තරමටම එහි ගෞරවනීය තත්ත්වයටත් පොදුවේ රටේ ගෞරවයටත් සුදුසු නොවන ආකාරයේ ඒවා නිසාය.

ලොව වැඩිම වරප්‍රසාද ලබන මහජන නියෝජිතයන් සිටින රටවල් අතර අපේ රටද එක්‌ රටකි. අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවුරුදු පහක්‌ අවසානයේ විශ්‍රාම වැටුපට හිමිකම් ලැබේ. 


එසේම වසර පහකට වරක්‌ තීරු බදු රහිතව වාහන බලපත්‍රයක්‌ හිමිවේ. දිනපතා පාර්ලිමේන්තුවට පැමිණීමට දීමනාවක්‌ ලැබේ. ඊට අමතරව ලේකම්වරු, සේවකයන්, කාර්යාල උපකරණ, ජීවිත රක්‌ෂණ, වෛද්‍ය ගාස්‌තු, විදේශ ගමන් ආදී තවත් බොහෝ දේ ද ඔවුන්ට හිමිය.

කවර ආකාරයකින් හෝ පාර්ලිමේන්තු පැමිණියහොත් මේ සියලු වරප්‍රසාද ලබාගත හැකිය. අඩුම තරමින් විශ්‍රාම වැටුප වසර දහයක පාර්ලිමේන්තු කාලයක්‌ සම්පූර්ණ කළ මන්ත්‍රීවරුන්ට පමනක්‌ ලබාදුන්නේ නම්, ජනතාවට යමක්‌ නොකළ අයට ඊළඟ වාරයේ පාර්ලිමේන්තුවට පැමිණීම වලක්‌වා මේ විශ්‍රාම වැටුප් අයිතිය හෝ අහිමි කරන්නට ජනතාවට අවස්‌ථාව තිබුණි. එවැන්නක්‌ ගැන සිතනු වෙනුවට පැරදුනු අය පවා පාර්ලිමේන්තුවට නැවත පත් කර ඒ ජනතා අයිතියද මේ වන විට සමච්චලයට ලක්‌කර තිබේ.

අපේ රටේ ජනතා නියෝජිතයෝ හැටහුටහමාරක්‌ සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ආදී සියලු ජනතා නියෝජිතයන් ගත්විට දහස්‌ ගණනකි. මේ අය නඩත්තු කරන්නට ඔවුන්ට කාර්යාල, වාහන හා වෙනත් පහසුකම් ලබාදෙන්නට වැය වන මුදල මසකට රුපියල් කෝටි ගණනකි.

පළාත් සභා සුදු අලි යෑයි බොහෝදෙනා හැඳින්වුවද පළාත් සභා ක්‍රමය අහෝසි කර ඒ සඳහා වැය වන දැවැන්ත වියදම අවම කරගන්ට හෝ නවතාලන්නට කිසිදු දේශපාලන පක්‌ෂයක්‌ කටයුතු කරන්නේ නැත.

මේ ජනතා නියෝජිතයන් සියලුදෙනා අපේ රටේ මිලියන විස්‌සක ජනතාවක්‌ පාලනය කරන්නටය. රටේ අපරාධ රැල්ල දිගින් දිගටම වැඩිවී ගෙන යයි. රටේ ප්‍රශ්න එක තැනය. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නිදහසින් පසු පත්වුණු සෑම රජයක්‌ම අපොහොසත්වී ඇත.

මේ අතරේ අලුතින් ව්‍යවස්‌ථාවක්‌ ඇති කරන්නට යන බව කියෑවේ. නව ව්‍යවස්‌ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව තවත් වැඩි කරන්නට යන බව පැවසේ. පසුගිය ව්‍යවස්‌ථා සංශෝධනය හරහා ද එවැන්නක්‌ සිදු කරන්නට ගියද යම්යම් විරෝධතා මත එය සිදු නොවීය.

රටේ වී ගොවියාගේ වී ටික මිලදී ගන්නට රජය අපොහොසත්ය. අල හා ලොකු ලූනු ගොවියා අතරමංය. රටේ අනෙකුත් බොහෝ ප්‍රශ්න එක තැන පල්වෙමින් තිබේ. ඒවාට විසඳුම් සොයනු වෙනුවට පාලකයෝ මංමුලා වූ සේ වෙනත් බොහෝ දේ කියමින් කරමින් සිටිති. මේ නිසා වහාම කළ යුතුව ඇත්තේ රටේ ජනතාවගේ ප්‍රශ්න හා ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒ අනුව කටයුතු කරන ක්‍රියාවලියකි.
 
Related Posts with Thumbnails