Ads 468x60px

.

කොටදෙණියාවේ අහිංසක දැරිවියට සාධාරණයක්‌ ඉටුවන්නට නම්...!


කොටදෙණියාව දැරියගේ ඝාතනයට තවත් "සැකකරුවකු" එකතුවී තිබේ. ඒ කොටදෙණියාව දැරියගේ ඝාතනයේ "නියම" සැකකරුවා යෑයි අත් අඩංගුවට ගත් "කොණ්‌ඩයා"ගේ අයියාය. මේ අයියා ද දැරිය මරා දැමුවේ තමා යෑයි පාපෝච්චාරණයක්‌ කළා යෑයි කියති. 

ජනමාධ්‍යයේ අවාසනාවට ඒ "තිර පිටපත" එළිදැක්‌වූයේ නැත. මීට පෙර එළිදැක්‌වූ කොණ්‌ඩයාගේ හෙළිදරව්ව සැක සහිත බව පොලිසිය
කියන්නේ ද දැන්ය. ඊට පෙර පොලිසිය කීවේ "මූ තමා මිනිහා" බවය. 

එහෙත් කොණ්‌ඩයා ගැන ඉදිරිපත් කර තිබූ විස්‌තර අනුව එම හෙළිදරව්ව නොගැළපෙන බව පෙනේ. කලින් කොණ්‌ඩයා ගැන දක්‌වා තිබූ විස්‌තර අනුව හේ වනචාරියෙකි. කැලයේ ජීවත්වෙන, අමු මස්‌ බුදින ම්ලේච්ඡයෙකි. 

එපමණක්‌ නොව කොණ්‌ඩයාගේ අයියා යෑයි කියන පුද්ගලයා ගැන ද එවැනි කතා කියෑවිණි. සති අන්ත පුවත්පත්වල කොණ්‌ඩයාගේ ප්‍රකාශය අනුව තිර පිටපත් ද රචනා කර තිබිණි. දැන් හදිසියේම තත්ත්වය වෙනස්‌ වී තිබේ.

පොලිසිය, සාමාන්‍ය ජනතාව, ජනමාධ්‍ය මේ සියල්ල මේ සිදුවීම් මාලාව තුළම හැසිරුනේ වගකීම් රහිතවය. කොටදෙණියාවේ සිදුවීමේදී පමණක්‌ නොව කොටකෙතන ඝාතන සිදුවීම් මාලාව තුළ ද ඒ තත්ත්වය දක්‌නට ලැබිණි. පොලිසිය කිසිදු වග විභාගයකින් තොරව පුද්ගලයන් අත් අඩංගුවට ගත්තේ සමාජයේ හැඟීම්බර, අනවශ්‍ය ආවේගයක්‌ සහිත පුද්ගලයන් දැක්‌වූ ප්‍රතිචාරවලට අනුව බව පෙනෙන්නට තිබිණි. 


විවාහක පුද්ගලයකුත්, පාසල් සිසුවකුත් අපරාධය සිදුකළේම යෑයි කියන තැනට සමාජගත කර තිබිණි. කොණ්‌ඩයා අත්අඩංගුවට නොගන්නට ඩී. එන්. ඒ. නොගැළපුණ ද ඒ දෙදෙනාගේ ඉරණම අතිශය දරුණු එකක්‌ වීමට ඉඩ තිබිණි. ජනතාව සමහරක්‌ වීදි බසිමින් ඉල්ලා සිටියේ අපරාධකරුවන් මරා දැමීමේ අවස්‌ථාව තමන්ට දෙන ලෙසය. 

මියගිය දැරිය වෙනුවෙන් යුක්‌තිය ඉල්ලීමත්, තවත් අයකු ඝාතනය කිරීමේ වගකීම තමන්ට දෙන ලෙස ඉල්ලීමත් අතර විශාල වෙනසක්‌ තිබේ. සිද්ධිය ආරම්භ වූදා පටන් හැඟීම්බරව ආවේගශීලීව අදහස්‌ දැක්‌වූ අයගේ උද්ඝෝෂණ මාධ්‍යයට උණුසුම් ප්‍රවෘත්තියක්‌ වී තිබිණි. 

