Ads 468x60px

.

තාත්තා එක්ක 'හිරේ යන්න ලැබීම ගැන' සතුටු වන වාස්ගේ පුතා...


මේ අපරාධයට තමන් සම්බන්ධ නැති බව  මරණ දඬුවම නියමවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ පුත් රවිඳු ගුණවර්ධන පවසනවා. සියාම් ඝාතනය සඳහා මරණ දඬුවම නොදීමට හේතු ඇත්නැම් කියන්නැයි විනිසුරුවරුන් දැන්වූ අවස්ථාවේ ඔහු  මේ බව සඳහන් කළා.

එමෙන්ම රවිඳු ගුණවර්ධන එහිදී සඳහන් කළේ "මේ වගේ තාත්තා කෙනකුගේ පුතකු වීමට ලැබීම ගැන මා ආඩම්බර වෙනවා. තාත්තා

එක්ක එකට හිරේ යන්න ලැබීම ගැන සතුටු වෙනවා."යනුවෙනුයි.

තම පියා රට වෙනුවෙන් විශාල සේවයක් කළ බවද ඔහු එහිදී පෙන්වා දුන්නා.


මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව - වාස්‌, පුතා ඇතුළු 6 ම එල්ලුම් ගස්‌

කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු හය දෙනාට මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (27 දා) පස්‌වරුවේ මරණීය දණ්‌ඩනය නියම කළහ.

විත්තිකරුවන්ට එරෙහිව නගා තිබූ සියලු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය, සරෝජනී කුසලා වීරවර්ධන හා අමේන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නියෝගය නිකුත් කළහ.

පළමුවන විත්තිකාර හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතා, මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා අනුබලදීම ඇතුළු ඔහුට එරෙහිව නගා තිබූ අධි චෝදනා අටටම වරදකරු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල මරණීය දණ්‌ඩනයට අමතරව ඔහුට වසර 10 ක සිර දඬුවම් හා රුපියල් 10,000 ක දඩයක්‌ ද නියම කළේය.

පළමුවන විත්තිකාර වාස්‌ ගුණවර්ධන ඔහුගේ රාජ්‍යයක්‌ ගොඩනගා ගෙන කටයුතු කළ අයෙකු බවට ඉදිරිපත් වූ සාක්‌ෂි අනුව අධිකරණයට පැහැදිලි වන්නේ යෑයි පිටු 802 ක්‌වූ තීන්දු ප්‍රකාශයේ සාරාංශය විවෘත අධිකරණය හමුවේදී ප්‍රකාශයට පත්කරමින් පෙන්වා දුන් විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය මහතා වසා තිබූ අපරාධ පිළිබඳ ලිපිගොනු විවෘතකොට සාර්ථකව පරීක්‍ෂණ සිදු කළ අයෙකු බවට විත්තිකූඩුවේ සිට ඔහු ඔහුව හඳුන්වා දුන් බවද සිහිපත් කළේය. 


එසේ නම් තම රාජකාරී බල ප්‍රදේශය තුළ තිබී හමුවූ ඝාතනයට ලක්‌වූ මොහොමඩ් ෂියාම් නමැත්තාගේ මෘත ශරීරය පිළිබඳව දින කිහිපයක්‌ වනතුරුම ඔහු දැනුවත්ව සිටිය යුතුව තිබුණේ යෑයිද පෙන්වා දුන්නේය. 

එමෙන්ම එවන් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ආයතන සංග්‍රහය පිළිබඳව දැනුවත් භාවයකින් සිටිය යුතුවේ යෑයි ද එහිදී පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු සොයා ගත්තේ යෑයි කියන අවි ආයුධ පිළිබඳව මහෙස්‌ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක්‌ හෝ භාරදීමක්‌ කළ බවට ඔහුගේ විත්ති ප්‍රකාශය මගින් පෙන්වා දී නැතැයිද පැවැසීය.

රටේ සාමය ආරක්‌ෂාකොට නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණ පෙරදැරිව පොලිස්‌ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළ යුතු වුවත් විත්තිකාර නිලධාරීන්ගේ එකී ක්‍රියාකලාපය නිසා සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුව කෙරෙහිම ජනතාව තුළ විශ්වාසය හා පිළිගැනීම බිඳ වැටී ඇති බැවින් නියම කළහැකි උපරිම දඬුවම විත්තිකරුවන්ට නියම කරන්නැයි පැමිණිල්ල මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 


දෙවැනි විත්තිකාර උප පොලිස්‌ පරීක්‍ෂක ඉන්දික බමුණුසිංහ මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ෂියාම් පැහැරගෙන යැම හා ඝාතනය කිරීම යන අධි චෝදනා තුනට වරදකරු කරනු ලැබූ අතර ඔහුට දෙවැනි චෝදනාවට බරපතල වැඩ සහිත වසර පහක සිර දඬුවමක්‌ හා රුපියල් 5000 ක දඩයක්‌ද නියම කෙරිණි. 

සෙසු විත්තිකරුවෝ සිවු දෙනා මිනීමැරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ඝාතනය කිරීම යන අධි චෝදනාවලට වෙන් වෙන්ව වරදකරුවෝ කරනු ලැබූහ.

දඬුවම් නියම කිරීමට පෙර කීමට යම් දෙයක්‌ ඇත්නම් එය අධිකරණය හමුවේදී පවසන ලෙසට අධිකරණය ලබාදුන් අවසරය අනුව අධිකරණය ඇමැතූ වාස්‌ ගුණවර්ධන මහතා තමාට එරෙහිව නගා ඇති සියලු චෝදනා තමා ප්‍රතික්‌ෂේප කරන බවත්, නිවැරදිකරුවකු වන තමා එවන් අපරාධයකට කිසිදු අයුරකින් අනුබලදීමක්‌ සිදු නොකළ බවත් කීවේය. 


