Ads 468x60px

.

පාරිභෝගික අපිම ඒ බර දරා සිටිමු...


බඩු මිල පිළිබඳව නැවත මැසිවිලි නැගේ. අයවැයෙන් පසු සහන ලැබේ යෑයි සිතූ බොහෝ දෙනෙක්‌ දැන් අසහනයෙනි. පාලන මිල යනු වෙළෙන්දන් අතර කිසිදු පාලනයක්‌ නැති වචනයක්‌ බවට පත්ව තිබේ. 

මේ වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය තුළ සහල්වල පටන් සීනි, ටින්මාළු, පරිප්පු, හාල්මැස්‌සන් සඳහා පාලන මිලක්‌ නියම කරන බව
කීවද එම පාලන මිලට, ඒ කිසිදු භාණ්‌ඩයක්‌ සොයාගැනීමට අදාළ "මිල පාලනය" ගෙන ආ අයම පැමිණිය යුතු බව ජනතාවගේ විශ්වාසයයි. 

බත් කෑම යනු සුපිරි කෑමක්‌ වන තරමටම මිල ඉහළ ගොසිනි. ප්‍රමිතියෙන් යුතු සහල් කිලෝවක අඩු මිල යනු පොත් සාප්පුවක සුරංගනා කතා පොත් රාක්‌කයෙන් තෝරාගත හැකි කතාවක්‌ බවට පත්ව තිබේ.

පසුගිය අයවැය යෝජනා ක්‍රියාත්මකවීම ආරම්භයත් සමඟම මේ තත්ත්වය වඩාත් ප්‍රබල ලෙස ජනතාවට දැනෙන්නට පටන්ගෙන ඇති බව කියෑවේ. අපේ රටේ නිෂ්පාදනය නොකරන වෙනත් රටවලින් ආනයනය කරනු ලබන බොහෝ පාරිභෝගික භාණ්‌ඩ සඳහා පාලන මිලක්‌ ඇති කිරීම එතරම් ප්‍රායෝගික කාරණයක්‌ නොවේ. 


ලෝක වෙළෙඳපොළේ මිල නියම වන්නේ ඉල්ලුම සැපයුම අනුවය. එම න්‍යාය අතික්‍රමණය කරමින් අපේ ක්‍රමයට මිල පාලනයක්‌ ඇති කළ විට නැති අර්බුද මතුවීම කිසි විටෙකත් වැළැක්‌විය නොහැක. 

සිල්ලර වෙළෙන්දා කියන්නේ පනවා ඇති පාලන මිලට බඩු නිකුත් කිරීම කළ නොහැකි කාරණයක්‌ බවය. තොග වෙළෙඳුන් අදාළ භාණ්‌ඩ සඳහා මිල අඩු කිරීමක්‌ කර නැති නිසා එය තරමක්‌ අසීරු කාරණයක්‌ බව ඔවුහු පවසා සිටිති.

සීනි සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇත්තේ එවැනි ගැටලුකාරී තත්ත්වයකි. සීනි කිලෝවකට රජය රුපියල් තිහක බද්දක්‌ අයකරයි. 


ලෝක වෙළෙඳපොළේ හා අනෙකුත් වියදම් එකතු කර සීනි කිලෝවක්‌ ආනයනය කිරීම සඳහා රුපියල් අනූපහක මුදලක්‌ වැය වේ. 

කෙසේ හෝ මෙය තොග වෙළෙන්දාගේ ලාභය ද, ප්‍රවාහන වියදම්ද, සිල්ලර වෙළෙන්දාගේ ලාභයද, තවත් අටෝරාශියක්‌ වියදම් ද එකතු කර කිලෝව විකිණිය යුතු සිල්ලර මිල වන්නේ රු. 110 කට පමණ වන බව සිල්ලර වෙළෙන්දො කියති. 

එහෙත් ආණ්‌ඩුව සීනි කිලෝවකට නියම කර ඇති උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 87 කි. දැන් සිල්ලර වෙළෙන්දො සීනි තොග වෙළෙන්දන්ගෙන් ගැනීම අතහැර දමා තිබේ. රුපියල් අසූහතකට විකුණා කිසිවෙකුටත් ලාභයක්‌ ලැබිය නොහැක. 

වැඩි මිලට විකුණා පාරිභෝගික අධිකාරියට හසුව උසාවි ගාණේ රස්‌තියාදු වීමට ද බැරිය. පාඩු විඳින්නට බැරි නිසා ආනයනකරුවෝ සීනි ආනයනයට මැලිවෙති. ප්‍රශ්නය උග්‍ර වන විට පාරිභෝගික අධිකාරිය සිල්ලර කඩ වැටලීම නවතා දමයි. එවිට හිතූ හිතූ අන්දමට සිල්ලර වෙළෙන්දො භාණ්‌ඩවලට මිල නියම කරති.

කිරිපිටි සමාගම් ද මේ වන විට මිල වැඩි කිරීමක්‌ ගැන බලාපොරොත්තු වෙන් සිටින බව නොරහසකි. කිරිපිටි සඳහා රජය කිලෝවට රුපියල් 285 ක පමණ බද්දක්‌ මේ වන විට අයකරයි. 


මේ අර්බුදය අප ඉහතින් සඳහන් කළ බොහෝ පාරිභෝගික භාණ්‌ඩ කෙරෙහි බලපාන කාරණයක්‌ බවට පත්ව තිබේ. මේ අවුල ලිහාගැනීමට තවමත් රජයට හැකියාව ලැබී නැති බව අමුතුවෙන් කිව යුතු නැත.

ජනතාව රජයෙන් බොහෝ දේ ඉල්ලුවේ නැත. එහෙත් අයවැයෙන් ඉල්ලුවටත් වඩා වැඩි දේ දෙන්නට පොරොන්දු වූ විට ජනතාව තුළ යම් විශ්වාසයක්‌ ගොඩනැඟී තිබිණි. මේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා එම විශ්වාසය බිංදුවටම හීනවීම ආණ්‌ඩුවට ප්‍රශ්නයක්‌ නොවන බව යන හැටියට පෙනෙන කාරණයකි. 


පාන් ගෙඩියක්‌ රුපියල් 55 ක්‌ බවට පත්වන්නේ ජනතාවට කාපාං කියමිනි. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමාගම් කටයුතු කරන්නේ බදු වැඩිවීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. 

ඒ නිසාම පාන් ගෙඩියේ සිට බනිස්‌ ගෙඩිය, ආප්පය, රොටිය දක්‌වා වූ මිල ඉහළ යැම් ගැන කිසිදු වගකීමක්‌ සමාගම්වලට නැත. ඒ සඳහා වගේ වගක්‌ රජයට ද නැත. පාරිභෝගික අපිම ඒ බර දරා සිටිමු. දැන් ආණ්‌ඩුව කළ යුත්තේ විශ්වාසය ජනිත කිරීමට පෙර මේ බර අඩු කිරීමය.
 
Related Posts with Thumbnails