Ads 468x60px

.

දැයක්‌ පුබුදු කළ මහායතිවර මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව....!


සෝභිත හිමියන්ගේ පෞද්ගලික ශරීර සෞඛ්‍ය පිළිබඳව දිගුකාලයක සිට පරීක්‍ෂාවට ලක්‌ කළ සහ ගිලන් වූ මොහොතේ පටන් ප්‍රතිකාර සිදු කළ ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධාන සම්බන්ධීකාරක කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා සමඟ 09 වැනිදා දහවල් සම්මුඛ සාකච්ඡාවක්‌ පැවැත්වීය. 

එහිදී සෝභිත හිමියන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ අපට හෙළි නොවූ තොරතුරු රැසක්‌ අනාවරණය කෙරිණි.

සිංහල ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙනුත් බෞද්ධාගමේ පුනරුදය වෙනු වෙනුත් මුළු ජීවිතයම කැප කළ භික්‍ෂූන් වහන්සේලා අතර මෑත කාලයේදී

අපට ජීවමානව දැකගත හැකි වූ භික්‍ෂුන්වහන්සේ නමක්‌ ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන් අතිශයෝක්‌තියකින් තොරව හැඳින්විය හැකිය.

උත්තුංග දේහධාරී උන්වහන්සේ තුළ පැවැති නිරෝගී සෞඛ්‍ය සම්පන්න බව නිසා අපවත් වීමට මාස තුනකට පමණ ආසන්න කාලයක්‌ දක්‌වා

ක්‍රියාශීලීව සෝභිත හිමියෝ කටයුතු කළහ. ඉකුත් 08 වැනිදා අලුයම 4.30 ට පමණ අපවත් වන විට උන්වහන්සේ 73 වැනි වියේ පසු වූහ.

දින කිහිපයක්‌ ගිලන්ව, කොළඹ පෞද්ගලික රෝහලක රෝහල්ගතව සිටි සෝභිත හිමියෝ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලට ඉකුත් 04 වැනිදා රැගෙන යන්නේ දැඩි ලෙස ගිලන්ව සිටියදීය.

සෝභිත හාමුදුරුවන් දීර්ඝ කාලයක පටන් දියවැඩියාව රෝගයෙන් පෙළුණා. නමුත් උන්වහන්සේ එය පාලනය කර ගත්තා. උන්වහන්සේට ඇදුම රෝගයත් තිබුණා. ඒ හින්දා අවිවේකී දිනවල උන්වහන්සේට ඇදුම රෝගයෙනුත් පීඩා විඳින්නට සිදු වුණා.

අපේ හාමුදුරුවන්ගේ හදවතේ ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක්‌ මතුවෙන්න පටන් අරගෙන ඇති බව දැනගත්තට පස්‌සේ ඒ සම්බන්ධව පරීක්‍ෂාවක්‌ සිදු කළා. එහිදී අප හඳුනාගත්තේ හාමුදුරුවන්ගේ හෘදය වස්‌තුවේ කපාටයක්‌ දුර්වලවී ඇති බවත් තවත් රුධිරනාළයක්‌ සිහින්ව අවහිරතාවයක්‌ මතුවී ඇති බවත්ය. 


ඒ අනුව අප පසුගිය සැප්තැම්බර් මාසයේදී හාමුදුරුවන්ව හදවත් සැත්කමකට ලක්‌කළා. දුර්වලව තිබූ කපාටයට අලුතින් කපාටයක්‌ බද්ධ කළා. ඊට අමතරව සිහින්ව පැවැති රුධිර නාළ සඳහා බයිපාස්‌ සැත්කමක්‌ කළා.

මෙය තමයි සෝභිත හාමුදුරුවන්ට සිදුකළ ප්‍රධානම සැත්කම. එය සාර්ථකව සිදු කරන්න වෛද්‍යවරුන් සමත් වුණා. හාමුදුරුවන්ට විවේකය අවශ්‍ය නිසා සති කිහිපයක්‌ රෝහල්ගතව සිටින්නට අප නිර්දේශ කළා. හොඳින් කථා බහ කරමින් හාමුදුරුවෝ රෝහල්ගතව විවේකීව සිට ඉන් පසු රෝහලින් පිටව ගියා.

