Ads 468x60px

.

සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ සිට රටේ බිම් මට්‌ටමේ ජනතාව දක්‌වා...


තවත් වසංගත රෝගයක්‌ ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන බවට ආරංචි ලැබේ. මෙය බොහෝ සෙයින් අවධානයට ලක්‌විය යුතු සේම අවදානමක්‌ ගත යුතු කාරණයක්‌ බව සඳහන් කළ යුතුය. 

එබෝලා, සාර්ස්‌ මේ ආදී වශයෙන් ලොව පුරා පැතිර යන වසංගත රෝග අතර සිකා නමැති වෛරස්‌ ආසාදනය ශ්‍රී ලංකාවට ද ව්‍යාප්ත වීමේ
අවදානමක්‌ ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා තිබේ.

මේ වන විටත් එම රෝග ලක්‍ෂණ හා රෝගියා හඳුනාගෙන පරීක්‍ෂා කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ගුවන්තොටුපළේ වෛද්‍ය අංශ අවධානයෙන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරයි.

"සිකා" වසංගතය පැතිරෙනවා යෑයි කියන්නේ මදුරුවකුගෙනි. මේ මදුරු වාහකයා "ඊඩිස්‌ ඊජිප්ටයි" නමින් හැඳින්වේ. කොහොමත් මදුරුවන් ගෙන් අඩුවක්‌ නැති අපේ රටේ "සිකා" වසංගතයක්‌ව පැතිරීමේ විශාල අවදානමක්‌ තිබේ. 


වසංගත රෝග විශේෂඥයන්ගේ මතය වන්නේ මෙම මදුරු වාහකයා ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් දක්‌නට ලැබෙන නාගරික ප්‍රදේශවලත් දකුණු හා බටහිර වෙරළ ප්‍රදේශවලත් දකින්නට ලැබෙන බවය. මෙය තරමක්‌ අනතුරුදායක බව හඟවන තොරතුරක්‌ බව කිව යුතුය.

අපේ රටේ මදුරු වසංගතය තරමටම මදුරු මර්දන වැඩපිළිවෙළ ද වසංගතයක්‌ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. අදාළ බලධාරීන් මෙන් රටේ ජනතාව පවා ඒ කෙරෙහි දක්‌වන උනන්දුව ඇල්මැරුණු එකකි. 


මරණයට අතවනන ඩෙංගු කොතරම් ව්‍යාප්ත වුවද, "සිකා" වැනි වසංගත රෝග පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධාන කොතරම් අනතුරු ඇඟවුවද ඒ ගැන කිසිවෙකුත් එතරම් තැකීමක්‌ කරන බවක්‌ පෙනෙන්නට නැත. 

තත්ත්වය ඒ තරම් දරුණු නම් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම තරම්ම ප්‍රබල මෙහෙයුමක්‌ මදුරු වසංගතයට එරෙහිව දියත් කළ යුතු බව කියන්නට "තියරි ක්‌ලාස්‌" පැවැත්වීමට අවශ්‍ය නැත. එහෙත් මදුරුවන් බෝවෙන තරමටම අපේ රටේ මදුරු මර්දන වැඩසටහන්, වැඩමුළු, දේශන, (අත් පත්‍රිකා, පෝස්‌ටර් මගින් දැනුම්වත් කිරීම්) පැවැත්වෙන බව කිව යුතුය.

තත්ත්වය කොතරම් බරපතළ ද යන්න "සිකා" අනුව නොව ඩෙංගු ඇසුරින් ලැබෙන තොරතුරකින් පැහැදිලි කර ගනිමු. පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිට 2016 ජනවාරි 24 දක්‌වා වූ මාසයක කාලයක්‌ තුළ හෝමාගම පිටිපන ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 80 කට වැඩි පිරිසක්‌ සහ එක්‌ ඩෙංගු මරණයක්‌ වාර්තා වී ඇති බව අනාවරණය වේ. 


එමෙන්ම 2015 ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා වූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිදහස්‌ හාරසිය පනස්‌හත්දෙනකු වාර්තා වී තිබිණි. දැන් නැවතත් කිව යුතුව තිබේ. තවමත් ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමෙහි නිසි වැඩපිළිවෙළක්‌ නැත. 

සිකා වසංගතය ව්‍යාප්ත කිරීමෙහි විශේෂ වූ මදුරු වාහකයා වැඩි වශයෙන් සිටින්නේ ඩෙංගු බහුල ප්‍රදේශවලමය. මෙය, අප කවුරුත් වඩාත් පුළුල්ව විමර්ශනශීලීව දැකිය යුතු, සිතිය යුතු, ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්‌ නොවේද?

සිකා පිළිබඳව කාගෙ කාගෙත් අවධානය වැඩි වශයෙන් යොමුවිය යුත්තේ එම වෛරසයෙන් වැඩිම බලපෑමක්‌ සිදුවන්නේ ගැබිනි මවුවරුන්ට යෑයි වාර්තා වන නිසාය. මේ වෛරසය ගැබිනි මාතාවකගේ ශරීරයට ඇතුළු වුවහොත් ඇයගේ කුස තුළ වැඩෙන දරුවාගේ මොළය වැඩීම බාල වී හිස කුඩා වීමේ විකෘතිතාව ඇතිවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. වෙනත් රටවල (සිකා වසංගතය පැතිරෙන රටවල) වෙසෙන ජනතාවට සෞඛ්‍ය අංශ මගින් ගැබ් ගැනීම් පමා කරන්නට යෑයි උපදෙස්‌ ලබා දී ඇති බව ද වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය කියන පරිදි ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර සිකා මෙරටට ඇතුළුවීම මර්දනය කරන්නට පියවර ගෙන ඇත්නම් එය ප්‍රශංසාත්මක පියවරක්‌ ලෙස අගයමු. එය වඩාත් පුළුල් ජාතික වැඩසටහනක්‌ ලෙස දියත් විය යුතු බව ද සිහිපත් කරමු. 


ඉදිරියේදී නිරිතදිග මෝසම් වැස්‌ස ආරම්භ වීමට නියමිතය. ඊට පෙර මේ ජාතික වැඩසටහනේම දිගුවක්‌ ලෙස විධිමත් මදුරු මර්දන වැඩපිළි වෙළක්‌ ද දියත් කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ. මේ තොරතුර මදුරු දඟර, දියර, ආලේපන නිෂ්පාදකයන්ට පමණක්‌ ශුභාරංචියක්‌ වී රටේ ජනතාවට කඳුළු කතාවක්‌ වීමට පෙර අවශ්‍ය පියවර ගත යුතුය. 

සෞඛ්‍ය අංශ බලධාරීන්ගේ සිට රටේ බිම් මට්‌ටමේ ජනතාව දක්‌වා වූ සහභාගිත්ව මෙහෙවරක්‌ සිකා වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය බව යළිත් කියමු.
 
Related Posts with Thumbnails