Ads 468x60px

.

ත්‍රස්‌තවාදය ගැන අලුතෙන්ම හිතන්නට පටන් ගන්නා වර්ෂයක්‌ හැටියට 2016 නම් කළ යුතු බව


ඉන්දියාවේ පතන්කොට්‌ ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව ප්‍රවෘත්තිය මේ වන විට ලොව පුරා අවධානයට ලක්‌ව තිබේ. පසුගිය සෙනසුරාදා (02 දා) අලුයම් කාලයේ සිට ඉරිදා (03 දා) සවස්‌
කාලය වනතුරුත් ත්‍රස්‌තවාදීන් ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කරමින් තිබිණි. 

එම ප්‍රහාරයෙන් ඊයේ වන විට හමුදා සාමාජිකයන් 11 දෙනෙකුද, කඳවුරට ප්‍රහාර එල්ල කරමින් සිටි ත්‍රස්‌තවාදීන් 05 දෙනෙකුද මරණයට පත්ව තිබිණි. 

ඉන්දු - පාකිස්‌තාන දේශ සීමාවේ පිහිටි අතිශය වැදගත් ඉන්දීය කඳවුරක්‌ වන මෙහි ප්‍රහාරක ගුවන් යානා හා හෙලිකොප්ටර් රඳවා තිබේ. ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ "ජයිල් මොහොමඩ්" නම් සංවිධානය බවයි. 

ඉන්දියාවේ මාධ්‍ය සඳහන් කර තිබුණේ මේ ප්‍රහාරය පිටුපස සිටින්නේ පාකිස්‌තාන ඔත්තු සේවාව බවයි. එහෙත් පාකිස්‌තානය පතන්කොට්‌ ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ. එය යහපත් ප්‍රවනතාවක්‌ බව කිව යුතුය.

කෙසේ හෝ අප කල්පනා කරන්නේ මෙය ඉන්දියාවට පමණක්‌ ලඝූ කළ හැකි අර්බුදයක්‌ නොවන බවය. අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන්ගේ බලපෑම මේ වනවිට සමස්‌ත ලෝකය පුරාම පැතිර යමින් පවතී. 


ත්‍රස්‌තවාදය පිළිබඳව අතිශය කුරිරුතම අත්දැකීම් රාශියකට මුහුණ දුන් රට ශ්‍රී ලංකාවයි. මෙරටින් තුරන් කරන ලද්දේ "ලොව භයානකම ත්‍රස්‌තවාදීන්" යෑයි ජාත්‍යන්තරය විසින්ම නාමකරණය කරන ලද ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී නඩයකි. 

එහෙත් ජාත්‍යන්තරයම කිරිපොවා ඇති දැඩි කරන, පෝෂණය කරන ත්‍රස්‌තවාදීන් (කුලියට මිනී මරන්නන්) අද ජාත්‍යන්තරයේම රටවල්වලට පාරා වළල්ලක්‌ වී තිබේ. ත්‍රස්‌ත තර්ජන අතර ආසියාකරයේ රටවල්වල පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල "මරාගෙන මැරෙන සෙල්ලම්" දමන්නේ ද ජාත්‍යන්තරය "හීලෑ" යෑයි සිතා සිටින ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්ය. 

ඇමරිකාව බියෙන් සලිත කළේද, පැරිසිය ගුවන් ගමන් නවතා දමා ඇඳිරි නීති ප්‍රකාශ කළේද, බ්‍රිතාන්‍ය දෙසැම්බර් 31 වැනිදා සියලු ආරක්‍ෂක විධිවිධාන තරකරමින් ප්‍රහාරයක්‌ ගැන සිතමින් සිටියේද මේ ත්‍රස්‌තයන් නිසාය. (දෙසැම්බර් 31 වැනිදා යුරෝපයේ බොහෝ රටවල් බැරෑරුම් ලෙස ආරක්‍ෂාව ගැන සැලකිළිමත් වෙමින් සිටියහ.)

අපේ රට ලෝකයට ත්‍රස්‌තවාදයේ ඇති භයානකකම පැහැදිළි කරන විට කිසිවෙකුත් එය පයිසෙකට මායිම් කළේ නැත. අද යුරෝපයට ඇතුළුවන ක`ථහම ඇති කවරෙකු වුවද ත්‍රස්‌තවාදියකු යෑයි සැකකරන මට්‌ටමට ආරක්‍ෂාව ගැන තක්‌කු මුක්‌කු වී සිටින ජාත්‍යන්තරයේ රටවල් එදා බුරුතුපිටින් "ත්‍රස්‌තවාදීන්" ට තමන්ගේ රටවල දේශපාලන රැකවරණය ලබාදුන්නේ සරණාගතයන් ලෙස සලකමිනි. ජාත්‍යන්තරය මේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදීන් හැඳින්වූයේ "විමුක්‌තිකාමීන්" යන සුරතල් නාමයෙනි. 


විශේෂයෙන් ජාත්‍යන්තරය පමණක්‌ නොව අපේ "අසල්වැසියන්" යෑයි හඳුන්වන රටවල් පවා "ත්‍රස්‌තවාදය" සම්බන්ධව නිවැරැදි ප්‍රතිපත්තියක සිටි බවක්‌ පෙනෙන්නට තිබුණේ නැත. අද වන විට පත්තු වී තිබෙන්නේ මේ පෙර වැරදිවල තුවක්‌කුය.

එංගලන්තයේ ආරක්‍ෂක ලේකම් මයිකල් µeලන් පසුගිය දවසක අපූරු ප්‍රකාශයක්‌ කර තිබිණි. ඒ "ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් කිරීමට නම් එරට ක්‍රියාත්මක මානව හිමිකම් පනත අත්හිටුවිය යුතු බවය. 


ඔහු ඒ බව කියා තිබුණේ එංගලන්ත පාර්ලිමේන්තුවේදීය. ත්‍රස්‌තවාදීන්ට එරෙහිව සටන් වදින බ්‍රිතාන්‍ය හමුදා මානව හිමිකම් පනත කිසිදු දුෂ්කරතාවට පත්ව සිටින බව මයිකල් µeලන් අවධාරණය කර තිබිණි.

2009 වර්ෂයට පෙර පමණක්‌ නොව ඊට පසු වසර කිහිපයේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීම සඳහා අපේ රට ගත් ක්‍රියාමාර්ග මානව හිමිකම් කඩකිරීම් යෑයි චෝදනා කරන ජාත්‍යන්තරයත්, ජාත්‍යන්තරයට බඩගැත්තරකම් කරන අටෝරාශියක්‌ සංවිධාන සහ මානව හිමිකම් ගැන කටමත දොඩවන පොරවල් යෑයි කියා ගන්නා අය මේ ගැන කියන්නේ කුමක්‌ද? මයිකල් µeලන් මානව හිමිකම් කඩකිරීමට උත්සාහ දරනවා යෑයි යුද අපරාධ අධිකරණයට කැඳවනවාද?

අප විශ්වාස කරන්නේ "ප්‍රහාර" තවමත් අවසන් නැති බවය. ලෝකය ත්‍රස්‌තවාදය ගැන අලුතෙන්ම හිතන්නට පටන් ගන්නා වර්ෂයක්‌ හැටියට 2016 නම් කළ යුතුය.
 
Related Posts with Thumbnails