Ads 468x60px

.

'වැටුණට පස්සෙත් ගැහුවා ' විරෝධතාවයේදී පහරකෑ සිසුවිය කියයි..


බ‍්‍රහස්පතින්දා පැවති විරෝධතාවයේදී පොලිසිය තමන්ට නැවත නැවතත් පහර දුන් බවත් එසේ සිදුනොවූ බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන ව්‍යාජ අදහස් දැක්වීමක නිරත වන බවත් මාධ්‍ය මගින් ප‍්‍රසිද්ධ කෙරුණු ඡායාරූප වල සිටින තරුණිය වන සසිනි සන්දීපනී (21) පවසනවා.

ඇය උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු වසර සිසුවියකි. ' මගේ කොන්දට වැදුණු පහරවල් කිහිපයක් නිසා මම බිමට

ඇදගෙන වැටුණා.ඒ වුනත් එයාලා මට ගහන එක නැවැත්වුවේ නැහැ.'  ඇය පවසනවා.

පොලිස් නිලධරයෙක් ඇයට පහර දෙන අයුරු පැහැදිලිව දැක්වෙන ඡායාරූප කිහිපයක්ම ඊයේ (30) පුවත්පත්හි පළව තිබිණ.

නමුත් මෙයට ප‍්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ ඇයට පහරදීමක් සිදුනොකළ බවත් එතැනදී සිදුවූයේ ඇයව එම ස්ථානයෙන් ඉවත් කිරීම පමණක් බවත්ය.

නමුත් තමන්ව එතැනින් ඉවත් කිරීමට එම පොලිස් නිලධාරීයා කිසිදු උත්සාහයක් නොදැරූ බවත් ඒ වෙනුවට ඔහු කළේ තම හිසට නොනවත්වාම පහර එල්ල කිරීම බවත් සන්දීපනී පවසයි.

' කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයෙන් පස්සේ අපි ඔක්කොම වටරවුම ළඟ තිබ්බ ජල විදිනය ළගට දුවලා ගියා.එතැනට වෙලා මුහුණ සෝදාගනිමින් ඉන්නකොට එක සැරේට පොලිසියයි කැරලි මර්ධන ඒකකයේ කට්ටියයි කඩා පැනලා අපිට ගහන්න ගත්තා.


මගේ කොන්දට වැදුණු පහරවල් කිහිපයක් නිසා මාව බිමට ඇදගෙන වැටුණා.ඒ වුනත් එයාලා මට ගහන එක නැවැත්වුවේ නැහැ.ඊට පස්සේ එයාලා මගේ ඔලූවට පහර දුන්නා.දැන් මට ඔලූව හොලවන්නවත් බැරි තරම් වේදනාවයි.' ඇය කියයි.

' අපි වැරැද්දක් කළේ නැහැ.ඒ අයටත් අපි වගේ ළමයි ඇති.මට හිතාගන්න බැහැ කොහොමද ඒ අය මෙච්චර දරුණු විදිහට අපිට පහරදුන්නේ කියලා.'  ඇය පවසයි.

සිසුන් පහරකෑමට ලක්වන අයුරු දැක්වෙන ඡායාරූප ප‍්‍රසිද්ධවීමත් සමග පොලිසිය හා රජය මහජනතාවගේ දැඩි විවේචනයට ලක්වුනි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසුවියට පහර නොදුන් බවත් එතැනදී සිදුවූයේ ඇයව එතැනින් ඉවත්කිරීමට ගත් උත්සාහයක් බවත් කීවේ මෙසේ නැගුණු විවේචනයන්ට පිළිතුරක් ලෙසය.ඇයව බිම ඇද වැටී තිබෙන්නේ සෙසු සිසුන් හා දිවයෑමේදී බවද ඔහු කීවේය.

තමන් මෙම දේවල් පවසන්නේ ඉතාම වගකීමෙන් බවද අවධාරණය කළේය.මෙම ඡායාරූප ප‍්‍රසිද්ධ කිරීමෙන් මාධ්‍ය පොලිසියට එරෙහිව ජනතාව නොමග යවමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.

මෙවන් විරෝධතාවයකට එක්වුනු පළමු අවස්ථාව මෙය වන බව සන්දීපනී පවසයි.

වේදනා දෙන බැවින් හිසෙහි තත්ත්වය පරීක්ෂා කර බැලීම සදහා සී.ටී ස්කෑන් පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි ජාතික රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයි ඇය කියයි.

තවත් සිසුන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබන බව අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.විරෝධතාවය ආවරණය කිරීමට ගිය ඇතැම් මාධ්‍යවේදීන්ටද පොලිසිය පහරදී ඇතැයි වාර්තා පළව තිබේ.
 
Related Posts with Thumbnails