Ads 468x60px

.

මං තීරු නීතියද? "මං තකතීරුද?" එකිනෙකා තම තමන්ගෙන්ම විමසිය යුතු බව...


පසුගිය සතියේ (26 වැනිදා) සිට මං තීරු නීතිය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මකව සිටින අයුරු දැක ගත හැකි විය. එපමණ තදින් නීතිය ක්‍රියාත්මක වනවා යෑයි කීමෙන් ම අදහස්‌ වන්නේ මෙපමණ කාලයක්‌ මං තීරු නීතිය ගැන කිසිවෙකුත් තඹයකට හෝ මායිම් කර නැති බව ය. 

මං තීරු නීතිය ආරම්භ කළ දවසේම රියෑදුරන් හත්සිය විසිපහකට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ක්‍රියාකර තිබිණි. මේ හත්සිය විසිපහ අතර වාහන වර්ගීකරණය කවරක්‌ ද යන්න පැහැදිලි නැත. කෙසේ
වෙතත් පමා වී හෝ මේ ක්‍රියාත්මක කරන්නේ මුල සිටම නිතිපතා ක්‍රියාත්මක කළ යුතුව තිබූ නීතියක්‌ බව කිව යුතු ය. 

මං තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර, කට්‌ට අව්වේ, වේලෙමින්, මහ වැස්‌සට තෙමෙමින් රාජකාරි කළ පොලිස්‌ නිලධාරීන්ගේ වෙහෙස ගඟට ඉනි කැපුවාක්‌ මෙන් බව කිව යුතු ය.

මේ හදිසි තීරණයට හේතුව වන්නට ඇත්තේ පසුගිය කාලයේ කොළඹ නගරයේ හා තවත් ප්‍රදේශවල හිටිහැටියේ වර්ධනය වූ රථවාහන තදබදය බව අනුමාන කළ හැක. එය පසුගිය මාසයක දෙකක කාලය තුළ රටේ ආර්ථිකයට එල්ල කළේ නොදැනෙන ප්‍රහාරයකි. 


මාර්ග තදබදයට හසුව මිනිස්‌ ශ්‍රමය, කාලය අපතේ යැම දියුණු වන රටකට ඇති කරන්නේ ගණනය කළ නො හැකි පාඩුවකි. කෙසේ හෝ මෙවැනි මාර්ග තදබදයකදී වඩාත් වැදගත් වන්නේ රියෑදුරන්ගේ විනය ගරුක බවයි. 

මං තීරු නීතිය කෙසේ වෙතත් කිසිදු මාර්ග නීතියක්‌ ගැන සැලකිල්ලක්‌ නො දක්‌වන රියෑදුරන් ඕනෑ තරම් සිටින බව පාරට බැස්‌ස ඕනෑම මොහොතක දැක ගත හැකි කාරණයකි. පදිකයන්ගේ පවා මාර්ග නීති පිළිබඳව අවධානය එතරම් ම හොඳ නැති බව ද සඳහන් කළ යුතු ය.

වාහන තදබදය නිසා වාහනයක්‌ පැයකට අඟලක්‌වත් ඉදිරියට නො යන තත්ත්වයක්‌ තුළ වුවද කන් බිහිරි කරවන හඬින් නලා නාද කරමින්, ඉඩ ඉල්ලමින් අමාරුවෙන් අස්‌සෙන් රිංගවමින් ඉදිරියට යන අවිනීත රියෑදුරන් මේ මංතීරු නීතිය ගැන පමණක්‌ නොව කිසිදු මාර්ග නීතියක්‌ ගැන සැළකිල්ලක්‌ දක්‌වන්නේ නැති බවක්‌ පෙනේ. එය වඩාත් තහවුරු වන්නේ මං තීරු නීතිය ක්‍රියාත්මක කළ දිනයේ බොහෝ රියෑදුරන් විද්යුත් මාධ්‍යයට කළ ප්‍රකාශවලිනි. 


බොහෝ දෙනෙක්‌ පොලිසියට දොස්‌ පවරනු පෙනිණි. "නීතිය හරි හැටි ක්‍රියාත්මක කරන්න" යෑයි පොලිසියට කී රියෑදුරෙකු ද විය. ඔහු 'නීතිය' ලෙස සලකන්නේ තදබදය වැඩි වූ විට ඉරි කපමින් මං තීරු නොසලකමින් රිය ධාවනය කරවීම විය හැකි ය. මං තීරු නීතිය නොදන්නා බව කී රියෑදුරන් ද විය. 

