Ads 468x60px

.

කුඩු සමග තවත් මත්වන බොහෝ දේ රටට ගලා එන බව බොහෝ දෙනෙක්‌ තේරුම් නොගැනීම.


වත්තල මීගමුව ප්‍රදේශවලින් කොළඹට මහා පරිමාණයෙන් හෙරොයින් බෙදා හැරීම සඳහා ගෙන එන සමූහ ජාවාරම්කරුවන් හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ඊයේ වාර්තා වී තිබිණි.

එමෙන්ම මීගමුවටම සම්බන්ධ තවත් මත් කතාවක්‌ද ඊයේ වාර්තා වී තිබිණි. ඒ, සමාජ ශාලාවල රහසිගතව විකුණනු ලබන ප්‍රංශයේ සිට

රැගෙන ආ රුපියල් ලක්‍ෂ 8 1/2 ක්‌ වටිනා "මත් පෙති" තොගයක්‌ද අත්අඩංගුවට ගත් බවය.

පසුගිය කාලය පුරාම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ මෙවැනි තොරතුරු තොග පිටින් වාර්තා වූ බවද නැවත සිහිපත් කිරීමට අවශ්‍ය නැත. වෙලේ සුදාට මරණීය දණ්‌ඩනය හිමිවීමේ සිදුවීම තවමත් උත්කර්ෂයට නංවමින් සිටින අපට විටින් විට රටේ තැන් තැන්වලින් මතුවන මේ කුඩු කතන්දර ගැන එතරම් සිහියට එන්නේ නැත. 


එහෙත් රටේ ප්‍රධාන පෙළේ කුඩු ජාවාරම්කාරයන් වැඩි දෙනෙක්‌ අත්අඩංගුවට පත්ව සිටින මොහොතකත් කුඩු ජාවාරම යහමින් සිදුවීමම තත්ත්වයෙහි නරක බව පෙන්වන්නේය.

ඒ අනුව රටේ ප්‍රධාන නගර බොහොමයක "කුඩු පොට්‌" අරක්‌කු තැබෑරුම් ගාණට ඇති බව පෙනී යයි. කුඩු බිස්‌නස්‌ කරන අය අත්අඩංගුවට ගන්නා විට පෙනෙන තවත් වැදගත් කරුණක්‌ නම් එය පවුලේ ව්‍යාපාරයක්‌ හැටියට පවත්වාගෙන යන බවය. 


ප්‍රධාන නගරවල කුඩු ජාවාරමේ යෙදෙන සියලුම අයියලාට පාරිභෝගිකයන් සොයා ගැනීමේ ප්‍රශ්න මතු නොවේ. එක්‌වරම ජාවාරමේ තදයකු කොටු වූ විට ජාවාරම ටික දිනක්‌ ඇනහිටි විට මතුවන එකම ප්‍රශ්නය ඇත්තේ කුඩු සික්‌ එක හැදුණු අපතයන්ගෙන් පමණය. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වටලා බුරුතු පිටින් අත්අඩංගුවට ගන්නා විට කුඩු ජාවාරමේ යෙදෙන කාලකණ්‌ණියෝ ප්‍රධාන නගරවලින් පිට ගම් පළාත්වලට පසු බසිති. වෙලේ සුදාගේ නැගණිය "බිස්‌නස්‌" ජයටම කර තිබුණේ මිනුවන්ගොඩ ආශ්‍රිතව බව ඒ දිනවල වාර්තා වී තිබිණි. ඒ එක්‌ නිදසුනකි.

මේ "මත්" කතා දෙකම මතුවන්නේ මීගමුව කේන්ද්‍ර කර ගනිමිනි. මීගමුව නොව ලංකාවේ හතර දිග්භාගයේ කවර ගමක වුව කුඩු ජාවාරමේ යෙදෙන වුන්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ තම "කුඩු" සමාජයට යවා අතිශයවේගයෙන් පාරිභෝගිකයන් පිරිසක්‌ නිර්මාණය කර ගැනීමත් ඉක්‌මන් අලෙවියත්ය. 


කොළඹ ආශ්‍රිතව අලුත් පාරිභෝගිකයන් සෑදීමේ අවශ්‍යතාවක්‌ මතු නොවේ. දැනට කොළඹ විසිරි පැතිරී සිටින පාරිභෝගිකයෝම අලුත් පාරිභෝගිකයෝ "බෝ කිරීමේ" කටයුත්ත අපූරුවට සිදුකරති. ඉන් වාසිය සැලසෙන්නේ ජාවාරම්කරුවන්ටය.

සියලුම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඉලක්‌කය වන්නේ ගැටවර වියෙහි පාසල් දරුවන්ය. පසුගිය කාලයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළිව තිබූ කරුණු කාරණා අනුව මත්ද්‍රව්‍ය භාවිත කර අසු වූ අය අතර අවුරුදු 16 සිට 24 දක්‌වා පිරිස්‌ බහුල බවය.

විටින් විට හසුවන කුඩු තොගවලින් හෙළිවන්නේ ඒ ජාවාරමට අදාළ ගැනුම්කරුවන්ගේ පිරිස අඩුව නැති බවය. කුඩු ජාවාරම සාරෙට පැතිර යන්නේ ඊට දේශපාලනඥයන්ගේ සේම තවත් බොහෝ ඇති හැකි පිරිසකගේ "හයිය" ලැබෙන නිසා බව අමුතුවෙන් කිව යුතු නැත.

පසුගිය කාලයේ කුඩු ඇල්ලූ තරමට, කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා තරමට ගණන් හදා බැලුවොත් මේ වන විට ලංකාවේ කුඩු තබා ලී කුඩු හෝ ඉතිරිව තිබිය නොහැක. කුඩුකාරයන්ට එරෙහිව දෙන ලද තීන්දු සැලකූ විට අද වන විට කුඩුකාරයකු තබා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවා ඉතිරිව නැත. 


එය එසේ නොවන්නේ මන්දැයි අපි වගකිව යුත්තන්ගෙන් අසන්නේ ද්වේශයෙන් නොවේ. ජාත්‍යන්තරව විහිදී පැතිරී ඇති ප්‍රශ්නයක්‌ එසේ ලෙහෙසියෙන් තුරන් කිරීමට නොහැකි බව අපි තේරුම්ගෙන සිටින්නෙමු. 

එහෙත් ප්‍රශ්නය වන්නේ කුඩු සමගම තවත් "මත්වන" බොහෝ දේද රටට ගලා එන විටත් තත්ත්වය භයානක බව බොහෝ දෙනෙක්‌ තේරුම් නොගැනීමය.
 
Related Posts with Thumbnails