Ads 468x60px

.

කොටදෙණියාවේ පොලිසිය සහ තවත් පොලිසි...


කොටදෙණියාවේ 'සේයා' ළදැරිය ඝාතනය අහස පොළොව නුහුලන අපරාධයකි. ඊට වගකිවයුත්තන් සොයා දැඩි දඬුවම් දිය යුතු බව විවාදයක් නැත. 'නරුමයා' කොටු කර ගැනීම පැවරෙන්නේ පොලිසියටය. 

දඬුවම් දීමේ අයිතිය ඇත්තේ අධිකරණයටය. කොටදෙණියාවේ ළදැරිය ඝාතන සිද්ධියට පමණක් නොව ඕනෑම අපරාධයක් සම්බන්ධව යම්කිසි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තද නීතිය හමුවේ වැරැදිකරුවකු වනතුරු ඔහු හෝ ඇය සැලකෙන්නේ සැකකරුවකු ලෙසය.

අවාසනාවකට මෙරට පොලිසිය පමණක් නොව බොහෝ මාධ්‍ය පවා කටයුතු කරන්නේ සැකකරුවකු අදාළ සිද්ධියට වැරැදිකරුවකු ලෙස

සලකාය. වැදගත්ම කාරණය වන්නේ පොලිසිය සිය රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කිරීමය. ඊට ආසන්නම උදාහරණය කොටදෙණියාවේ ළදැරිය ඝාතනයට සැකපිට 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු හා 31 හැවිරිදි එක්දරු පියකු අත්අඩංගුවට ගැනීමය. 

කොටදෙණියාවේ පොලිස් ස්ථානාධිපතිට අනුව මේ පාසල් ශිෂ්‍යයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ නිරුවත් ඡායාරූප තිබීම නිසාත්, නොමනා මිතුරන් සමඟ රංචු ගැසීමත්, පාසලෙන් කට්ටි පැනීමත් නිසාය. අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ ළදැරියගේ ඝාතනයෙන් පසු වවාගෙන සිටි කොණ්ඩය හා රැවුල කපා දැමීම හේතුවෙනි. 

පසුව අත්අඩංගුවට ගනු ලැබූ 'කොණ්ඩයා' නම් සැකකරු පොලිසිය පළමු වටයේදී ප්‍රශ්න කර මුදාහැරිය පුද්ගලයෙකි. ලැප්ටොප් පරිගණකයක් නොතිබීමත් හදිසියේ රැවුල හා කොණ්ඩය කපා නොදැමීමත් නිසා දින කිහිපයකට හෝ නිදහසේ සිටීමට 'කොණ්ඩයා'ට ඉඩකඩ ලැබිණි.

'වැරැදි' චෝදනාවකට දින 13ක් තිස්සේ කොටදෙණියාව පොලිසියේ 'සැලකිලි' ලබමින් අත්අඩංගුවේ සිටි 'ශිෂ්‍යයා' නි‍ෙදාස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේ ජාන පරීක්ෂණයෙන් ඔහු නිවැරැදි බව සනාථ වීම නිසාය. 


එහෙත් අත්අඩංගුවට ගැනීමෙන්, සති දෙකකට ආසන්න කාලයක් රඳවා තබා ගැනීමෙන් ශිෂ්‍යයාට අත්විඳීමට සිදුවූ මානසික හා ශාරීරික පීඩාව අතිමහත්ය. ඉන් මිදීම එක පෑන් පහරකින් කළ නොහැකිය.

කොටදෙණියාව පොලිසිය ශිෂ්‍යයාව නිරුවත් කර ඡායාරූප ලබාගෙන ඇති බවත් ඔහුට බරපතළ ලෙස පහරදී වධහිංසාවන්ට ලක් කර ඇති බවටත් නැඟෙන චෝදනාවකි. පොලිසිය වෙත ගෙන ගිය ශිෂ්‍යයා වෙනම ස්ථානයක රඳවා තබා තිබේ. 


ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවුරුදු 18ට අඩු වයසේ පසුවන්නන් 'ළමයින්' ලෙස සැලැකේ. ඒ අනුව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමයෙකි. ළමයකු අත්අඩංගුවට ගැනීමකදී 'පරිවාස' නිලධාරියෙක් කැටුව යා යුතු යැයි නීතියක් ඇත. එහෙත් පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ ඒ නීතියට පටහැනිවය. 

ළමයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හෝ ඇය වෙනම ස්ථානයක රැඳවිය යුතු අතර අධ්‍යාපනය ලබන්නෙක් නම් අධ්‍යාපනය සඳහා පහසුකම් සැපැයිය යුතුය. කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා ශිෂ්‍යයාට වෙනම තැනක් පිළියෙල කර දී තිබුණද ලබාදී ඇත්තේ පොත පත නොව ගුටිබැටය.

ධර්ම චක්‍රය නිල ඇඳුමේ පැලැඳ සිටින පොලිසිය මේ රටේ ජනතාවට උරචක්‍රමාලාවක් වී ඇත්තේ අද ඊයෙක සිට නොවේ. පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන් ආයුධ පෙන්වීමට හෝ තිප්පොළක් පෙන්වීමට යෑමේදී පැනයෑමට තැත් කළ විට පොලිසියේ වෙඩි පහරින් මරු දුටු අවස්ථා බහුල විය. කිසිදු සෙවිල්ලකින්, බැලිල්ලකින් තොරව මේ වෙඩි තැබීම අනුමත කළ සැලකිය යුතු පිරිසක්ද මෙරට සිටියහ. 


කොටදෙණියාවේ 'ළදැරිය'ගේ ඝාතකයා එල්ලා නොමරන්නේ නම් ගල් ගසා මැරීමට භාර දෙන්නැයි ඉල්ලා සිටින්නේ ඒ 'පිරිස්' විය යුතුය. අවධානයට ගත යුතු කාරණය අනෙකකි. පැන යෑමට තැත්කිරීමේදී වෙඩි තැබීමේ සම්ප්‍රදාය මේ වනතුරු පැවැතියේ නම් බොහෝ විට අත්අඩංගුවට ගත් 'ශිෂ්‍යයා'ට පරලොව ‍ෙදාරටු විවර වීමට ඉඩ තිබිණි.

යම්කිසි පුද්ගලයකුගේ පරිගණකයේ හෝ ජංගම දුරකතනයේ හෝ සන්තකයේ තිබූ පොත්පත්වල හෝ 'අසභ්‍ය ඡායාරූප' තිබූ පමණින් ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව සැක කරන්නේ නම් පුද්ගලයන්ව පෝලිමේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවනු ඇත. 


කුමන හේතුවක් නිසා හෝ ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමේදී ඒ පිළිබඳ කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදීමට පොලිසිය පරෙස්සම් විය යුතුව තිබිණි. මේ සිද්ධියේදී මාධ්‍ය විසින් ආචාර ධර්ම පසෙකලා සියලු තොරතුරු ජුගුප්සාජනක ලෙස රටට ලබා දීම වෙනම කතා කළ යුත්තකි.

සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී නිර්ණායක අනුගමනය කරන බවත් ඒ නිර්ණායක මත පදනම්ව ශිෂ්‍යයා අත්අඩංගුවට ගත් බවක් පොලිසිය පැවැසුවද ඒ බවක් පෙනීයන්නේ නැත. ශිෂ්‍යයාගේ තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීමේ වරදින් පොලිසියට නිදහස් විය නොහැකිය.


ශ්‍රී ලංකාව අස්සන් කර ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව දරුවකු සැකකරුවකු වුවත් ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන ආකාරයට පොලිසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතුය. කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති මේ බව නොදැන සිටියා විය නොහැකිය.

පොලිසිය හා ඇතැම් මාධ්‍ය එකතු වී ශිෂ්‍යයාගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අවුල් කර ගත්තේය. බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට යෑම ඊට හේතුවය. එකිනෙකාට පැවැරී ඇති වැඩ කොටසක් තිබේ. තමන්ගේ භූමිකාව කුමක්දැයි ඔවුන් තේරුම් ගත යුතුය. ඒ භූමිකාවේ සීමාව ගැන අවබෝධයක්ද තිබීම අත්‍යවශ්‍යය. 


කොටදෙණියාවේ පොලිසියේ ස්ථානාධිපති පමණක් නොව වගකිවයුතු බොහෝ දෙනාට සිදුව ඇත්තේ වැඩක් කිරීමට යෑමේදී දෙකොන පටලැවී සියල්ල අවුල් කරගැනීමයි. මෙහි ඇති භයානකකම වන්නේ අවසානයේ අහිංසකයන්ද ඒ අවුලේ පටලැවීමය. කොටදෙණියාවේ 'ශිෂ්‍යයා'ද එවැනි අහිංසකයෙකි.
 
Related Posts with Thumbnails