ඒ අතර හාමුදුරුවන්ගේ උගුරේ ස්‌නායුවල අබාධයක්‌ ඇති වී තිබුණා. ඒ සඳහා සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගෙන සිටියා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමත් සිදු කළා. ඔය අතර තමයි හාමුදුරුවන්ට නියුමෝනියාව රෝගය ඇතිවී බරපතළ තත්ත්වයට පත්වුණේ.

හාමුදුරුවන් සිංගප්පූරුවට අරගෙන ගියේ නියුමෝනියාවට වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට යෑයි ජනතාව තුළ මතයක්‌ පවතිනවා එය සත්‍යද?

නැහැ. හාමුදුරුවන්ගේ උගුරේ ස්‌නායු රෝග තත්ත්වයට ප්‍රතිකාර ගැනීම සඳහා යැමට නියමිතව තිබියදී තමයි නියුමෝනියාව ඇති වුණේ. කොහොමත් සිංගප්පූරුවට යා යුතුව තිබූ නිසා මවුන්ට්‌ එළිසබෙත් රෝහලින් හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ගිලන් ප්‍රතිකාර පහසුකම් සහිත ගුවන් යානයක්‌ ඉකුත් 04 වැනිදා එවනු ලැබුවා.

ගිලන් ප්‍රතිකාර ලබාදෙමින් අප වෛද්‍ය කණ්‌ඩායමක්‌ සිංගප්පූරුව බලා පිටත්ව ගියා. නමුත් පැවැති රෝග තත්ත්වය උත්සන්න වීම නිසා සෝභිත හාමුදුරුවෝ අපවත් වුණා.

හදවත් සැත්කමින් පසු ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගිය හාමුදුරුවෝ නැවත වරක්‌ රෝහල්ගතව නියුමෝනියාව රෝගය ඇති වී රෝග තත්ත්වය උත්සන්න වන මොහොත දක්‌වා හොඳ නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුණා. කථා බහ කළා. ප්‍රකෘති සිහියෙන් පසුවූවා.

හැබැයි හාමුදුරුවන්ගේ හදවත් සැත්කමින් පස්‌සේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයේ අධික බවක්‌ ඇති වී තිබුණා. එය තමයි හදවත් සැත්කමින් පස්‌සේ මතුව තිබූ සංකූලතාවය.

නියුමෝනියාව රෝගය ඇතිවී එක්‌ රැයක්‌ තුළ හාමුදුරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධික ලෙස දුර්වලවන්නට පටන්ගත්තා. එහිදී පැවැති රෝග තත්ත්වය පාලනය කරන්න වෛද්‍ය කණ්‌ඩායමක්‌ එක්‌ව අප එකදිගට දැඩි උත්සාහයක්‌ ගත්තා. මවුන්ට්‌ එළිසබෙත් රෝහලට ගුවන් මගින් රැගෙන ගියෙත් එම ප්‍රතිකාර අඛණ්‌ඩව ලබා දෙමින්.

ගිලන්වූ සෝභිත හිමියන්ගේ දිවි රැකගන්නට වෛද්‍යවරු කොපමණ උත්සාහ කළද බුදුන් වහන්සේ වදාළ අප කාටත් පොදු වූ ජීවිතයේ අනිත්‍ය බව පසක්‌ කරමින් මුළු දැයම කම්පාවට පත් කරමින් මාදුළුවාවේ සෝභිත හිමියෝ මේ භවයේ සිය දිවි ගමන මේ වන විට නිමාවට පත් කර සිටිති.

අනිද්දා (12 වැනිදා) සවස්‌ යාමයේ දී උන්වහන්සේගේ ශ්‍රී දේහය රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කරනු ලබයි. එබැවින් දැන් අපට කළ හැක්‌කේ බුදුන් වහන්සේ දේශනා කළ පරිදි මේ සසර ගමන නිමා කර අමාමහ නිවන් සුව අත්පත් කර ගැනීම සඳහා පිං ප්‍රාර්ථනා කිරීම පමණි.

දැයක්‌ පුබුදු කළ මහායතිවර මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා·



මවුන්ට්‌ එළිසබෙත් රෝහල වෙත සෝභිත හිමියන් වැඩමකරවූ ගිලන් ප්‍රතිකාර පහසුකම් සහිත ගුවන් යානය...


- උපාලි ද සේරම්
 
Related Posts with Thumbnails