Ads 468x60px

.

අපි නොදන්න අයවැය...!


පසුගිය සිකුරාදා (20 දා) ආණ්‌ඩුවේ මංගල අයවැය ඉදිරිපත් කෙරිණි. කවර ආණ්‌ඩුවක්‌ වුවද බලයේ සිටියදී ඉදිරිපත් කරන අයවැය සම්බන්ධයෙන් විපක්‍ෂයෙන් "හොඳක්‌" අහන්නට ලැබෙන්නේ නැත. 

මේ අයවැය සම්බන්ධයෙන්ද එම තත්ත්වයෙහි වෙනසක්‌ දක්‌නට ලැබුණේ නැත. කෙසේ හෝ සමස්‌තයක්‌ ලෙස ආණ්‌ඩුවේ අයවැය
පිළිබඳව විවේචනාත්මක ප්‍රවේශයක්‌ ගැනීමට වඩා එය විශ්ලේෂණය කර ගැනීම හොඳ බව කියන වැදගත් පිරිසක්‌ ද දක්‌නට ලැබේ.

මෙම අයවැය පදනම්ව ඇත්තේ පසුගිය නොවැම්බර් 5 වැනිදා අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්‌ඩුවේ මධ්‍යකාලීන ප්‍රතිපත්ති යෝජනාවලිය බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ අනුව, රැකියා අවස්‌ථා දස ලක්‍ෂයක්‌ බිහිකිරීම, ආදායම් ඉහළ නැංවීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, ග්‍රාමීය ආර්ථිකයේ ජනතාවටත්, මධ්‍යම පාන්තිකයන්ටත්, රජයේ සේවකයන්ටත් දේපළ අයිතිය ලබාදීම, ශක්‌තිමත් හා පුළුල් මධ්‍යම පන්තියක්‌ බිහි කිරීම වැනි කාරණා විශේෂිත බව මුදල් අමාත්‍යවරයා කීවේය. 


මේ මූලික කාරණාද අගමැතිවරයා විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තියෙහි අනෙකුත් කාරණාද සියල්ල මේ අයවැය මගින් සාක්‍ෂාත් වන බවක්‌ පෙනෙන්නට නැත.

අයවැය ඉදිරිපත් කිරීමට අවසන් වීමටත් පෙරාතුව මුල් අවස්‌ථාවේදීම රාජ්‍ය සේවයේ නියුතු ලක්‍ෂ 14 ඉක්‌මවන බොහෝ දෙනකු තුළ අයවැය පිළිබඳ යම් අවිශ්වාසනීය හැඟීමක්‌ ඇති කර තිබුණ බව කිව යුතුය. 


රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප අහිමිකර 2016 සිට රාජ්‍ය සේවයට බැඳෙන පිරිසට දායකත්ව විශ්‍රාම වැටුප නමින් හැඳින්වෙන නව ක්‍රමයක්‌ හඳුන්වාදීමට යැම එම සැකයට හේතුවී තිබේ.

බැලූ බැල්මට මේ අයවැය යෝජනා රාජ්‍ය සේවය තවදුරටත් සීමා කරමින් පුද්ගලික අංශය වෙත විවෘත වන සැලැස්‌මක්‌ සහිත බව පෙනේ. රාජ්‍ය ආයතන අකාර්යක්‍ෂම හා ඵලදායී බවින් තොර බව අයවැය යෝජනා වලින්ම ඉදිරිපත්වන්නේ ඒ විශේෂත්වය නිසාය. 


2002 රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ ආණ්‌ඩුව මගින්ද රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ගෙන තිබුණු තීරණයේ වර්තමාන දිගුව මෙය බව විපක්‍ෂය චෝදනා කරන්නේ එහෙයිනි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය එකොළහක මිල වෙනස්‌ කිරීමට අයවැය මගින් යෝජනා කර තිබෙන්නේ රටේ ජනතාව ඒ ගැන මහත් බලාපොරොත්තු සහිතව සිටි මොහොතකය. අර්තාපල් විශේෂ බද්ද රුපියල් 25 කින් අඩුවන අතර ලොකු ලූනු මිල රුපියල් 25 කින් අඩුකර තිබේ. 


කිරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 295 දක්‌වා අඩුකර තිබේ. ළදරු කිරි පිටිද රුපියල් 100 කින් අඩුවන අතර ටින් මාලු සඳහා රුපියල් 125 ක මිලක්‌ නියම කෙරේ. මයිසූර් පරිප්පු, කඩල මිල අඩු කිරීමට කටයුතු කර ඇති අතර ගෑස්‌ මිල සහ භූමිතෙල් මිලද පහත දමා තිබේ. 

එහෙත් අයවැයකින් පසු ඉතා ටික කාලයකින් පසු මේ තත්ත්වයෙහි බරපතළ වෙනස්‌කම් සිදුවිය හැකි බව අමුතුවෙන් කිව යුත්තක්‌ නොවේ. බඩු මිල අඩු කිරීමේදී උපරිම මිලක්‌ ඇති කිරීමට කටයුතු කර ඇතිමුත් පාලන මිලක්‌ නියම කිරීමට කටයුතු කර ඇති බවක්‌ පෙනෙන්නට නැත.

"වී" සඳහා අඩු සහතික මිලක්‌ ලබාදීම ගොවි සංවිධානවල අප්‍රසාදයට හේතුවී තිබේ. මේ වෙනතෙක්‌ පැවැති සහතික වී මිල නීතිගත කරන ලෙස ඔවුන් ආණ්‌ඩුවට කියන්නේ එහෙයිනි. මෙතෙක්‌ රුපියල් 45 ක්‌ව තිබූ නාඩු වී කිලෝවක සහතික මිල රුපියල් 38 කටත් රුපියල් 50 ක්‌ වූ සම්බා වී කිලෝවක මිල රුපියල් 41 කටත්, රුපියල් 55 ක්‌ වූ කීරි සම්බා කිලෝවක මිල රුපියල් 50 කටත් අඩු කිරීම ප්‍රායෝගික නොවන අර්බුද ඇති කරන සුළු අයවැය යෝජනා බවට මේ වන විටත් පත්ව තිබේ.

මෙවර අයවැය යෝජනා මගින් දේශීය විදේශීය සියලුම දෙනාට බදු රහිතව ඉඩම් ලබා ගැනීමේ තත්ත්වය ලබාදී තිබේ. විනිමය පාලනය ඉවත් කිරීමටද කටයුතු කර තිබේ. එමෙන්ම ශ්‍රම වෙළෙඳ පොළ ලිහිල් කිරීමටත්, විදේශීය ආයෝජන පුළුල් කිරීමටත් කටයුතු කිරීම වැනි කාරණා 1977 වර්ෂයටත් වඩා උපක්‍රමිකව ආර්ථිකය විවෘත කිරීමේ වුවමනාවෙන් සැකසී ඇති යෝජනා බව පෙනේ.

දැන් ඇත්තේ අවුරුදු දෙකකට පිහිටුවාගත් ජාතික ආණ්‌ඩුවකි. අයවැය සකස්‌ කිරීමේදී ප්‍රධාන ධාරාවේ පක්‍ෂ දෙකෙහිම අදහස්‌ යෝජනා සැලකිල්ලට ගෙන ඇති බවක්‌ද පෙනෙන්නට නැත. 


ලිබරල් අදහස්‌ සහිත වෙළෙඳ පොළ ආර්ථිකයක්‌ ගොඩනැඟීම එජාපයේම ප්‍රතිපත්තියක්‌ ලෙස සැලකිය හැකිය. අයවැයේ ජනප්‍රියම යෝජනා දෙස පමණක්‌ බලා ඒ ගැන තීන්දු තීරණ ගැනීමට වඩා එකඟතා ආණ්‌ඩුවකින් අයවැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කෙලෙසද යන්න විග්‍රහ කර ගැනීම වඩා සුදුසු බව අපේ හැඟීමයි.
 
Related Posts with Thumbnails