Ads 468x60px

.

වැඩි කරදරයක්‌ නැතිව රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමය..

'ලර්නර්ස්‌' (රියෑදුරු පුහුණු පාසලක හිමිකරුවකු) කාරයකු දෙකයි පනහේ වැඩක්‌ කර තිබේ. 

ඒ රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ පරීක්‍ෂණයෙන් සමත්කරදීමට මෝටර් වාහන පරීක්‍ෂකවරයාට දීමට යෑයි කියමින් රුපියල් 5000 ක අල්ලසක්‌ ලබාගැනීමය. 

එක්‌ අතකින් මේ නසරානියා කර ඇත්තේ තමන් මෙන්ම පගා ගහන අපතයන්ට අපහාස වන අන්දමේ වැඩකි. රටට හොඳ රියෑදුරන් බිහිකරන ප්‍රායෝගික පරීක්‍ෂණය හොරට පාස්‌ කරදීමට අවම වශයෙන් රුපියල් පනස්‌දහසේ සිට ලක්‍ෂය දක්‌වා වූ පගාවක්‌ අය කරනවා වෙනුවට පන්දාහක්‌ අයකිරීම මොන හිඟන වැඩක්‌ද? 

සමහරවිට මේ පුද්ගලයා පන්දාහේ කෑලි හය හතකින් ගොඩයැමට සිතා සිටියා වන්නටද පුළුවන. අනෙක්‌ අතට මේ හාදයා කර ඇත්තේ ජාතික
අපරාධයකි. පසුගිය කාලය පුරාම රටේ අනතුරු වැඩිවීමට හේතුව දැන් සිතාගන්න පුළුවන. අසුවුණේ එකකු පමණක්‌ වූවාට රට පුරාම මේ ආකාරයේ 'ගේම්' නැතැයි කිව හැක්‌කේ කාටද?

ලර්නර්ස්‌ හිමිකරු රුපියල් පන්දහසක අල්ලසක්‌ ඉල්ලන බව අල්ලස්‌ කොමිසමට පැමිණිලි කර ඇත්තේ නාවික සෙබළකු විසිනි. පැමිණිලිකාර නාවික සෙබළාට යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රය ලබාදීම සඳහා සැකකරුගේ රියෑදුරු පුහුණු පාසලෙන් රුපියල් 16,500 ක (දහසය දහස්‌ පන්සියයක) මුදලක්‌ද අයකර තිබේ. 


ප්‍රායෝගික පරීක්‍ෂණයට (කවුරුත් දන්නා පරිදි ට්‍රයල් යැම) සූදානම් වෙද්දී සැකකරු මෝටර් රථ පරීක්‍ෂකට දීමට යෑයි තවත් රුපියල් 5000 ක මුදලක්‌ ඉල්ලා තිබේ.

මේ පැමිණිලිකරුට (නාවික සෙබළාට) හොරට බලපත්‍රය ලබාගැනීමේ වුවමනාවක්‌ තිබී නැති බව පැහැදිලිය. ඔහු පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ඒ නිසාය.

එහෙත් නාවික සෙබළකු වූ නිසාම ඒ තැනැත්තා තුළ වූ විනය, නීතිගරුක බව නැති බොහෝ මදාවියන් රියෑදුරු බලපත්‍රය ලබාගන්නට එවැනි "ෂෝට්‌කට්‌" භාවිත කරන බව නිසැකවම කිව හැකිය. 


ඇතැම් පෞද්ගලික බස්‌ රථ රියෑදුරන් හා ත්‍රිරෝද රථ රියෑදුරන් මහා මාර්ගය භාවිත කරන්නේ මෝටර් රථ ධාවන ශූර මයිකල් ෂූමාකර්ගේ රථය තමන්ට හිමිව ඇතැයි යන සිතුවිල්ලෙන් බව පෙනේ. මගමරු නාටකයට පණ පොවන එවැනි බොහෝ රියෑදුරන් නිසැකවම හොර පාරෙන් ලයිසන් ගත් අය බව කිව යුතුය.

රියෑදුරු පුහුණු පාසලකින් සමාජයට පිටත් කර එවන්නේ ඉවසීම, විනය, විමසිලිමත් බව ආදී ගුණාංගයන්ගෙන් යුත් හොඳ රියෑදුරෙකි. අල්ලස්‌ ලබාදෙමින් මෙවැනි "ලයිසන්" නිකුත් කිරීමේ ක්‍රියාවලියකදී එවැනි රියෑදුරෙකු බිහිකිරීමේ ඉඩක්‌ නැත. ප්‍රායෝගික පරීක්‍ෂණයේදී මෝටර් රථ පරීක්‍ෂකවරයා අදාළ පුද්ගලයා එවැනි ගුණාංගයන්ගෙන් යුක්‌ත වූවකුද යන්නත් සොයා බලයි.

මෙහිදී රට පුරා පිහිටි රියෑදුරු පුහුණු පාසල් ගැන මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් ගැනද කිසිවෙකුට හෝ සැකයක්‌ මතුවීම සාධාරණය. අදාළ රියෑදුරු පුහුණු පාසල් හිමිකරුවා පවසන්නේ අල්ලස අවශ්‍ය වන්නේ මෝටර් රථ පරීක්‍ෂකට දීමට බවය. 


වැඩි කරදරයක්‌ නැතිව රියෑදුරු බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමය එය බවට දීර්ඝ කාලීන "එක්‌ස්‌ පීරියන්ස්‌" ඒ පුද්ගලයාට ඇති බව පැහැදිලිය. ඒ අනුව ප්‍රායෝගික පරීක්‍ෂණය සමත්ව (සමත්වුණා යෑයි කියන) රියෑදුරන් පිළිබඳව අමුතුවෙන් කතා කරන්නට දෙයක්‌ ඉතිරිව නැත.

වාහනයට ගොඩ වූ පසු තිරිංග පද්ධතිය, ඇක්‌සලේටරය, ගියරය හා සුක්‌කානම පමණක්‌ ඉදිරියට යැමට ප්‍රමාණවත් යෑයි සිතන "රියෑදුරු මෝල්ලු" බිහිවන්නේ මේ නිසාය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට මේ සිදුවීම පමණක්‌ නොව ඊට පෙර වාර්තා වී ඇති මෙවැනි වංචනික ක්‍රියා සියල්ලම, මෝටර් රථ රියෑදුරු පුහුණු පාසල්වල පමණක්‌ නොව, දෙපාර්තමේන්තුවේම ශාඛාවල නිලධාරීන් පිළිබඳ නව විධිමත් සැලසුමක්‌ සකස්‌ කිරීමට ප්‍රමාණවත්ය. සල්ලි කොළ සෙලවෙන තැන්වලදී මේ සියලු දෙනාටම තම "රාජකාරියත්" "සේවාවත්" අමතකව යන බව අමුතුවෙන් කිව යුතු නැත.

පෙර සඳහන් කළ රියෑදුරු පුහුණු පාසලෙන් මෑතදී රියෑදුරු බලපත්‍ර ලබාගත් පුද්ගලයන් පිළිබඳව හරි හැටි විමර්ශනයක්‌ සිදුකළහොත් ඇත්ත නැත්ත ටක්‌කෙටම දැනගත හැකි බව අපි අවධාරණය කරමු. 


මෙවැනි කැත වැඩවල යෙදෙන කවරෙකු නිසා වුව අවසානයේ මහාපරිමාණයෙන් නම කැත වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌වරයාට අපි සිහිපත් කරමු.
 
Related Posts with Thumbnails