එහෙත් මෙය වැරදි ආකාරයෙන් පුපුරා ගියේ නම් විශාල විනාශයක්‌ සිදුවීමට තිබුණු ඉඩකඩ බොහෝ වැඩිය. එසේ වී නම් දැරියගේ ඝාතනයට සැක කළ කිසිවෙකුත් අද වන විට ජීවතුන් අතර නැත. මෑත ඉතිහාසයේ වැඩිම පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශ නිකුත් වූ සිදුවීම වූයේ ද කොටදෙණියාවේ දැරියගේ ඝාතනයයි. දිනපතාම පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශ නිකුත් විණි. 

එහෙත් මේ එක්‌ අවස්‌ථාවක හෝ අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගැන නිශ්චිත අදහසක්‌ ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් විය. සමාජය "කුලප්පු" වීමට බලපෑවේ ඒ කාරණයයි. 

අපේ විශ්වාසය අනුව පොලිසිය ක්‍රියාකළ ඒ ආකාරය අපරාධය ගැන පරීක්‍ෂණ පැවැත්වීමට පවා බාධාවක්‌ වූ බවය. කිසිම මොහොතක "පරීක්‍ෂණ සිදු කෙරෙමින් පවතින නිසා සැකකරුවන් ගැන කිසිවක්‌ හෙළිකිරීමට නොහැකි යෑයි" කිසිවෙකුත් කීවේ නැත.

සිදුවූයේ මාධ්‍ය සටන් වැද සිටි උණුසුම් පුවත් හඹා යැමේ තරගයට අනුබල දෙන ආකාරයෙන් තොරතුරු පිටවීමය. ආවේගය පිටකරන්නට වීදි බසින ජනතාවට අනුබලයක්‌ වන ආකාරයේ තොරතුරු පිටවීමය.

කොටදෙණියාවේ දැරිය සාහසික ලෙස ඝාතනය කර තිබූ ආකාරය කවරෙකුගේ වුව හදවත කම්පා කරවන්නක්‌ බව සැබෑය. එවැනි අපරාධයන්ට පෙලඹුණු කවරකු වුවද අනිවාර්යයෙන් දඬුවම් ලැබීමට සුදුසු පුද්ගලයන් බවද කිව යුතුය. 


ප්‍රශ්නය ඇත්තේ මේ සිදුවීම් පුරාම දඬුවම් ලැබිය යුතු පුද්ගලයන් සොයා යැමේත් විනිශ්චය ලබාදීමේත් වගකීම ජනතාව බාරගැනීම තුළය. වීදි බට ජනතාවගේත්, ජනමාධ්‍යයේත්, පොලිසියේත් මේ වගකීම් රහිත හැසිරීම් රටාව මෙවැනි අපරාධවලට එරෙහිව නැඟිය යුතු සැබෑ හඬ යටපත් කළ බවක්‌ පෙනේ. 

අල්ලාගත් අලුත්ම "සැකකරු" ගැන සමාජයේ මේ වන විට ප්‍රතිචාරය අතිශය උදාසීන එකක්‌ වී ඇත්තේ මේ විකාර රූපී හැසිරීම් නිසාමය.

අලුත්ම සැකකරුවාගේ පාපෝච්චාරණය ගැන වැඩිදුර තොරතුරුත් ඩී. එන්. ඒ. පරීක්‍ෂණ ප්‍රගතිය ගැනත් අලුත්ම තොරතුරුත් වාර්තා වීමට තවත් සතියක්‌ දෙකක්‌ ගතවෙනු ඇත. සැබෑ ඝාතකයා කොණ්‌ඩයා නොවේ යෑයි කී පමණින්, පාසල් සිසුවාට සමාජයෙන් හිමි වූ අනුකම්පා සහගත ප්‍රතිචාර ඔහුට හිමිවේ යෑයි බලාපොරොත්තු විය නොහැක. 


පොලිසියේ වගකීම විය යුත්තේ වරදකරුවන් නොවන සියල්ලටම සාධාරණයක්‌ වන පරිදි කටයුතු කිරීමය. කොටදෙණියාවේ අහිංසක දැරිවියට සාධාරණයක්‌ ඉටුවන්නේ ද එවිටය.
 
Related Posts with Thumbnails