Ads 468x60px

.

තොරතුරු පළ කිරීමේදී අප විසින්ම හික්‌මීමක්‌ ඇති කර යුතු බව...


රටේ අපරාධ වර්ධනයක්‌ දක්‌නට ලැබේ. පසුගිය කාලය පුරාම පුවත්පත් වාර්තා මෙන්ම පොලිස්‌ සංඛ්‍යාලේඛන පිරික්‌සා බලන විට ද එය නියත
වශයෙන් ම ඇත්තක්‌ බව සොයාගත හැකි ය. 

මේ වාර්තා අතර දරුවන් සම්බන්ධයෙන් වන වාර්තා තරමක්‌ බරපතළ තත්ත්වයක්‌ පෙන්නුම් කරන බව කිව යුතු ය. ළමා ඝාතන, අඩන් තේට්‌ටම් කිරීම්, ලිංගික අපයෝජන, ළමා හිංසනයන් බහුලව දක්‌නට ලැබේ.

ඕනෑම කෙනෙකු තුළ දැඩි කම්පනයට බඳුන්වන එවැනි බොහෝමයක්‌ සිදුවීම් ප්‍රවෘත්ති හැටියට ජනමාධ්‍යයට පැමිණි විට තවදුරටත් එය 'රසකර' පාඨකයාට ලබා දීමේ ප්‍රවනතාවක්‌ ද දක්‌නට ලැබේ. 


පුවත්පතක මුල් පිටුවේ එවැනි ප්‍රවෘත්තියක්‌ පළවිණි නම් බොහෝ දෙනකුට ඉතිරි ප්‍රවෘත්ති නොකියවාම ඉවත දමන්නට හිතෙන තත්ත්වයක්‌ නිර්මාණය වේ. ලොව පිළිගත් මාධ්‍ය ආචාරධර්ම පද්ධති වලට අනුව එවැනි පුවතක්‌ පළ කිරීමේදී මාධ්‍ය බොහෝ සෙයින් විමසිලිමත් විය යුතු ය. අප විශ්වාස කරන්නේ ඒ සඳහා මාධ්‍ය විසින් ම ස්‌වයං වාරණයක්‌ පනවා ගැනීම සුදුසු බව ය.

කුඩා දරුවකු අතවරයකට, අපයෝජනයකට ලක්‌වීමේ සිදුවීමක්‌ උදාහරණයකට ගන්න. ඒ දරුවා මුහුණ දුන් සිදුවීම පිළිබඳව නිතර නිතර මාධ්‍යයන් හි ප්‍රචාරය වන විට සිදුවන්නේ නැවත නැවතත් ඒ දරුවා අපයෝජනයට ලක්‌වීමයි. 


සමාජය ඉදිරියේ ඒ දරුවා නිරාවරණය වීම තරම් තවත් ෙ€දවාචකයක්‌ නැත. බොහෝ විට ඒ ආකාරයෙන් නොසැලකිලිමත් ලෙස සිදුවීම වාර්තා කිරීම නිසාම සමාජයට වැරදි ආකාරයේ පණිවුඩයක්‌ සංජානනය වීමේ ඉඩකඩ ද වැඩිය. විශේෂයෙන් එවැනි සිදුවීම් දරුවන් කෙරෙහි ඇති කරන්නේ නරක බලපෑමක්‌ විය හැකි ය.

පසුගිය දිනවල පළ වූ පුවත්පත් වාර්තා කිහිපයක්‌ සැලකිල්ලට ගෙන බලමු. 'අධම තාත්තා පුංචි පුතුට පයින් ගසා බෙල්ල මිරිකා මරලා'.... 


'බිරිඳට හොර රහසේ දියණිය අඹුකමට තියාගත් තාත්තා අත්අඩංගුවට'.... 'බාල වයස්‌කාර දියණිය ගණිකා වෘත්තියේ යෙදවූ මව අත්අඩංගුවට'...... 'දරුවන් දෙදෙනෙකු දිය ඇල්ලකින් පහළට දමන්ට ගිය තාත්තා'...... 'අනියම් ප්‍රේමය නිසා දරුවන් මුහුදට තල්ලු කළ තාත්තා අත්අඩංගුවට'

මේ පුවත්පත් වාර්තා කියවන කවරෙකු තුළ වුවද එවැනි අශිෂ්ට මවුපියන් කෙරෙහි පිළිකුලක්‌ ජනිත වේ. එහෙත් මෙවැනි ප්‍රවෘත්තියක්‌ දකින දරුවෙකු කෙරෙහි ඇතිවන්නේ තමා අනාරක්‍ෂිත යෑයි හැඟීමකි. 


