Ads 468x60px

.

වාහන බද්ද ගැන ඇහෙන සද්ද...


මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්‌ඩ 11 ක මිල අඩු කර තිබේ. එහෙත් තවමත් බොහෝ දෙනෙක්‌ ඒ ගැන හිතමින් සතුටු වන බවක්‌ පෙනෙන්න ට නැත. බොහෝ දෙනකුට ප්‍රශ්නය වන්නේ වාහන සම්බන්ධයෙන් අය වැය ඉදිරිපත් කළ යෝජනාය. 

වාහන මිල ගණන් ඉහළ යැම මෙන්ම වාහන සම්බන්ධයෙන් පැනවූ බදු පිළිබඳව කෝපයක්‌ මෙන්ම විස්‌සෝපයක්‌ද රටේ ජනතාව තුළ ඇතිවී
තිබෙන බව පෙනේ. 

මේ ගැන හිතන පිරිස කොටස්‌ තුනකට වර්ග කළ හැක. මුල් කාණ්‌ඩය තමාගේම යෑයි වාහනයක්‌ ගන්නට පෙරුම් පුරමින් සිටි අයයි. දෙවැනි කාණ්‌ඩය වාහන ආනයනය කරන්නන්ය. තුන්වැනි කාණ්‌ඩය දැනටත් වාහන භාවිත කරන අයයි.

වාහනයක්‌ ගන්නට හිතමින් සිටි අයට ඒ කාරණය වෙනුවෙන් බොහෝදුර හිතන්නට කරුණු කාරණා යෙදී තිබේ. බොහෝ වාහන වල මිල ගණන් දැරිය නොහැකි තරමට ඉහළ ගොස්‌ තිබීම ඊට හේතුවයි. වාහන සම්බන්ධයෙන් බදු ගණනාවක්‌ ඉහළ දමා තිබේ. 


ඒ නිසාම වාහන ආනයනය සීමාවීම වැළැක්‌විය නොහැක. වාහන ආනයනකරුවන්ගේ මැසිවිල්ල එයයි. වාහනයක්‌ භාවිත කරන අයට පවා විශාල ලෙස බදු ගෙවමින් වාහනය නඩත්තු කිරීමට සිදුව තිබේ.

විශේෂයෙන් බොහෝ දෙනෙක්‌ දුම් පරීක්‍ෂණ ගාස්‌තුව සම්බන්ධයෙන් දැඩිලෙස විරෝධය දක්‌වන බවක්‌ පෙනෙන්ට තිබේ. වාහන තක්‌සේරු ගාස්‌තුව යතුරුපැදි හා ත්‍රිරෝද රථ වලට රුපියල් 2500 බැගින්ද, මෝටර් රථ ඇතුළු වාහන වලට 15,000 බැගින්ද නියම කර තිබේ.

යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා වැඩිකරන ලද දුම් පරීක්‍ෂණ ගාස්‌තු අදාළ නොවන බව මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබිණි. එහෙත් එම ගාස්‌තුව සියලු වාහන වර්ගීකරණය කොට අයකිරීම වඩාත් සාධාරණ බව පෙනේ.

වාහනවල තීරු බදු ඉහළ නැංවීම නිසාම 2016 වසරේ වාහන ආනයනය 50% කින් පමණ පහත බැසීමට හැකියාවක්‌ තිබෙන බව වාහන ආනයන කරුවන්ගේ මතයයි. විශේෂයෙන් 'ඉලෙක්‌ටි්‍රක්‌ ' වාහන සහ වෑන් රථ වල සිදුවූ අධික බදු ඉහළ යැම මෙහිදී කැපී පෙනේ. 


'ඉලෙක්‌ටි්‍රක්‌ ' වාහන සඳහා පෙර පැවැති සියයට පහක පමණ වූ බදු ප්‍රමාණය මෙවර සියයට 50 කින් පමණ ඉහළ දමා ඇති නිසා 'ඉලෙක්‌ටි්‍රක්‌ ' කාර් රථයක්‌ ඉතා ඉහළ මිලකට විකිණීමට සිදුවන බව සඳහන්ය. වෑන් රථයක්‌ සඳහා මෙතෙක්‌ පැවැති සියයට 85 ක්‌ වූ බද්ධ මෙවර සියයට 150 ක්‌ දක්‌වා වැඩිකර තිබේ.

