Ads 468x60px

.

විදුහලක්‌ වසා දමන්නට තරම් දඩබ්බර "මාර පුත්‍රයන්" සිටින රටක්...


නොහික්‌මුණු සිසුන් දස දෙනකු නිසා බළපිටිය රේවත විදුහල වසා දැමුණු බව ඊයේ පුවත් පත්වල ප්‍රධාන සිරස්‌තලය බවට පත්ව තිබිණි. 

නොහික්‌මුණු, දඩබ්බර සිසුන් දස දෙනකු පමණ ඉතාම අශීලාචාර ලෙස හැසිරෙමින් කුඩා පන්තිවල සිසුන්ගේ මුදල් පවා කොල්ලකමින් සිටින බව එම පුවතින් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි. 

මේ දඩබ්බර සිසුන්ගේ මවුපියන්ට පාසලට පැමිණෙන්නට යෑයි දැන්වුවද ඊට යහපත් ප්‍රතිචාරයක්‌ ලැබී නැති බවද කියෑවේ. ගුරුවරු ලෙඩ නිවාඩු දමන්නට තීරණය ගෙන ඇත්තේ ඉන් පසුවය.

මේ "මාර පුත්‍රයන්" ගැන කම්පාවෙන් කතා කරන්නට සිදුවන කාලය අතරතුරම මෙවර පහේ ශිෂ්‍යත්වයට වැඩි වටිනාකමක්‌ හිමිකර දුන්

රත්තරන් දූ පුතුන් එකොළොස්‌ දෙනකු ගැන සොම්නසින් කතා කරන්නට අවස්‌ථාව ලැබී තිබේ. ඒ නිසාම මාර පුත්‍රයන් දස දෙනකුගේ කතා පුවතින් ලේ රත් කරගන්නවා වෙනුවට ශිෂ්‍යත්ව හපනුන් ගැන කතා කිරීම ලේ පිරිසිදු වීමට වැදගත් බව අපි විශ්වාස කරන්නෙමු.

පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසු සිසුවියන් 11 දෙනකුම පළමු වැනි, දෙවැනි හා තුන්වැනි තැන හිමිකරගෙන තිබීම කතාබහ කළ යුතු කාරණයකි. එහි විශේෂත්වය වන්නේ ඒ එකදු සිසුවකු හෝ මවුපියන් තරගයට වැටී දරුවන් ඇතුල් කරන්නට උත්සාහ දරන ජනප්‍රිය පාසල්වල ඉගෙන ගන්නා දරුවන් නොවීමය. 


කොළඹ නගරයේ මෙන්ම කොළඹින් පිට තදාසන්න නගරවල ජනප්‍රිය පාසලකට හෝ මේ සිසුවන් ඇතුළත්ව නැත. කෑගලු දිස්‌ත්‍රික්‌කයේ අරණායක, දැදිගම, ගම්පොළ, මහර, හංවැල්ල, කුලියාපිටිය, අක්‌මීමන, වැනි ප්‍රදේශවල එම සිසු සිසුවියන්ගේ විදුහල් පිහිටා තිබේ. එපමණක්‌ නොව ඒ බොහොමයක්‌ පාසල් අඩු පහසුකම් සහිත කනිටු විදුහල් වීම විශේෂත්වයකි. 

විශේෂයෙන් අරණායක හා දැදිගම පිහිටා තිබෙන කනිටු විදුහල් දෙකම 2000 වර්ෂය ආරම්භ වීමට පෙර වැසී යන තත්ත්වයක තිබුණු බවක්‌ කියෑවේ. අනෙකුත් බොහෝ පාසල්වලට ද ජනප්‍රිය පාසලකට ලැබෙන තරමේ වටිනාකමක්‌ ලැබී නැති බවට සැකයක්‌ නැත.

අප විශ්වාස කරන්නේ මේ දරුවන් සියලු දෙනා මෙන්ම ඒ දරුවන්ගේ දැස පාදන උතුම් ගුරුවරුද ජාතියට වටිනාකමක්‌ එක්‌කර ඇති බවය. අලුත් පාඩමක්‌ කියා දී ඇති බවය. එම දරුවන්ගේ මවුපියන්ද ඒ ගෞරවයේ කොටසක්‌ නොව ඉහළම කොටස්‌කරුවන් බව කිව යුතුය. 


