Ads 468x60px

.

පොලිස්‌ කතා නිසාම පොලිෂ් වූ "පොලිස්‌" කතාවක්‌..


යළිත් "පොලිස්‌" කතාවක්‌ ලිවීමට සිදුව තිබේ. 2015 පොලිස්‌ කතා නිසාම පොලිෂ් වූ වසරකි. දැන් මේ වර්ෂයටද පොලිසිය වැඩ අල්ලා තිබේ. හැම සිදුවීමකදීම මෙන් මෙම සිද්ධියේදීද පාර්ශ්ව දෙකක්‌ "නිවැරැදි" යෑයි කියන කරුණු ඉදිරිපත් කරමින් සිටිති.

මේ වන විට කවුරුත් දන්නා පරිදි අප මේ කතා කරන්නේ "ඇඹිලිපිටිය" සිදුවීම ගැනය. ගමේ පිරිස සුපුරුදු ආකාරයට පොලිසියට චෝදනා කරන

අතර, පොලිසිය තවත් පිරිසකට චෝදනා කරති. කෙසේ වුවද සිදුවීමෙන් එක්‌ පුද්ගලයකුගේ දිවි අහිමිව තිබේ.

අදාළ නිවසේ කොටහළු මංගල්‍යයක්‌ වෙනුවෙන් උත්සවයක්‌ තිබී ඇත. මධ්‍යම රාත්‍රිය වනතෙක්‌ පැවැති එම උත්සවයේ ශබ්ද කරදරකාරී යෑයි කියමින් පොලිස්‌ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුම් කිහිපයක්‌ම ලැබී තිබේ. පොලිස්‌ නිලධාරීහු එතැනට යන්නේ ඒ ගැන සොයා බලන්නටය. 


නිවසේ උත්සවයට සහභාගි වී සිටි පිරිස සහ පොලිසිය අතර ගැටුම හටගන්නේ එවිටය. බරපතළ සිද්ධියක්‌ දක්‌වා දිවෙන කතාවේ සාරාංශය එබඳුය. දැන් අදාළ නිවසේ හුන් පිරිස කියන්නේ පොලිසිය පැමිණ "අරක්‌කු" ඉල්ලූ බවයි. 

එය නොදුන් තැන උත්සවයට සහභාගි වී සිටි පිරිසට පහරදුන් බවත් ඔවුහු පවසන්නාහ. පොලිසිය කියන්නේ සාදය අනෙක්‌ අයට අවහිරයක්‌ නොවන සේ කරගෙන යන ලෙස කී විට පිරිසක්‌ එක්‌ව තම පිරිසට ප්‍රහාරයක්‌ එල්ල කළ බවයි.

දැන් අපට ප්‍රශ්නයක්‌ තිබේ. මේ ගැටුම ඇතිවන්නේ "පැළ ඉනි වැටට" නොවේ. "නීතිය හා සාමය" රැකීමට ගොස්‌ය. මේ පොලිස්‌ විරෝධය ඇයි? පොලිසිය අරක්‌කු ඉල්ලූ බව අදාළ නිවසේ අය කීවද, පොලිසිය ඒ තරමටම "මෝඩ" විය හැකි යෑයි සිතිය නොහැක. 


අරක්‌කු වුවමනා වී තිබේ නම් එය සපයා ගැනීමේ ඕනෑ තරම් ක්‍රම තිබෙන බව පොලිසිය නොව අරක්‌කු සමග සමීප සබඳතා ඇති ඕනෑම අයෙකු දනියි. සාදය තරමක්‌ නරක අතට යන බව පොලිසියට දැනුම් දී ඇත්තේ අහළ පහළ උදවියයි. 

හදිසි ඇමතුම් ඒකකය ඒ බව අදාළ පොලිස්‌ ස්‌ථානයට දැනුම් දී තිබේ. ඒ නිසාම පොලිසිය පැත්තෙන්ද කියන්නට යමක්‌ ඇති බව පෙනේ. කෙසේ හෝ පොලිසියට පහරදීම, පොලිසියට එරෙහිව විරෝධය පළකිරීම, පොලිස්‌ නිලධාරීන් මරණයට පත් කිරීම වැනි සිදුවීම් රැසක්‌ පසුගිය කාලය පුරාම වාර්තා වූ බව අමතක කළ යුතු නැත. ජනතාව නීතිය අතට ගැනීමේ නරකම ප්‍රවණතාවත් ඒ තුළ දක්‌නට ලැබේ.

මෙවැනි බරපතළ තත්ත්වයක්‌ ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ පොලිසිය පිළිබඳව ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳ වැටීම බව පෙනේ. 


ඇඹිලිපිටිය සිද්ධියේ වරද කා අත වුවද, මුළු නගරයක්‌ කළු කොඩි ඔසවමින් ගමනාගමනය නවතා දමමින් පාරට බසින්නේ මේ "පොලිස්‌ විරෝධය" නිසාය. පොලිස්‌ කාකි සූට්‌ එක දුටුවිට, වරදක්‌ නොකළ අයෙකුට වුව සුළු දිය පහවන යුගයක්‌ තිබූ බව අමතක කළ යුතු නැත. 

පොලිසිය යෑයි රැවටී පියුම් මාමාට බයේ දුවගිය අය ගැන කතා ඕනෑතරම් තිබෙන්නේ ඒ නිසාය. එහෙත් වර්තමානය වන විට පොලිසියට එරෙහිව "අයුතු ජනරාශිය" පොලිසියට කුදලාගෙන ගිය අයෙකුට "හිසරදයක්‌" හැදුනද "දරුණු ලෙස පහරදී ඇතැයි" කියන තරමට තත්ත්වය නරක්‌ වන්නේ ඒ නිසාය. 

(වර්තමානයේ ශ්‍රී ලංකා පොලිසිය ඉතාම හොඳ තත්ත්වයක සිටින බව ඉන් අදහස්‌ වන්නේ නැත.) වැඩ වරද්දාගෙන සිටින්නේ පොලිසියම බව අපේ විශ්වාසයයි.

"අපට පෙනෙන්නේ පොලිසියේ" වැරදිමයි යනුවෙන් වැරදි වැටහීමක්‌ ඇති කරගත යුතු නැත. ශ්‍රී ලංකා පොලිසිය විශිෂ්ටත්වයට පත්කළ සියලුම දෙනාට අපිදු ආචාර කරමු. ප්‍රශ්නය වන්නේ මේ විශ්වාසය බිඳ වැටීම නතර වන්නේ අතිශය බරපතළ තැනකින් වීමය. 


කාරණය බරපතළ, නරක එකක්‌ වූ පසු විශේෂ කාර්ය බළකාය ගෙන්වීම හෝ පාරට බසින පොලිස්‌ නිලධාරියාට ගිනි අවියක්‌ ලබාදීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. උත්සව අවස්‌ථාවක නොව ඕනෑම කලහකාරී මොහොතක එතැනට පැමිණෙන පොලිස්‌ නිලධාරියා කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැඟෙන ආකාරයේ තත්ත්වයක්‌ නිර්මාණය විය යුතුය. කෙටියෙන් කිවහොත් පොලිසිය "පොලිෂ්" විය යුතුය.
 
Related Posts with Thumbnails