රටේ රිය අනතුරු වැඩි වීම ගැන කියන්නට තවත් උදාහරණ කුමට ද? තවත් රියෑදුරෙකු පොලිසියට දොස්‌ පැවරුවේ "ඔයාලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. මට නඩු දානව නම් අරයටත් නඩු දාන්න" (පිටුපසින් පැමිණි රථය පෙන්වමින්) කියමිනි.

බොහෝ දෙනෙක්‌ වටහා නොගත් කාරණය නම් අපේ රටේ මාර්ග නීති බොහෝ විට බිඳ දමන්නේ 'අනුගමනය' කිරීමෙන් බවයි. එක්‌ රියෑදුරෙකු මං තීරු නො සලකමින් ඉදිරියට ඇදී යන විට ඔහු පසු පස තවත් වාහන පෝලිමක්‌ ඉදිරියට ඇදී යැම නිරායාසයෙන් ම සිදුවන්නකි. 


විශේෂයෙන් මේ තත්ත්වය ත්‍රිරෝද රථ රියෑදුරන් අතර බහුලව දක්‌නට ලැබේ. මං තීරු තුනක්‌ සහිත මාර්ගයේ වාහන පේළි තුනක්‌ පමණක්‌ ඇත්නම් ත්‍රිරෝද රථ රියෑදුරන්, බොහෝමයකගේ පුරුද්ද වී තිබෙන්නේ අතරමැද තවත් වාහන පේළි දෙකක්‌ සදමින් ඉදිරියට යැම ය. වාහන තදබදයකට මුහුණ දුන් ඕනෑම අයෙක්‌ එම තදබදය ඇති වීමට ප්‍රධාන හේතුව එය කියන්නට දෙවරක්‌ සිතන්නේ නැත.

ඇත්ත වශයෙන් ම, පුද්ගලික රථවාහනවලටත් වඩා නො සැළකිලිමත් තත්ත්වය දකින්නට ලැබෙන්නේ බස්‌ රථ, ත්‍රිරෝද රථ හා යතුරුපැදි කරුවන් අතින් ය. මාර්ග සංඥා පුවරු හෝ දුම්රිය ගේට්‌ටුවක්‌ ඇති තැනක මං තීරු නො සලකමින් ඉදිරියට එන යතුරුපැදි හා ත්‍රිරෝද රථ එක පොදියට ඉදිරියට වී සිටින අයුරු නිරන්තරයෙන් දැක ගත හැකි ය. 'රිංගා' යැම මාර්ග නීතියක්‌ බවට පත්ව ඇත්තේ මෙපමණ කාලයක්‌ නිවැරැදි නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවීම නිසා බව පෙනේ.

මාර්ගවලට ඔරොත්තු නොදෙන තරමට වාහන වැඩිවීම සහ මාර්ග පුළුල්වීම වැනි දෙයට විසඳුම් නොසොයා, මං තීරු නීතිය ගෙන ඒමෙන් ඵලක්‌ නැතැයි කියන බොහෝ දෙනෙක්‌ වෙති. ඒ අයට දිය හැකි සරලම පිළිතුර වන්නේ නීති කැඩීම ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වන බව ය. මං තීරු නීතිය පමණක්‌ නොව සියලුම මාර්ග නීති කැඩීම ප්‍රශ්නය තව තවත් උග්‍ර කරවන්නකි.

නැවතත් කිව යුතු වන්නේ වාහන තදබදය රටේ ආර්ථිකයට එල්ල කරන බලපෑම සුළුපටු නොවන බව ය. කළහැකි අවමය කරමින් උපරිම ලෙස රටේ සංවර්ධනයට දායක වන පුරවැසියකුගේ යුතුකම නීතියට අවනත වීම ය. නැතිනම් අප එකිනෙකා තම තමන්ගෙන්ම විමසිය යුත්තේ, මං තීරු නීතියද? "මං තකතීරුද?" යන්න පමණකි.
 
Related Posts with Thumbnails