Ads 468x60px

.

"භූගත බංකර්" ගැන පමණක්‌ නොව මෙවැනි "ධවල මන්දිර" ගැනත් ඉක්‌මන් තීරණ ගත යුතු බව


පුදනකොටම කාපි යකා කිව්වා සේ මේ ආණ්‌ඩුව බලයට පත්වී ඉතාම කෙටි කාලයක්‌ තුළ බොහෝ දේශපාලනඥයන් සම්බන්ධයෙන් ඉතා නරක ආරංචි දිනෙන් දින අසන්නට ලැබේ. 

රටේ ඇත්ත ප්‍රශ්න වෙනුවට වෙනත් ප්‍රශ්න ගණනාවක්‌ සඳහා උත්තර සොයන්නට සිදුවී තිබීම පැහැදිලිවම පෙනෙන්නට තිබෙන කාරණයකි. විශේෂත්වය වන්නේ අලුත් ආණ්‌ඩුව ගෙන එන්නට කැපවූ පිරිසම
ආණ්‌ඩුවේ බොහෝ දේශපාලනඥයන් ගැන අප්‍රසාදයෙන් කතා කිරීමය.

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගත් විට එය හොඳ ලක්‍ෂණයක්‌ වන නමුත් ආණ්‌ඩුවේ බොහෝ දේශපාලනඥයන් ගැන ඇහෙන කතා එතරම්ම ලස්‌සන නැත.

පසුගිය කාලය පුරාම දකින්නට අසන්නට ලැබුණු තොරතුරු අතර (මාධ්‍ය වාර්තා) මැති ඇමැතිවරුන්ගේ දූෂිත ක්‍රියාකාරකම්, අධික වියදම් නාස්‌තිය සහිත ක්‍රියාකාරකම් බහුල විය. තමන්ට ලැබී ඇත්තේ රටට සේවය කිරීමට ජනවරමක්‌ නොව, තමන්ට ගොඩ යා හැකි අන්දමේ "ඇලඩින්ගේ පුදුම පහන" යෑයි සිතා කටයුතු කරන මැති ඇමැති පිරිස ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බවක්‌ පෙනේ. 


කෝටි ගණනින් මිල කෙරෙන වාහන ඇණවුම් කිරීම, සුඛෝපභෝගී නිලනිවාස අත්පත් කර ගැනීම, කෝටි ගණනින් වැය වන කාර්යාල සංකීර්ණ සොයායැම ආණ්‌ඩුව පත්වී මාස තුනකට ආසන්න වීත් තවමත් නතර වී ඇති බවක්‌ පෙනෙන්නට නැත.

පසුගිය සතියේ වාර්තා වී තිබුණේ අලුතින්ම ඇති කරන ලද අමාත්‍යාංශයක ඇමැතිවරයකුගේ කාර්යාලයක්‌ පවත්වාගෙන යැම සඳහා වසරකට රුපියල් කෝටි හතරහමාරක මුදලක්‌ ගෙවා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ ස්‌ථානයක්‌ කුලියට ගැනීමට සූදානම් වන බවය.


එපමණක්‌ නොව, "කෝටි හතරක මාලිගාව" සොයන දේශපාලනඥයා පාර්ලිමේන්තුවට පත්ව ඇත්තේ ද පළමු වරට බව එම තොරතුරුවල සඳහන්ව තිබිණි. විශේෂිතම කාරණය වන්නේ අදාළ අමාත්‍යාංශය එතරම් ආදායමක්‌ නොලබන එකක්‌ වීමය. මෙය එක්‌ උදාහරණයක්‌ පමණය. තවත් බොහෝ මැති ඇමැතිවරුන් මේ ක්‍රමයම අනුගමනය කරන බවට විවාදයක්‌ නැත. 

කාර්යාල පමණක්‌ නොව නිල නිවාස සොයා ගැනීමේදීත්, කාර්යාල සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම්වලදීත් තත්ත්වය මීට නොදෙවෙනි බව කිව යුතුය. බොහෝ විට පෙර සිටි ඇමැතිවරුන් ද කෝටි ගණනක්‌ යොදවා සකසන ලද සුඛෝපභෝගී කාර්යාල කාමර පවා නැවත මිලියන ගණනක්‌ යොදවමින් අලුත්වැඩියා කිරීම් ද සිදු වේ.

සුපිරි පන්නයේ නිවාස සොයා යන බොහෝ මැති ඇමැතිවරුන්ට අයත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ බොහෝ නිවාසවල පදිංචිව සිටින්නේ වෙනත් අයයි. එසේත් නැතිනම් ඒවා ප්‍රයෝජනයට ගන්නේ දේශපාලන වැඩ කටයුතු සඳහාය. 


නාස්‌තිය හා වියදම අවම කරන්නට පොරොන්දු වූ බොහෝ දේශපාලනඥයන්ගේ තත්ත්වය එබඳුය. බොහෝ දේශපාලනඥයන් රටේ සියලුම ප්‍රශ්න අමතක කර තමන් ගොඩයැමේ මාර්ග සිතියම් සකස්‌ කරන්නේ ඇති තරමට වරප්‍රසාද, දීමනා හිමිව තිබියදීය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට හා නියෝජ්‍ය ඇමැති වරුන්ට තීරු බදු රහිත වාහනයකට හිමිකම ලැබේ. ප්‍රවාහන දීමනා, නිල වාහන, ඉන්ධන දීමනා, දුරකථන, කාර්ය මණ්‌ඩල වැටුප්, ඔවුන්ගේ ඉන්ධන දීමනා මේ ආදී වශයෙන් බොහෝ දේ මැති ඇමැතිවරුන්ට හිමිය. 

1977 අංක 01 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනතට අදාළව වසර පහක අවම සේවා කාලයෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයකුට විශ්‍රාම වැටුපකට ද හිමිකම ලැබේ. මේ සියල්ල නඩත්තු කිරීමට කුමන අණපනත් සම්මත කරගත්තත්, ඒවාට වැය කරන්නේ රටේ ජනතාවගෙන් සෘජුව හා වක්‍රව අයකර ගන්නා බදු මුදල්ය.

එසේ තිබියදී, රටට ජනතාවට වැඩ කිරීම පසෙකලා පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් කටයුතු කරන කවරකු වුව ජනතා වරම ඉතා නිර්ලඡ්ජී ලෙස භාවිත කරන බව කිව යුතුය.

අප කියන්නේ "භූගත බංකර්" ගැන පමණක්‌ නොව මෙවැනි "ධවල මන්දිර" ගැනත් ඉක්‌මන් තීරණ ගත යුතු බවය. මැති ඇමැතිවරුන් කතාවෙන් නොව ක්‍රියාවෙන්ම නාස්‌තිය දූෂණය වළකාලන්නට ඉදිරිපත් වන සරල හා චාම් පිළිවෙතක්‌ අනුගමනය කරන බව පෙන්විය යුතුය. 


ඒ නිසාම සියලුම ඇමැතිවරුන්ගේ කාර්යාල සහ නිල නිවාසවලට ජනමාධ්‍ය ගෙන්වා ඒ ගැන පෙන්වා දිය යුතුය. රටක්‌ හැදෙන්නේ එවැනි විනිවිදභාවයක්‌ ඇති විටය.
 
Related Posts with Thumbnails