Ads 468x60px

.

මේවාට කොමඩි යෑයි නොකියා වෙන කුමක්‌ කියන්නද?


පොලිසිය නැවතත් "විහිළුවක්‌" කර තිබේ. මෑත කාලයේ එකදිගට පොලිසිය විසින් සිදු කරන විහිළුවල පිටපත කාගේදැයි කියන්නට අප දන්නේ නැත. එහෙත් ඒ තිර නාටකය සියලු අංගයන්ගෙන් සම්පූර්ණය. සිංදු නැතත්, ෆයිට්‌, කුමන්ත්‍රණ, මැර කණ්‌ඩායම් සියල්ලම පිටපතේ
අඩංගුය. කොමඩි ඇත්තේ අන්තිමටය. විශේෂත්වය එයයි.

පොලිසියේ කොමඩි ගැන කියන්නේ අප නොවේ. පොලිසියම භාර නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ අමාත්‍ය තිලක්‌ මාරපනය. ඒ නිසා බිය සැක අතහැර පොලිසියේ කොමඩි ගැන කිව හැකිය.

අතීතයේ මිලේනියම් සිටි සිද්ධියෙන් ආරම්භ කළ පසු කොටකෙතන, කොටදෙනියාව (සේයා ඝාතන) සිදුවීම් වැනි බොහෝ කොමඩි තිරනාටක අපට දිග හැරිය හැක. අලුත්ම කතාව "ඇවන්ට්‌ගාඩ්" ය.

ගරු අමාත්‍ය තිලක්‌ මාරපන පවසන්නේ ඇවන්ට්‌ගාඩ් සිද්ධියට අදාළව නඩු නිමිත්තක්‌ නොමැති බවය. එපමණක්‌ නොව මෙය පොලිසිය විසින් "ලකුණු දා ගැනීම" පිණිස කළ වැඩක්‌ බවද ඒ මහතා වැඩිදුරටත් පවසන්නේය.

පොලිසියට පමණක්‌ නොව රටේ බොහෝ පිරිසකටද "ඇවන්ට්‌ගාඩ්" පිළිබඳව නිසි අවබෝධයක්‌ තිබී නැති බව අමාත්‍ය තිලක්‌ මාරපන පාර්ලි මේන්තුවේදී මේ සිදුවීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් තහවුරු වේ.

ඇවන්ට්‌ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳව කතාව ආරම්භ වන්නේ අදක ඊයෙක නොවේ. එය දින සියයේ ආණ්‌ඩුව දක්‌වා යන කතාවකි. ඇවන්ට්‌ගාඩ් සිදුවීම මුළුමනින්ම ජනතාවට රසවිඳිය හැකි කුතුහලය පිරි කතාවක්‌ බවට පත්ව තිබිණි. 


එය හොඳ තිර නාටකයක්‌ බව අප සඳහන් කරන්නේ එහෙයිනි. පිටපත් රචකයා නැති මේ නාටකයේ පොලිසියේ රංගන කාර්යය විහිළු සපයන එකක්‌ බවට පත්ව තිබීම වඩාත් නරක ලෙස බලපා ඇත්තේ ආණ්‌ඩුවට බව කිව යුතුය.

මුළු ඇවන්ට්‌ගාඩ් සිදුවීම පුරාම ආණ්‌ඩුව ස්‌ථිර ප්‍රතිපත්තියක සිටි බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත.

මුළු ඇවන්ට්‌ගාඩ් සිදුවීම පුරාම එය අබිරහසක්‌ බවට පත්කර තිබිණි. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යන්නේ මුහුදු කොල්ලකාරයන් මෙල්ල කිරීම සඳහා බව ගරු ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන්නේ ඒ නිසාය. තවත් බොහෝ කරුණු ඉදිරිපත් කළහොත් බොහෝ අයට ලඡ්ජා හිතේවි යෑයි මාරපන මහතා සඳහන් කිරීම සාධාරණය.

ඔහු සඳහන් කරන වැදගත්ම කාරණය මේ ගැන විමර්ශනය කරන නිලධාරීන්ට හසුනොවූයේ මන්දැයි තේරුම් ගැනීම අපහසුය. ඒ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය වෙනස්‌ වුවත් මේ නැව්වල කොටස්‌ හිමිකාරිත්වය සියයට සියයක්‌ම රජය සතු බවය.

ගරු ඇමැතිවරයා මේ කියන්නේ "කාටදෝ" අයත් යෑයි හඳුන්වාදී තිබූ ඇවන්ට්‌ගාඩ් නැව් ගැනය. කිසිවෙකුටත් මේ ගැන ලඡ්ජා නොසිතේ නම් එය තමා පුදුමය.

මෙවැනි කොමඩි සහිත පිටපත් ගණනාවක්‌ පසුගිය කාලය පුරාම එළිදැක්‌වුණු බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එහෙත් බොහෝ කලක්‌ ගතවීත් විමර්ශන ප්‍රගතිය සීරෝ (0) වී තිබීම ගැන දැන් පුදුම වන්නට දෙයක්‌ නැත. අපට පොලිසියට හෝ අදාළ කිසිවෙකුටත් අමුතුවෙන් කියන්නට දෙයක්‌ නැත. ඒ සියල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද ලත් ඇමැතිවරයකු ප්‍රකාශ කර අවසන්ය.

ප්‍රශ්නය වන්නේ මේ ඇදගෙන යන කිසිවක්‌ ජනතාව විසින් ඉල්ලූ ඒවා නොවීමය. වංචාවට, දූෂණයට වැට බැඳීම, දූෂිතයන් අත්අඩංගුවට ගැනීම යනු අද සිනහ උපදවන ව්‍යාපෘති බවට පත්ව ඇත්තේ ඒ නිසාය. ආර්ථිකය ශක්‌තිමත් කිරීම, සෞඛ්‍යය, අධ්‍යාපනය නැංවීම, රාජ්‍ය යාන්ත්‍රණය ශක්‌තිමත් කිරීම වැනි කතා දැන් ජනතාවට අප්පිරියා වන තරම්ය. ඒ කතාවේ තරමට වැඩ නැති නිසාය. 


"වෙන වැඩ" වලට ඇති වටිනා කාලය ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නට යොදා ගන්න යෑයි අපි කියමු. ජනතාව ආණ්‌ඩුවෙන් ඉල්ලුවේ කළ හැකි දේය. දැන් සිදුව ඇත්තේ ඒ කළ හැකි, කළ නොහැකි දේත් පටලවාගෙන අමුතු යමක්‌ කිරීමය. ඒවාට කොමඩි යෑයි නොකියා වෙන කුමක්‌ කියන්නද?
 
Related Posts with Thumbnails