Ads 468x60px

.

සෝභිත හිමිගේ ආදාහන පූජෝත්සවය බුදු වදනට අකැපද?


අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) පස්වරු 3.00ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනවා.

උන් වහන්සේ කලකට ඉහතදී කරන ලද ප්‍ර‍කාශයකට අනුව, තමන් වහන්සේගේ අවසන් කටයුතු ඉතා චාම්ව ආදාහන පූජෝත්සවයක්ද නොපවත්වා කරනවාට කැමති බව පැවසෙනවා. උන්වහන්සේ එසේ

පවසා තිබියදී ඉතා උසස් අයුරින් ආදාහන පූජෝත්සවය පැවැත්වීම පිළිබඳව විවාද සම්පන්න කතා බහක්ද සමාජයේ මතුව තිබෙනවා.

රටට සහ බුදු සසුනට ඉමහත් සේවාවක් කළ මේ බුද්ධ පුත්‍ර‍යායාගේ අවසන් කටයුතු මහත් ගෞරව සහිතව කිරීම කළයුත්තක්ම බව එක් පාර්ශවයක අදහසයි. අනෙක් පාර්ශවයේ අදහස වී ඇත්තේ උන්වහන්සේද තම අවසන් කටයුත්ත චාම්ව පවත්වන ලෙස ඉල්ලා තිබියදී සහ බුද්ධ පුත්‍ර‍කු යනු අල්පේච්ඡ ජීවිතයක ගත කරන්නකු බැවින්ද විශාල වියදමක් දරමින් අවසන් කටයුතු කිරීම නිශ්ඵල බවය.

ඒ කෙසේ වෙතත් බුදුවරයකුගේ අවසන් කටයුතු සිදු කෙරිය යුතු ආකාරය බුදුන් වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා. ඉන් කියැවෙන්නේ බුදු සිරුර ආදාහනය කළ යුත්තේ සක්විති රජකුගේ අවසන් කටයුතු කෙරෙනා ආකාරයට බවය. උන් වහන්සේ එය මෙසේ පැහැදිළි කොට තිබෙනවා.

“ බුදු සිරුර ආදාහනය කරනවිට සක්විති රජ කෙනෙකුගේ ආදාහනයක් මෙන් සිදුකළ යුතු බවත්, අලුත් සළුවලින් වෙලා ඉන්පසු පුළුන් වලින්ද නැවතත් සළුවලින් හා පුළුන්වලින් ආදී වශයෙන් බුදු සිරුර වෙළිය යුතු ආකාරය උන්වහන්සේ ආනන්ද හිමිට පැහැදිලි කර දුන්නේය. 


පුද්ගලයන් හතර දෙනෙකුගේ ධාතු නිදන් කර චෛත්‍ය ඉදිකිරීම සුදුසු බවත් එම පුද්ගලයන් ථූපර්හ පුද්ගලයන් බවත් බුදුරදුන් පසේ බුදුරදුන් රහතන් වහන්සේ සහ සක්විති රජතුමා එම පුද්ගලයන් හතර දෙනා බව උන්වහන්සේ පෙන්වා දුන්නේය.

අවසානයේදී උන්වහන්සේ එක් එක් ධ්‍යාන වලට සමවැදී පිරිනිවන් පා වදාළේය. ආනන්ද හිමි බුදුරදුන් පිරිනිවන් පෑ බව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ට දැන්වීය. 


බුදුරදුන් මුලින් දුන් උපදෙස් අනුව පිරිසිදු වස්ත්‍රවලින් හා කපුවලින් වෙලා දවස් හතක් සුවඳ දුමින් හා සුවඳ පැන්වලින් නාවා ශ්‍රී දේහය චිතකයේ තැන්පත් කළේය. මල්ල රජවරු හතර දෙනෙක් හිස් සෝදා නා පිරිසිදු වී පිරිසිදු වස්ත්‍ර ඇඳගෙන චිතකයට ගිනි දැල්වීය.“

ලොව පහළවන අල්පේච්ඡතම මෙන්ම උතුම්ම මනුෂ්‍යයා වන බුදුවරයකුගේ ආදාහන කටයුතු ඒ ආකාරයෙන් විය යුතුයැයි උන්වහන්සේ විසින්ම වදාළේ නම්, රටට සහ ශාසනයට මහත් සේවාවක් කළ බුදු පුතෙකුගේ අවසන් කටයුතු මහත් හරසර දක්වා ඉටුකිරීමෙන් බුදු වදනට පිටුපෑමක් වේද?
 
Related Posts with Thumbnails