Ads 468x60px

.

ඉතා සුළු දේටත් වර්ජනය කර මගීන් අපහසුතාවට පත්කිරීමේ චණ්‌ඩිකම අනුමත කල හැකිද..?


දුම්රිය රියෑදුරෙකු විසින් අවසරයකින් තොරව සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පේරාදෙණියේදී මාරු කිරීමට විරෝධය පළකරමින් දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරු පෙරේදා (25දා) දහවල් වරුවේ පැයකට ආසන්න කාලයක්‌ හදිසි වැඩ වර්ජනයක නිරත වූ බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි. 

මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ එම දුම්රියේ එන්ජිම පේරාදෙණි යේදී නාවලපිටියේ සිට මාතලේ දක්‌වා ධාවනය කෙරෙන දුම්රියට
අනවසරයෙන් මාරුකළ බවට චෝදනා කරමින් එම වැඩවර්ජනය ආරම්භ කර තිබිණි. දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරු මෙම වැඩවර්ජනයට එක්‌ව සිටි බව කියති.

කෙසේ හෝ මේ වැඩවර්ජනය නිසා බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය ඊයේ ප.ව.1.00 ට ගම්පොළ දුම්රිය ස්‌ථානයට ළඟා වූ පසු සියලුම මගීන් බස්‌සවා හිස්‌ දුම්රිය පමණක්‌ කොළඹ බලා පැමිණ තිබිණි. වර්ජනය නිසා කරන ලද මේ ක්‍රියාව තකතීරු වැඩක්‌ ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය.

ප්‍රවාහන සේවයේ හැටි දන්නා ඕනෑම කෙනෙක්‌ පැයක්‌, එකහමාරක්‌වත් කලින්ම දුම්රිය, බස්‌ රිය වෙත පැමිණෙන්නේ ප්‍රමාදය වළක්‌වා ගැනීමටය. එහෙත් ප්‍රවාහන සේවයට වගකියන කිසිවෙක්‌ මේ කාරණය ගැන හිතන බවක්‌ පෙනෙන්නට නැත.

පසුගිය දිනවල කොළඹ සිට රඹුක්‌කන බලා ධාවනය වූ දුම්රියක්‌ රාගමදී විනාඩි 20 කට ආසන්න කාලයක්‌ නතර කරගෙන සිටින විට කෝපයට පත් වූ මගීන් එම දුම්රියේ රියෑදුරුට පහරදුන් සිදුවීමක්‌ද වාර්තා විණි.

එම දුම්රියේ රියෑදුරා පහර කෑමට ලක්‌වන විට සිටියා යෑයි කියන්නේ පාලක පුවරුවේ හිස තබාගෙනය. එම රියෑදුරා අසනීපයෙන් සිට ඇති මුත් මගීහු සිතා ඇත්තේ ඔහු බීමතින් සිටි බවය. එතැන වරදක්‌ සිදුව තිබේ. එහෙත් වරද නිවරදි තේරුම් බේරුම් කර නොගැනීමට තරම් ජනතාව කලබල වන්නේ ඇයිදැයි යන්න විමසා බැලිය යුතුය. 


එම දුම්රිය රාගම දුම්රිය ස්‌ථානයේ නවතා විනාඩි 20 කට ආසන්න කාලයක්‌ ගත වනතුරුත් ඊට හේතුව හෝ දුම්රිය ප්‍රමාද වන බව නිවේදනය කර නොතිබූ බවද මගීහු චෝදනා කරති. කවර හෝ පුද්ගලයකු නීතිය අතට ගැනීම සාධාරණීකරණය කළ නොහැක. එහෙත් සියලු වරද ජනතාව වෙත පැටවීමද සාධාරණ නැත.

ඊට හොඳම උදාහරණය පෙරේදා ගම්පොලදී සිදු වූ සිදුවීමයි. ප්‍රවේශපත්‍ර මිල දී ගත් කොළඹ බලා ඒමට සූදානමින් සිටි මගීන් මඟ දමා හිස්‌ දුම්රිය කොළඹ කරා ඒමට තරම් මගීන් කළ වරද කුමක්‌ද? අනවසර දුම්රිය එන්ජිම් මාරු කිරීම ජනතාවගේ අනුමැතියෙන් සිදුවූවක්‌ නොවේ. 


මුදල් දී ප්‍රවේශ පත්‍රයක්‌ ලබාගන්නා කවරකු හෝ එම සේවාව ලබාගන්නවා මිස අදාළ කාරණා ගැන විමසීමේ අවශ්‍යතාවක්‌ නැත. අවම වශයෙන් එම මගීන්ට සාධාරණයක්‌ ඉෂ්ට වන ලෙස ඔවුන් කොළඹට රැගෙන ඒමට අදාළ වගකිවයුත්තන්ට හැකියාව තිබිය යුතුය. 

එම මගීන් අතර සංචාරයට පැමිණි විදේශිකයන්ද සිටි බව කියෑවේ. එදින ඔවුන් නැවත විදේශගත වීමට ගුවන් තොටුපල කරා යැමේ සූදානමින් සිටියේ නම් තත්ත්වය කෙබඳු වේද? රෝහල්ගත වන්නට සූදානමින් සිටි අයෙක්‌ සිටියේනම් තත්ත්වය කුමක්‌වේද?

ජනතාවට අපහසුතාවක්‌ ඇතිවන විට, ඔවුන් දැඩි ලෙස පීඩනයට පත්වන විට යක්‍ෂාවේෂ වී රියෑදුරන්ට පහරදීම, පොදු දේපළවලට හානි කිරීම වැනිදේ හරියෑයි අපි කිසිවිටෙකත් කියන්නේ නැත. එහෙත් ඉතා සුළු දේටත් වර්ජනය කර මගීන් අපහසුතාවට පත්කිරීමේ චණ්‌ඩිකම අපි අනුමත කරන්නේ නැත.

අප විශ්වාස කරන්නේ මේවා විස
ගත හැකි අප කාගෙත් පොදු ප්‍රශ්න බවයි. දුම්රිය සම්බන්ධයෙන් බොහෝ ගැටලු ඇති බව කියන්නේ රටේ ජනතාව නොවේ. රජයේ නිලධාරීන්මය, දේශපාලනඥයන්ය, අක්‍රමිකතා සොයන කමිටුය. මේ හැම දෙනෙක්‌ම රටේ ප්‍රවාහන සේවයට වගකියන අයය.

ඒ අයට විසඳන්නට බැරි ප්‍රශ්නයකට ජනතාව දුක්‌විඳින්නෙත්, දුම්රිය සේවකයන් ගුටි කන්නේ ඇයි දැයි යන්නත් නිවීසැනසිල්ලේ කල්පනා කරන්න.
 
Related Posts with Thumbnails