රජය පරිසර හිතකාමී වාහන සඳහා යම් සහනයක්‌ ලබා දෙනු ඇතැයි ජනතාව විශ්වාස කළද සිදුව ඇත්තේ 'හයිබ්‍රිඩ්' වර්ගයේ සහ 'ඉලෙක්‌ටි්‍රක්‌ ' වර්ගයේ වාහන මිල ඉහළ යැමකි. 


එහෙත් සූර්ය බලශක්‌තියෙන්, හයිඩ්්‍රජන් සහ හීලියම් වායුව ආධාරයෙන් ධාවනය වන වාහන සඳහා බදු ප්‍රතිශතය සියයට 5 හේ සිට සියයට 2.5 දක්‌වා අඩුකර තිබේ. එහෙත් එය එතරම්ම ප්‍රායෝගික කාරණයක්‌ නොවන බව කිව යුතුය. 

වාහන නිපදවන බොහෝ රටවල් ඒ ආකාරයේ පරිසර හිතකාමී වාහන වෙළෙඳපොළට හඳුන්වාදීමට තවමත් කටයුතු කර නැති අතර ඒවා භාවිත කරන පාරිභෝගිකයන්ද නැත. රජය විසින් කළ යුතුව තිබුණේ එම වාහන හඳුන්වාදෙන තෙක්‌ 'ඉලෙක්‌ට්‍රික්‌ 'හා 'හයිබ්‍රිඩ්' වර්ගයේ වාහන සඳහා යම් සහනයක්‌ ලබාදීමයි.

ජනතාව වාහන සම්බන්ධයෙන් මේ තරම් බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකට පත්වූයේ රටේ හැමදෙනාටම හොඳ වාහනයක්‌ අවම මිලකට ලබාදෙන බවට ආණ්‌ඩුවම මීට පෙර ප්‍රකාශ කර තිබූ නිසාය.

එහෙත් මේ බදු ඉහළ දැමීමට, වාහන ආනයන සීමා කිරීමට හේතුව ලෙස ආණ්‌ඩුවටද කියන්නට කරුණු කාරණා තිබේ. මහාමාර්ගවල ධාවනය වන වාහන විශාල වශයෙන් වැඩිවීම, ඒ නිසාම මාර්ග තදබදය වැඩිවීම (කොළඹ නගරයේ ධාවනය වන වාහනයක වේගය පැයට කි.මී.12 ක්‌ දක්‌වා පහත වැටී තිබේ) ඒ නිසාම වැඩිවන රථ වාහන අනතුරු සංඛ්‍යාව මේ අතර ප්‍රධානය. රටකට ඔරොත්තු නොදෙන තරමේ වාහන සංඛ්‍යාවක්‌ තිබේනම් එය සීමා කිරීම ගැන කිසිවකුගෙත් විරෝධයක්‌ නැත. 


එහෙත් වාහනයක හිමිකරුවෙක්‌ වීමට, පවුලේ උදවිය සමඟ පහසුවෙන් ගමන් බිමනක්‌ යැමට වාහනයක්‌ මිලදී ගැනීමට සූදානමින් සිටින අය පිළිබඳව සාධාරණ ලෙස කල්පනා කළ යුතුව තිබේ.

නො එසේනම් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය පහසුකම් වලින් යුක්‌තව කඩිනම් සේවාවක්‌ ලෙස දියුණු කිරීමේ ක්‍රමවේදයක්‌ ඉක්‌මනින්ම සැකසීම රජයේ යුතුකමය. එවිට අවම වශයෙන් කොළඹට සහ තදාසන්න නගර වලට පුද්ගලික වාහන වලින් පැමිණෙන අය පොදු ප්‍රවාහන සේවාවට හුරුවනු ඇති බව අපේ විශ්වාසයයි. 


ආණ්‌ඩුවට ප්‍රමාද වී හෝ ගත හැකි ඥනාන්විත හා ප්‍රායෝගික තීරණය වන්නේ 'හයිබ්‍රිඩ්' සහ 'ඉලෙක්‌ට්‍රි‍ක්‌' වැනි පරිසර හිතකාමී වාහන සඳහා පනවා ඇති බදු සංශෝධනය කිරීම බව කිව යුතුය.
 
Related Posts with Thumbnails