Ads 468x60px

.

රටට ආදරය කරන බොහෝ දෙනෙක්‌ වැඩිපුර සිතිය යුතු සම්බන්ධන් කී දේ...


'රාජවරෝතියම් සම්බන්ධන්' ශ්‍රී ලංකාවේ විපක්‍ෂ නායකවරයා බව අපි නැවතත් සිහිපත් කර සිටිමු. ඊට අමතරව ඔහු දෙමළ ජාතික සන්ධානයේ ද නායකයා ය. මේ කාරණා නැවත අප සිහිපත් කරන්නට යෙදුණේ සම්බන්ධන් ද හිටි හැටියේ බොහෝ දේ අපට සිහිපත් කර දෙන නිසාය. 

පසුගිය සතියේ (21 දා) ඔහු කීවේ උතුරේ අර්බුදයට එකම විසඳුම ෆෙඩරල් බවත්, ඒකීය රාජ්‍ය ප්‍රතික්‍ෂේප කරන බවත් ය. දෙමළ ජාතික සන්ධානයේ පක්‍ෂ නියෝජිත සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම පැවැති
මොහොතේ ඔහු මේ අපූරු කාරණය සිහිපත් කර තිබුණේ ඉතිහාසය ද යළිත් සිහිපත් කරමිනි. 

ඒ අනුව චෙල්වනායගම්ගේ නායකත්වය මත ඉලංගෙයි තමිල් අරසුකච්චි පිහිටුවා ගැනීමේ සිට මේ දක්‌වාම උත්සාහ කළේ උතුරේ අර්බුදයට ෆෙඩරල් විසඳුමකින් ස්‌ථිර දේශපාලන විසඳුමක්‌ ගෙන ඒම බව විපක්‍ෂ නායක සම්බන්ධන් කියා තිබිණි.

මේ ආකාරයට බළලා නොව බළලුන් බුරුතු පිටින් මල්ලෙන් එළියට පැනීම පුදුමයට පත්වීමට කාරණයක්‌ නොවේ. සම්බන්ධන්ට ෆෙඩරල් සිහිපත් වූයේ ඉතා හදිසියේ නොවේ. මේ පරණ සැලසුම ගැන අන්තවාදී දෙමළ කණ්‌ඩායම්වලට ඉඟි කිරීමකි. 


2009 රට ත්‍රස්‌තවාදයෙන් බේරා ගැනීමට පෙර දශක තුනකට ආසන්න කාලයක්‌ විවිධ වෙස්‌මුහුණු සහිතව ඊනියා නිජබිම් සංකල්පයක්‌ වෙනුවෙන් මේ 'සිහිපත් කිරීම්' විවිධ අවස්‌ථාවල ඉදිරිපත් කෙරුණු බව කිසිවෙකුටත් අමතක නැත.

කොටියා, කොටියා බවට පත් වීමට කලින්, එනම් දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සමඟ සිටි අනෙකුත් දෙමළ අන්තවාදී කණ්‌ඩායම් එල්.ටී.ටී.ඊ. වීමට කලින් සිටියේ ෆෙඩරල් ස්‌ථාවරයේ ය. අන්තවාදී දෙමළ කණ්‌ඩායම් එල්.ටී.ටී.ඊ. ලෙස රූපාන්තරණය වූ පසුව ඉල්ලුවේ වෙනම රාජ්‍යයකි. 'රාජවරෝතියම් සම්බන්ධන්' කතා කරන්නේ ද ඒ ගැනය.

විපක්‍ෂ නායකවරයා ලෙස පත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේදී ද මාධ්‍ය වලට ද ප්‍රකාශ නිකුත් කරමින් සම්බන්ධන් කීවේ ''කිසිදු ලෙසකින් රට බෙදන යෝජනාවකට එකඟ නොවන'' බවය. සම්බන්ධන් ගැන 'ටිකක්‌ විතර' දන්නා උදවියට මේ ගැන චූන් වූ නමුත් බොහෝ දෙනකුට මේ ගැන විශාල සැකයක්‌ ඇති වී තිබිණි. 


විපක්‍ෂ නායකවරයා ලෙස සම්බන්ධන් කියූ රට නොබෙදීමේ පදනම හඳුන්වා දෙන්නේ ඒකීය රටක්‌ තුළ ද ෆෙඩරල් රාජ්‍යයක්‌ තුළ ද යන්න පැහැදිලි කර දී නොතිබිණි. 2015 සැප්තැම්බර් හය වැනිදා 'දිවයින' පුවත්පතට සාකච්ඡාවක්‌ ලබාදෙමින් සම්බන්ධන් ඒ ගැන කියා තිබුණේ මෙසේය.

''රට බෙදන්නේ නැතිව එකට කටයුතු කරන්න තිබෙන හොඳම විසඳුම තමයි ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම. ලෝකයේ ෆෙඩරල් පාලනයක්‌ තිබෙන බොහෝ රටවලත් ඒක පේන්න තියෙනවා."

කාරණය තේරුම් ගැනීමට අටුවාටීකා අවශ්‍ය නැත.

කොහොමත් දෙමළ සන්ධානය මේ ආපසු ගමන් කරමින් සිටින්නේ ප්‍රභාකරන් සමඟ දීග කෑ යුගයට නොව ඊටත් එහා 1976 වඩුක්‌කොඩේයි සම්මේලනය කරාය.

හිටි හැටියේ මෙවැනි පරණ කතා මතක්‌ කරන්නට දෙමළ ජාතික සන්ධානය පටන් ගැනීම තුළ අමුතු දෙයක්‌ ඇති බව සිතීම සාධාරණය. රටේ ඒකීය භාවයට අභියෝග කරන බටහිර බලවේගත්, ඒ බටහිර බලවේගවලට උඩගෙඩි දෙන අපේ රටේම සමහර උදවියත් යම් සැලසුමකට අර අඳිමින් සිටින බවට ඉඟියක්‌ ද ඒ තුළ වේ.

අප එල්.ටී.ටී.ඊ. ය පැරදවූ බව ඇත්තකි. එහෙත් මේ 'කොටි' සංකල්පය (ප්‍රභාකරන්ගේ සංකල්පය) නැසීම තරමක්‌ අසීරු කාරණයකි. ෆෙඩරල් වලිප්පුව වැළඳුනු දෙමළ මෙන්ම සිංහල අප්පුලා එය 'අමතක' කරන්නට ඉඩ තබන්නේ නැත. සම්බන්ධන් කී දේ සම්බන්ධයෙන් රටට ආදරය කරන බොහෝ දෙනෙක්‌ වැඩිපුර සිතිය යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.
 
Related Posts with Thumbnails