Ads 468x60px

.

පෙම් සබඳතාවක්‌ බිඳීයැම පෙම්වතිය හෝ පෙම්වතා මරාදමා තමාද දිවිනසා ගැනීම දක්‌වා දුරදිග යන හැටි


පෙම් සබඳතාව බිඳී යැම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටි නාවික හමුදා සෙබළකු පසුගිය 10 වැනිදා සිය පෙම්වතියට වෙඩි ප්‍රහාර 14 ක්‌ එල්ල කර ඇය ඝාතනය කර, පසුව ඔහු ද හිසට වෙඩි තබාගෙන සිය දිවි හානිකර ගත් බව ඊයේ පුවත්පත් වල ප්‍රධාන සිරස්තලය වී තිබුණා.

මේ සිදුවීම පිටුපස කතා බොහෝමයක්‌ තිබේ. එම තරුණිය විශ්වවිද්‍යාල යේ ඉගෙනීම ලබන අවධියේ පටන් දෙදෙනා අතර පෙම් සබඳතාව පැවැති බවත් එසේම ඇයගේ අධ්‍යාපන කටයුතුවලට පවා එම නාවික

සෙබළා උදව් උපකාර කර ඇති බවක්‌ ද කියෑවේ.

දෙදෙනා අතර ගැටුම මතුවන්නේ එම තරුණිය ක්‍රම ක්‍රමයෙන් නාවික හමුදා සෙබළාගේ ඇසුර මඟහැර යැමට තැත් කළ විටය.

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස්‌ ගසකට සමාන බව නාවික හමුදා සෙබළා ක්‍රියාවෙන්ම ඔප්පු කරන්නට තීරණය කර ඇත්තේ ඉන් පසුවය. ගිනි අවියකින් හතර අතට ෆයර් කරන්නට තරම් දරුණු හිතක්‌ එම නාවික හමුදා සෙබළාට පහළවන්නේ, ප්‍රේමය බිඳී යැම නිසාය. 


එය සතුරු හමුදාවක්‌ තමන්ගේ බළකොටුව බිඳ දැමීම තරම් කම්පනයක්‌ ඔහු තුළ ඇති කර ඇති බව පෙනේ. මේ ආකාරයේ කතාන්දර බොහොම යක්‌ දිනපතාම නැතත් මාසයකට දෙකකට සැරයක්‌ අසන්නට වන තරම් තත්ත්වය දරුණු වී ඇති බව කිව යුතුය. 

ඝාතනයකට (අපරාධයකට) හේතු වී ඇත්තේ ඉතාම සුළු සිදුවීමක්‌ බව ඒ සියලු තොරතුරු විමර්ශනය කිරීමේදී පැහැදිලි වන කරුණකි.

ඊයේ එම පුවත්පත් වාර්තා කර තිබූ තවත් සිද්ධියක්‌ ඊට නිදසුන් ලෙස දැක්‌විය හැක. ඒ, හබරණ ප්‍රදේශයේ සමීප ඇසුරක්‌ පවත්වාගෙන ගිය තරුණයන් දෙදෙනකු අතර ඇති වූ විරසකයකින් පසු එක්‌ තරුණයකු අනෙක්‌ තරුණයාට පිහියෙන් ඇන ඝාතනය කිරීමය. 


විරසකයට හේතු වී තිබුණේ සමීපව ඇසුරු කළ මිතුරන් දෙදෙනාගෙන් එක්‌ අයෙක්‌ තරුණියක සමඟ පෙම් සබඳතාවක්‌ ආරම්භ කිරීමය.

"සමහර අය හිතන හැටි ඔහොමයි" කියමින් මෙවැනි සිදුවීම් සාධාරණී කරණය කිරීම කිසි විටෙකත් කළ නොහැකි බව අපේ අදහසයි. "සමහර අය හිතන ආකාරය මේ තරම් ප්‍රචණ්‌ඩ වන්නේ, දරුණු වන්නේ ඇයිදැයි යන කාරණය පිළිබඳව අප අවධානය යොමු කළ යුතුය.

මෙය ඉතා දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වූ තත්ත්වයකි. අද වන විට සිදුව ඇත්තේ එහි ගුණාත්මක වර්ධනයකි. අප මෙහිදී ගුණාත්මක යන්න භාවිත කරන්නේ හොඳ කියන අර්ථයෙන් නොවේ. 