දරුවකු පාසලකට ඇතුළු කරන්නට ලිංගික අල්ලස්‌ ලබා ගන්නා විදුහල්පතිවරු ඉන්නා රටක, ගමේ පාසල නොව ජනප්‍රිය සහ ගෙදරට ආසන්න පාසලම සොයමින් දේශපාලනඥයන් පස්‌සේ වැටී සිටින ගුරුවරුන්ට වඩා මේ උතුම් ගුරු පියවරුන්, මෑණිවරුන් දේවත්වයෙන් පිදිය යුතුය. ඒ දුයිෂෙන් පරම්පරාවේ පූර්වාදර්ශයන්ය.

එපමණක්‌ නොවේ. ඒ දරුවන්ගේ මවුපියන්ද රටට ආදර්ශයක්‌ දී තිබේ. තමන්ගේ දරුවා ඉගෙන ගන්නා විදුහල කවරක්‌ වුවත් වැදගත් වන්නේ ඔවුන් නිසි මඟට යොමු කිරීම පමණක්‌ බව ඒ මවුපියන් අවබෝධ කරගෙන සිටී. 


ජනප්‍රිය පාසලකට ඇතුළත් කර, ඒ පාසල වසා දමන්නට කටයුතු කරන නොහික්‌මුණු කොලු නඩයක එක්‌ අපතයකු බවට තම දරුවා පත්ව නොසිටීම ගැන කෙදිනක හෝ ඒ මවුපියන්ට ආඩම්බරයක්‌ දැනෙනු ඇත. මේ සියලු දූ දරුවන් ජනප්‍රිය පාසල් සොයා නොගිය, තමා නිසා පාසල "ජනප්‍රිය" කළ රටේ නියම "ලිට්‌ල් ස්‌ටාර්ලා"ලාය. මේ දරුවන්ගේ ගුරුවරු, මවුපියවරු සුපර් ස්‌ටාර්ලාය.

මේ පූර්වාදර්ශය රටටම දැනෙන එකක්‌ බවට පත්කිරීම අධ්‍යාපනය භාර බලධාරීන්ගේ වගකීම බව අපි කල්පනා කරන්නෙමු. ජනප්‍රිය පාසල්ම සොයා යන මවුපියන්ට මේ පාඩම දැනෙන ආකාරයෙන් කියා දීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතුය. ඊළඟ වසර කිහිපයේ ශිෂ්‍යත්ව යෙන් රටේම දරුවන් පමණක්‌ නොව මවුපියන්ද "පාස්‌" වන්නේ එවිටය.

ජනප්‍රිය පාසල්වලට පමණක්‌ නොව ගමේ කනිටු විදුහලද හොඳම තැනක්‌ බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළක්‌ ආරම්භ කළ යුතු බව මේ ශිෂ්‍යත්ව විභාගය නිදසුන් සහිතව පෙන්වා දී තිබේ. තවමත් පෙනෙන්නට තිබෙන්නේ මවුපියන් ජනප්‍රිය පාසල සොයා යන විට බලධාරීන් ජනප්‍රිය පාසල දියුණු කරන්නට කාලයත්, ශ්‍රමයත්, මුදලුත් වැය කරන බවක්‌ පමණි.

පහේ ශිෂ්‍යත්වය පමණක්‌ නොව අපොස සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ පවා ගමේ පාසල ජනප්‍රිය කිරීමට මෙය අවස්‌ථාවක්‌ කරගත හැකිය. අවශ්‍ය වන්නේ කාගෙ කාගේත් උනන්දුව පමණි. ගමේ පාසල යනු තමාගේ දරුවාට නිවස ආසන්නවම ඇති පාසලයි. 


මවුපියන්ට සිය දරුවා කෙරෙහි වැඩි අවධානයක්‌ යොමු කිරීමට ද ඒ නිසා අවස්‌ථාව ලැබේ. දරුවාටද වැඩි කාලයක්‌ මහ පාරට ගත කරන කාලය අඩුකර ගැනීමේ හැකියාව ලැබේ. දරුවාට ඇති පීඩනය පවා අවම වේ. වෙනකක්‌ තබා විදුහලක්‌ වසා දමන දඩබ්බරයන් බිහිවීම පවා අවම වන බව විශ්වාසයෙන් කිව හැකිය. 


