Ads 468x60px

.

තුන් වේලට බණ අහන රටේ අශිෂ්ට මිනිසුන්ගේ තරම..

පාර්ලිමේන්තුවේ සිටින සමහරු මොළේ අමාරුකාරයන් බව ස්‌ථිරවම කිව හැකි ප්‍රවෘත්තියකට මේ දිනවල මුල් තැන ලැබී තිබේ. තොරතුරට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් බරපතළ ලෙස ලිංගික හිංසනයට ලක්‌වේ. 

"Eve Teasing" යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ මහමඟදී ප්‍රසිද්ධ ස්‌ථානවලදී තරුණයන් විසින් තරුණියන්ට උසුළු විසුළු කිරීමය. එහෙත් ලිංගික වශයෙන් හිරිහැර කිරීම (Sex Abuse) යන්න ඊට වඩා බරපතළ තත්ත්වයකි. 

විශේෂත්වය වන්නේ උසුළු විසුළු කළ යුතු වයසේ සිටින තරුණ දේශපාලනඥයන් නොව හැට පිරුණු  මහලු දේශපාලනඥයන් මෙම ලිංගික හිරිහැර කිරීම්වලට පෙරමුණ ගෙන සිටීමය. 

මේ කියන "සෙක්‌සජෙනරියන්" පිරිස (හැට සහ හැට නවය අතර වයස්‌ ඇත්තන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Sexagenarian යනුවෙනි.) දේශපාලනික වශයෙන් පමණක්‌ නොව වනචරකම පැත්තෙන්ද
උත්තරීතර පාර්ලිමේන්තුවේ නම කැත කරන්නට පටන්ගෙන තිබීම කනගාටුදායකය.


ත්‍රෙනිකායික භික්‍ෂුන් වහන්සේලාගේ හැසිරීම, විනය කරුණු පිළිබඳව විධිවිධාන පනවමින් ථෙරවාදී භික්‍ෂු කතිකාවතකට පනතක්‌ ගෙන එන්නට යන්නේ මෙවැනි අශීලාචාර විනය පිරිහුණු පිරිසක්‌ සිටින තැනකින්ද යන්න අපි ප්‍රශ්න කරමු.

පාර්ලිමේන්තුවෙන් පිට මෙවැනි ගොසිප් කප්පරකට ඇසුණ ද අපට කමක්‌ නැත. පාර්ලිමේන්තුව තානායමක්‌ බවට පත්කර ගැනීම නොකළ යුත්තකි. දේශපාලනඥයන්ගේ තෙල් මන්ද මෝරන විට බොහෝ දේ උවමනා වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක්‌ නොවේ. 


එය ජාතික දේශපාලනයේ සිට ප්‍රාදේශීය දේශපාලනය දක්‌වාම දකින්නට ලැබෙන තත්ත්වයකි. කලකට ඉහතදී දකුණේ "සාරුව සුනිල්ලා" කාන්තාවන් සියයක්‌ සමඟ සායනගත වීමේ ප්‍රීතිය වෙනුවෙන් සාඡ්ජ දැමුයේ මේ හේතුව නිසාය.

මතක ඇති කාලයක මේ කියන දේශපාලනඥයන් බස්‌රථයක, දුම්රියක ගමන් කර නැති බව සහතිකය. එහෙත් මේ සියලු දෙනාම අපට සිහිපත් කරන්නේ බස්‌රථ හා දුම්රියේ ගමන් කරන "ජැක්‌සන්" වරයකුගේ භූමිකාවට තමන් තවමත් පණ පොවන බවය.

මේ නාකි විසේ තරමක්‌ බරපතළ කාරණයකි. මේ වර්ෂය ආරම්භයේම එළිදක්‌වා තිබූ වාර්තාවක සඳහන් කාරණා ගැන මේ මහල්ලන් කිසිවිටෙකත් අවධානය යොමු කර නොමැති බව අපට විශ්වාසයෙන් යුතුව කිව හැකිය. ඒ අයගේ දැනගැනීම පිණිස අප ඒ තොරතුරු නැවත සටහන් කරමු.

2015 මුල් මාස එකොළහක කාලය තුළ වයස අවුරුදු 16 ට අඩු තරුණියන් 1501 ක්‌ දූෂණයට ලක්‌ව තිබේ. සමස්‌ත ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 1854 ඉක්‌මවයි. මේ තුන් වේලට බණ අහන රටේ අශිෂ්ට මිනිසුන්ගේ තරමය. දේශපාලනඥයන් මේ වාර්තා කටපාඩම් කරගෙන සිටිය ද විසේ ඊට වඩා වැඩි බව පෙනේ. 


අප මේ සඳහන් කරන දේශපාලනඥයන් කවරකු වුවද පාර්ලිමේන්තු වෙන් පිටත තුන් වේලට සිල් ගන්නා පිරිත් පොත් අතේ තබාගෙන සිටින උදවිය නොවේ. තුන් වේලට දේවස්‌ථානය කරා ගොස්‌ පව් සමාකර ගන්නා අය ද නොවේ. 

කාමසුඛල්ලිකානු යෝගය ඇති තරමින් භුක්‌ති විඳින පිරිසය. පාර්ලි මේන්තුව තුළදීත් මෙපමණ "කුලප්පුවක්‌" වැළඳේ නම් "අප්පුලා"ගේ තරම කියන්නට අටුවා ටීකා අවශ්‍ය නැත. ඉතාම ආසන්න කාලයකදී තිරිහන් ශෘංගාරය අත්විඳින්නට ගිය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකුට වැඩ වැරදුණු ආකාරය රටේ ජනතාවට අමතක නැත. 

මේ වන විට බොහෝ දෙනෙක්‌ දේශපාලනයට එන්නට උත්සාහ කරන්නේ කම්සැප විඳීමේ කෙටිම මාර්ගය එය බවට වැරදි වැටහීමක්‌ ඇති නිසාදොයි සැක සිතේ. 

පසුගිය දිනෙක මධ්‍යම පළාත් සභාවෙන් අධ්‍යාපන හා පුහුණු සංචාරයකට සිංගප්පූරුව බලා ගිය පළාත් සභාවේ දේශපාලනඥයකු විදුලි සෝපානයකදී කාන්තාවකට ලිංගික හිංසනයක්‌ සිදුකිරීමට ගොස්‌ හත්පොළේ ගාගත් බව ද වාර්තා වී තිබිණි. 

දේශපාලනය යනු ලිංගික හිංසනයට ලයිසන් එකක්‌ යෑයි තීරණය කරන මෙවැනි අශීලාචාර දේශපාලනඥයන් රට යහපත් තැනකට ගෙන යන්නට මඟ පෙන්වන්නේ කොහොමද යන්න රටේ ජනතාවට පැහැදිලි කර දිය යුතුය.
 
Related Posts with Thumbnails