Ads 468x60px

.

ජනතාව මෙවර කොත්තමල්ලි පන්නයේ අයවැයක්‌ නම් බලාපොරොත්තු නොවන බව...


පාරිභෝගිකයන් කූඨ වෙළෙඳුන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා අද සිට (20 වැනිදා) ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය භාණ්‌ඩ හයකට උපරිම සිල්ලර මිලක්‌ හඳුන්වා දෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළ බව ඊයේ පුවතක සටහන්ව තිබිණි.

ඒ අනුව කිලෝවක උපරිම මිල මයිසූර් පරිප්පුවල රුපියල් 190 ක්‌ද, අර්තාපල් රු. 145 ක්‌ද, ලොකු ලූනුවල රු. 155 ක්‌ද, කුකුල් මස්‌වල (හම රහිත) රු. 480 ක්‌ද, පැකට්‌ කළ තිරිඟු පිටි රු. 95 ක්‌ද, වියළි මිරිස්‌ රු. 355 ක්‌ද වශයෙන් මිල නියම කර තිබේ. එහෙත් හම සහිත කුකුල් මස්‌

කිලෝවක මිල රුපියල් 380 සිට 400 දක්‌වාද, හාල් මැස්‌සන් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 425 සිට 430 දක්‌වාද ඉහළ නංවා තිබේ.

පැකට්‌ කළ සහ නොකළ සුදු සීනි හා පැකට්‌ නොකළ තිරිඟු පිටිද, ටින් මාළු ද රජය නියම කළ උපරිම සිල්ලර මිල පවත්වාගෙන යන බවද කියති.

ඒ අතර තවත් පුවතකින් කියෑවී තිබුණේ අද ඉදිරිපත් කරන අයවැයෙන් අතවශ්‍ය භාණ්‌ඩ දහයකට "සහන" ලබාදෙන බවය. අයවැය ඉදිරිපත් කර අවසාන වන තෙක්‌ "සහන" කවරේද යන්න පැවසීමට හැකියාව නැත.

එහෙත් ජනතාව මෙවර කොත්තමල්ලි පන්නයේ අයවැයක්‌ නම් බලාපොරොත්තු නොවන බව ඉඳුරාම කිව යුතුය. එය "සහන" ලබාදීමකටත් වඩා ජනතාවට දරාගත හැකි මට්‌ටමින් මිල පාලනයකට යටත් කිරීම සුදුසු බව අපේ අදහසයි. 


ඇත්ත වශයෙන්ම ජනතාව අයවැයකින් බලාපොරොත්තු වන දේද බඩු මිල අඩු කිරීම, සහන ලබාදීම වැනි කාරණා බව කිව යුතුය. එහෙත් "සහන" මත යෑපෙන ක්‍රියාවලියකට වඩා වැදගත් වන්නේ ආදායමට සරිලන පරිදි බඩු මිල පාලනය කිරීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමය. එය රුපියල් 2500 න් මාසය ගත කරන ආකාරයේ න්‍යායක්‌ නොවිය යුතු බවද සටහන් කරමු.

ඊයේ ප්‍රකාශවී තිබූ ආකාරයට දැන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ දහයකට උපරිම සිල්ලර මිලක්‌ ලැබී තිබේ. තවත් භාණ්‌ඩ කිහිපයක මිල සුළු වශයෙන් එහා මෙහා වී (වැඩිවී) තිබේ. එහෙත් ඇත්ත වශයෙන්ම මේ උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ දරාගත නොහැකි මට්‌ටමක තිබියදීම බව රටේ ජනතාවගේ (අපේ) හැඟීමයි. 


මිලදී ගැනීමේ හැකියාව යනු "ක්‍රය ශක්‌තිය" යි. මේ උපරිම සිල්ලර මිලට අදාළ ක්‍රය ශක්‌තිය ගැන වඩාත් හොඳින් දන්නේ ජනතාවය. ඒ නිසා ජනතාව කියන දේ විශ්වාස කළ යුතුය. එහෙත් රට පාලනය කරන උදවිය කවදත් මේ බව විශ්වාස කළේ නැත. එය එදත්, අදත් වෙනසක්‌ නැත.

පිටරටින් ගෙන්වනු ලබන පාරිභෝගික ද්‍රව්‍ය කෙසේ වෙතත් අපේ රටේ වැවෙන හාල්, එළවළු මිල හෝ ජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කිරීමේ හැකියාව අදාළ සියලුම වගකිව යුත්තන්ට තිබිය යුතුය. 


පසුගිය දිනවල අමු මිරිස්‌ කිලෝව අලෙවි වූයේ රුපියල් 1000 ත් 1200 ත් අතර මිලකටය. බෝංචි ග්‍රෑම් 500 රුපියල් 160 ද ඉක්‌මවිය. මේ වනවිට අමු මිරිස්‌ මිල යම් තරමකින් නැවත වැඩිවී තිබේ. එය කිසිවෙකුටත් දරාගත හැකි මට්‌ටමක්‌ නොවේ. 

බඩු මිල වැඩි බව කියන විට මනා ආර්ථික කළමනාකරණයක්‌ ඇති කරනවා යෑයි කියන බොහෝ විශේෂඥයන්ට "කෝකටත් තෛලය" වන්නේ "වැස්‌ස" ය. වැස්‌ස නැතිවිට කූඨ වෙළෙන්ඳන්ගේ ක්‍රියා කලාපය ගැන කියති. අතරමැදියන් ගැන කියති. එළවළු මාµsයාවක්‌ ගැන කියති. අන්තිමේදී වරදකරුවන් වන කිසිවෙකුත් නැත.

කොහොමත් දින සියයේ ආණ්‌ඩුවේ පටන් ජනතාව අනෙක්‌ සියලුම දේ කෙසේ වෙතත් අයවැයෙන් තමන්ට යම් සහනදායී තත්ත්වයක්‌ උදාවේ යෑයි සිතු බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්‌ඩුව කොත්තමල්ලි මිල පහත හෙළීම ගැන ආඩම්බරයෙන් කතා කරන විට ජනතාවට මොනවා හිතෙන්නට ඇත්ද?

අද ඉදිරිපත් කරන අයවැයත්, කසාය පැකට්‌ වර්ගයේ එකක්‌ නොවේවායි ප්‍රාර්ථනා කරමු. ඒ හුදී ජනයාගේම යහපත වෙනුවෙනි.
 
Related Posts with Thumbnails