ශිෂ්‍යත්වය ඉහළින්ම දිනූ  හපනුන්ගේ විස්තර

කවිෂ්කගේ දෙමාපියන් ගොවියන්
ලක්ෂාණිගෙ පියා සයිට් ඉංජිනියර්
සචිනිගෙ මව උපාධිධාරිනියක්
 
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් පළමු ස්ථාන 3 ක් දෙවන ස්ථාන 5 ක් හා තුන්වන ස්ථාන 3 ක් හිමිව ඇත. 196 ක් ලබා පළමු තැන ලබාගත් තිදෙනාගෙන් දරුවෙකු වන්නේ අරණායක උස්සාපිටියේ සුමංගල ක‚ෂ්ඨ විද්‍යාලයේ පී.වී. ලක්ෂා‚ මෙලනි විෙජ්සිංහයි.


ඇයගේ පියා වෘත්තියෙන් සයිට් ඉංජිනේරුවරයෙකි. මව ගෘහනීයකි. ඇයට බාල පිරිමි සහෝදරයින් දෙදෙනකි. එක් සහෝදරයෙක් ඇය ඉගෙනුම ලබන විදුහලේම පළමු වසරේ ඉගෙනුම  ලබයි. 


බලා සහෝදරයා පෙර පාසලේය. ලක්ෂා‚ සමග සුමංගල  විද්‍යාලයේ සිසුන් විසි දෙදෙනෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව සිටිති. නැටුම් කරාතේ පන්තිවලටත් ඇය යන බව පැවසුණා. 

නමුත් ඇය ශිෂ්‍යත්ව ටියුෂන් ගොස් නැත. පාඩම් කරනවා කියා විශේෂයෙන් පොත්පත් තුළම නොසිටි බව කියන ඇය පත්තරවල අභ්‍යාස පාඩම්මාලා කිරීම විනෝදයක් ලෙස සලකා පසුගිය කාලයේ සිදු කර ඇත.

පළමු තැන ලබාගත් තිදෙනාගෙන් තවත් දරුවෙකු වන්නේ කෑ/මාකුර ප්‍රාථමික විද්‍යාලයේ ආර්.ඩබ්ලිව්.එම්.කවිශ්ක වනිගසේකරයි.


ඔහුගේ දෙමාපියන් ගොවියන්ය. ඔහුට වැඩිමල් සොයුරියක සිටින අතර ඇයද මින් ඉහත ශිෂ්‍යත්වය සමත්ව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකාවට ගොස් ඇත. කවිෂ්ක අමතර පන්ත එකකට පමණක් සහභාගීවූ සිසුවෙකි. නිතරම සෙල්ලම් කිරීමට කාටූන් බැලීම ඔහු ආසා කළ බවත් අධ්‍යාපන කටයුතු සමබරව කළ බවත් පවසා ඇත.


ගමේ පාසලේ ඉගෙන ගන්න ආස හිතුන නිසා මම ගමේ පාසලේම හිටියා. මට දැන් මේ පාසලෙන් අස්වෙලා වෙන පාසලකට යන්න වෙනවා. ඒත් මට මේ පාසල, ගුරුවරු දාලා යන්න දුකයි. යයි ඔහු පවසා ඇත.

පළමු තැන ලබාගත් තිදෙනාගෙන් තවත් දරුවෙකු වන්නේ ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලයේ සචිනි කවින්ද්‍රා සිසුවියයි. ඇගේ පියා විශ්‍රාමික හමුදා නිලධාරියකු වන අතර මව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිවිනැගුම කළමනාකාරවරියක් ලෙස සේවය කරන්නීය. 


සචිනි ශිෂ්‍යත්වය සඳහා අමතර පන්තිවලට සහභාගී වුණ නමුත් විභාගය බරක් කර නොගෙන සිටි බව ඇගේ මව පවසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරිනියක වන සචිනිගේ මව තමන්ද අධ්‍යාපනයට නැඹූරුව සිටි නිසා දරුවන්ට අධ්‍යාපනය ලබාදීම මුල්තැන ගෙන සැලකූ බව කියා සිටී.



 
Related Posts with Thumbnails