ක්‍රමයේ ඇති ප්‍රචණ්‌ඩ බව වැඩී වර්ධනය වී ඇති බව කියන්නටය. මුල් යුගයේ පෙම් සබඳතාවක්‌ බිඳී යැම පෙම්වතිය හෝ පෙම්වතා මරා දමා තමාද දිවි නසා ගැනීම දක්‌වා දුර දිග ගිය කාරණයක්‌ නොවිණි. 

බොහෝ විට සිදුවනුයේ කොල්ලා අඩියක්‌ පුඩියක්‌ ගහන මට්‌ටමට වැටීමත් කෙල්ල මෙහෙණියක වීමත්ය. චිත්‍රපට, නවකතා, කෙටිකතා බොහොමයක මෙවැනි චරිත එකල නිර්මාණය වූයේ සැබෑ තත්ත්වයද ඒ ආකාරයෙන්ම වූ නිසාය.

වර්තමාන තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌ය. කොල්ලා ගත යුතු මාර්ගය සිංදුවලින්ම පෙන්නා දී තිබේ. "රුචිරාණනි අහන්න එකපාර මා මරන්න" යෑයි කී විට සිහියට නැගෙන්නේ කඩු, කිනිසි, ගිනි අවි මිස වෙන කුමක්‌ද?

වර්තමාන සමාජ වටපිටාවද ඊට අවශ්‍ය සියලු උත්තේජනයන් සපයා දී තිබේ. 77 න් පසු රටේ මතු වූ විවිධ කැරලි තත්ත්වයන්, ත්‍රස්‌තවාදී ක්‍රියා කාරකම් මේ තත්ත්වය සාමාන්‍යකරණීය වීමට බලපා ඇති බව පෙනේ. 


පසුගිය දශක තුනක කාලයක මිනිසුන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ සිදුවීම්, පාතාලය විසින් රැයක්‌ දවාලක්‌ නොමැතිව කරන ලද චිකාගෝ ක්‍රමයේ ම්ලේච්ඡ මිනිස්‌ ඝාතන සමග මුළු මහත් සමාජයක්‌ ජීවත් වූයේ ප්‍රචණ්‌ඩත්වය සහ ම්ලේච්ඡත්වය මනස තුළ රඳවා ගනිමිනි. 

කිසිදු පුද්ගලයකු තුළ එවැනි කුරිරු ක්‍රියාකාරකමකට ඉඩක්‌ නොමැති වුවද, දැනෙන විශාල පීඩනයකදී කම්පනයකදී, පෙර කී ම්ලේච්ඡත්වය ඔහු කෙරෙන් පිටතට පැමිණීම වැළැක්‌විය නොහැකිය. ප්‍රචණ්‌ඩ වට පිටාවක ජීවත් වන මිනිසුන්ගේ සියලු චර්යා රටාවන්ගේ එවැනි භයානක වෙනස්‌කම් ඇතිවිය හැකි බව මනෝ විශ්ලේෂකයන්ගේ මතයයි.

රටක්‌ වශයෙන් අපට නිතිපතා ඇසෙන මෙවැනි අපරාධවලට හේතුව මේ යෑයි එක එල්ලේම කිව නොහැකිය. එහෙත් දශක තුනක කාලයක පරම්පරා කිහිපයක මිනිසුන් යම් තරමක මානසික පීඩනයකින් ජීවත් වන්නේ ඒ ප්‍රචණ්‌ඩකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පහව නොගිය වටපිටාවකය. ඒ තත්ත්වය ජය ගැනීම එතරම් පහසු කාරණයක්‌ නොවේ. 


මුළු මහත් ජාතියත් ඒ තත්ත්වය වෙනස්‌ කිරීමට එක්‌විය යුතුය. එය තුන්වේලටම බණ ශ්‍රවණය කරමින්, වැඩමුළු පවත්වමින් කළ හැක්‌කක්‌ නොවේ. එවැනි වටපිටාවක්‌ සකස්‌ කිරීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීම ආණ්‌ඩුවේ අදාළ බලධාරීන්ගේ වගකීමය.

ඒ සම්බන්ද හිරු වීඩියෝවක් පහතින්...

 
Related Posts with Thumbnails