එවැනි දරුවෙකු සමාජය ගැන පමණක්‌ නොව සිය මව පියා කෙරෙහි වුව අනියත බියක්‌ ඇති කර ගැනීමේ ඉඩකඩ වැඩිය. ආන්දෝලනයට තුඩු දුන් කොටදෙනියාව දැරියගේ ඝාතනයෙන් පසු ඇයගේ පියා කෙරෙහි ද සැක සහිතව බලන්නට බොහෝ දෙනෙක්‌ පෙළඹුණාහ. 

ජනමාධ්‍ය තවත් අඩුවැඩිය එකතු කරමින් එය 'ඇත්තක්‌' යෑයි ඒත්තු ගන්වන ආකාරයෙන් කටයුතු කළහ. එවැනි අවස්‌ථාවක බොහෝ දරුවන්ට සිය පියවරුන් කෙරෙහි අනවශ්‍ය බියක්‌ ඇති වීම වැළැක්‌විය නොහැක. 

දරුවන් දෙදෙනෙකු මුහුදට තල්ලු කළ පියා පිළිබඳ සිදුවීම විද්යුත් මාධ්‍ය මගින් නිතර නිතර පෙන් වූ පසු පියා සමඟ මුහුදු වෙරළට යැමට බිය වූ දරුවන් ද සිටි බවට තොරතුරු ලැබිණි.

බොහෝ සමාජ විද්‍යාඥයන් පොදුවේ එකඟ වන කාරණයක්‌ තිබේ. ඒ දරුවන් අනාගත සමාජයට අනුයුක්‌ත කිරීමේ ක්‍රියාවලියේදී (SOCIALIZATION PROCESS) මවුපිය නෑ හිතමිතුරන් පාසල, සම වයස්‌ කාණ්‌ඩයන් මෙන්ම ජනමාධ්‍යය ද ප්‍රමුඛ මෙහෙවරක්‌ ඉටු කරන බවය. 


ප්‍රචණ්‌ඩකාරී හා ආක්‍රමණශීලී වාර්තා නිතර නිතර ඇස ගැටෙන දරුවන් තුළ බරපතළ මානසික වියවුලක්‌ ඇති විය හැකි බව ඇමරිකාවේ ජාතික මනෝ සෞඛ්‍ය ආයතනය (THE NATIONAL INSTITUTE OF MENTAL HEALTH) සඳහන් කර තිබේ. 

එවැනි දරුවන් අනෙක්‌ දරුවන්ගේ දුක වේදනාව පිළිබඳව කිසිදු හැඟීමක්‌ හෝ අවබෝධයක්‌ නොමැතිව කටයුතු කිරීමට පෙළඹේ. බරපතළම තත්ත්වය වන්නේ දරුවන්ට තමා ජීවත්වන සමාජය පිළිබඳව බරපතළ භීතිකාවක්‌ මතුවීමට ඉඩ තිබීමය. 

තමන්ට සමාජයෙන් ඕනෑම මොහොතක හෝ දරුණු විපතක්‌ පැමිණීමට ඉඩ ඇතැයි එවැනි දරුවන්ට සිතීම වැළැක්‌විය නොහැක.

රටක අනාගතය යහපත් තැනක්‌ බවට පත් කිරීමට ඉදිරි පරපුරක්‌ සූදානම් කරන විට එය බරපතළ ගැටලුවක්‌ බවට පත් වීම වැළැක්‌විය නොහැක.


ඒ නිසාම එවැනි තොරතුරු පළ කිරීමේදී අප විසින්ම හික්‌මීමක්‌ ඇති කර ගැනීම, ස්‌වයං වාරණයක්‌ පනවා ගැනීම වඩාත් උචිතය. එවැනි ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ, රටේ ඉදිරි පරපුර ගැනත් රට ගැනත් ප්‍රමුඛවම සිතන නිසා ය.
 
Related Posts with Thumbnails