එකී සියලු චෝදනාවලට තමාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකරුණේ පටලවා ඇති බවත් එහිදී පැවසූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඕනෑම සැක කරුවකු අත්අඩංගුවට ගන්නේ ත්‍රස්‌තවාදියකු යන ලේබලය ගසා බවත් එම නිලධාරීන්ගේ එකී අයුක්‌තිසහගත ක්‍රියාකලාපය නිසා අහිංසක මිනිසුන් නිකරුණේ අමාරුවේ වැටෙන බවත් කීවේය.

මරණකරු වන ෂියාම් සමග තමාගේ කිසිදු අමනාපයක්‌ නොතිබූ බවත් තමා ඔහු දෙස හෝ ඔහු තමා දෙසවත් ඔරවා බැලීමක්‌ සිදුකර නැති බවත් පැවැසූ විත්තිකරු ශානි අබේසේකර නමැති නිලධාරියාගේ අවශ්‍යතාව මත තම පුත්‍රයාත් ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවසීය. 


අධිකරණය ලබාදුන් මෙම තීන්දුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තවත් වාසියක්‌ වන්නේ යෑයි ද බලය කිසිදු අයුරකින් පාවිච්චි නොකළ රටට විශාල සේවයක්‌ කළ තමා මෙම නඩුව සඳහා අවශ්‍ය මුදල් සොයා ගත්තේ තම නිවස විකුණා දමා යෑයි ද හෙතෙම පැවසීය.

අධිකරණයේ අවසරය ඇතිව විත්ති කූඩුවේ සිට අධිකරණය ඇමතූ රවිඳු වාස්‌ ගුණවර්ධන - තම පියා වැනි සෘජු නිලධාරියකුගේ පුතකු වීම ගැන තමන් ආඩම්බර වන බවත් ඔහු සමඟම අද මෙවන් ගමනක්‌ යැමට ලැබීම ගැන සතුටු වන බවත් හෙතෙම පැවසීය. 


තමන් එම අපරාධයට කිසිදු අයුරකින් සම්බන්ධ නොවූ බවත් නිර්දොෂී පුද්ගලයන් බවත් නගා ඇති අධි චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් එහිදී අධිකරණය ඇමතූ අනෙක්‌ විත්තිකරුවෝ සිව්දෙනා ද පැවසූහ.

2013 මැයි 21 වැනිදා පැහැර ගැනීමට ලක්‌ව තිබූ මරණකරුගේ සිරුර දොම්පේ පොලිස්‌ වසමේ මීපාවල ප්‍රදේශයේ ජනශූන්‍ය ස්‌ථානයක තිබියදී පොලිසියට හමු වී තිබිණි. ඒ අනුව පොලිස්‌පතිවරයාගේ නියෝගය අනුව මූලික පරීක්‍ෂණ කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් ආරම්භ කළ අතර දින කිහිපයකට පසුව පොලිස්‌පතිවරයාගේ විශේෂ නියෝගයක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පරීක්‍ෂණ කටයුතු පවරා තිබිණි.

ඉන් අනතුරුව අනාවරණය කරගත් තොරතුරු අනුව එම ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන්නේ යෑයි කියන මරණකරුගේ ව්‍යාපාරික සගයකු වන මොහොමඩ් µවුස්‌ඩින් නමැත්තා හා විත්තිකරුවන් පිරිසක්‌ මරණකරුව පැහැරගෙන යැමට උපයෝගි කරගත්තේ යෑයි කියන වෑන් රථය හා එම වෑන් රථයේ හිමිකරු වන වාස්‌ ගුණවර්ධන මහතාගේ සමීප හිතවතකු යෑයි කියන ක්‍රිෂාන්ත විශ්වරාඡ් කෝරළගේ නමැත්තා අත්අඩංගුවට පත්ව තිබිණි. 


ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඝාතනයේ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබූ අතර ඒ අනුව එවකට බස්‌නාහිර පළාත (උතුර ප්‍රදේශය) භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ලෙස කටයුතු කළ වාස්‌ ගුණවර්ධන මහතා යටතේ සේවය කළ සෙසු විත්තිකරුවන් සිව්දෙනා 2013.06.01 කොටුකර ගැනීමට රහස්‌ පොලිසිය සමත් වී තිබිණි. 

ඉන් දින කීපයකට පසුව වාස්‌ ගුණවර්ධන මහතා ද අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. ඉන් දෙමසකට පමණ පසු එනම් 2013.08.07 වැනිදා පිළියන්දල කොහුවල ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟවී සිටියදී හයවැනි විත්තිකාර රවිඳු ගුණවර්ධන පොලිසියට කොටුවී තිබිණි.

2014.04.17 වැනිදා නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන ලද එම නඩුව පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් සියයකට අධික පිරිසකගේ සාක්‍ෂි කැඳවමින් විභාග කළ අතර හතරවන විත්තිකරු වෙනුවෙන් සාක්‍ෂිකරුවන් දෙදෙනකුගේ සාක්‍ෂි කැඳවිණි. විත්තිකරුවන් හයදෙනාම විත්ති කූඩුවේ සිට විත්ති ප්‍රකාශ ලබාදීම නඩු විභාගයේදී සිදුකෙරිණි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනවිය සමඟ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය පැමිණිල්ල මෙහෙයවූවාය.

ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නෙවිල් අබේරත්න, උපුල් කුමාරප්පෙරුම, අසිත විපුලනායක, රුක්‍ෂාන් නානායක්‌කාර, කල්ප පෙරේරා, ධනරාජ සමරකෝන්, හර්ෂ නානායක්‌කාර, ජාලිය සමරසිංහ, තනුජ සඳරුවන් ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළහ.


 
Related Posts with Thumbnails