Ads 468x60px

.

නිරායුධ පුද්ගලයන් මරා දමන්නෝ බියගුල්ලෝ වෙති. ඔවුන් කිසිදු අයුරකින් වීරයන් වන්නේ නැත.


ඇඹිලිපිටියේ මල්වර මඟුලක ඇතිවූ ගැටුමක් අවසන් වූයේ අවමඟුලකිනි. මඟුල් උත්සවයේ 'ශබ්දය' ඉවසා ගත නොහැකිවූ අසල්වාසීන්ගෙන් 119 අංකයට ලැබුණු ඇමැතුම් නිසා රාජකාරිය කිරීමට 'පොලිසිය' යෑම ගැටුමට මුල්විය. පොලිසිය පවසන්නේ බීමත්ව සිටි පිරිස රාජකාරියට බාධා කරමින් නිලධාරීන්ට පහර දුන් බවය. 

අනෙක් පාර්ශ්වයට අනුව ගැටුමට හේතුව පොලිසිය 'අරක්කු' ඉල්ලා සිටීමය. පළමුවර 'අරක්කු සහ බයිට්' දී පිටත් කළද දෙවැනි වර පැමිණ
'අරක්කු' ඉල්ලූ විට නොදුන් නිසා පොලිසිය ප්‍රකෝපවී පුද්ගලයකුට පහර දීමෙන් ගැටුමට මුල පිරුණු බව ඔව්හු පවසති.

ඇත්ත නැත්ත කුමක්දැයි තෝරා බේරා ගත හැක්කේ මේ පිළිබඳ කෙරෙන පරීක්ෂණයෙනි. අදාළ පරීක්ෂණයට බාධා වන බැවින් ඇඹිලි පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් 21 දෙනකු මේ වන විට තාවකාලිකව මාරු කර යවා ඇත. මේ සිද්ධිය පිළිබඳව පොලිස් කොමිසම හා මානව හිමිකම් කොමිසම සිය අවධානය යොමු කර තිබේ.

පොලිසියේ 'කැරැට්ටුව' කිසිසේත් යහපත් නැත. පසුගිය වසර කිහිපය පුරාම 'පොලිසිය' හොඳක් ඇසුවේ අඩුවෙනි. 'නිවැරැදි' දේට වඩා කෙළේ වැරැදි දේය. එය පොලිසියේ වරදම නොව පොලිසිය තමන්ට වුවමනා විදියට නටවන දේශපාලනඥයන්ගේ වරදය. 


එහෙත් පොලිස් හා මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන ආයතන ගෙවුණු වසරේදී පිහිටුවා ගත හැකිවීම නිසා පොලිසියට 'නිදහසේ' වැඩ කිරීමට තිබූ බාධක ඉවත් වෙමින් පවතී.

පොලිසියට 'නිදහස' දීම යනු නිල බලය පාවිච්චි කර ජනතාව පෙළීමට ලැබෙන අවසරයක් නොවේ. අනෙක් පැත්තෙන් පොලිස් කොමිසම පිහිටු වූ පමණින් පොලිසියේ අය 'සාන්තුවරයන්' නොවන බව ඇඹිලිපිටියේ සිද්ධියෙන් පැහැදිලිය. 


පොලිසියට මේ සිද්ධියේ සම්පූර්ණ වරද පැටවීමට ඉක්මන් විය යුතු නැතත් ඇඹිලිපිටියේ ජනතාව කඩසාප්පු වසා උද්ඝෝෂණය කරමින් පෙත්සම් අස්සන් කරනු ලැබුවේ 'පොලිසිය' ගැන තඹ‍ෙදායිතුවකුදු විශ්වාසයක් නැති හෙයිනි.

සිඟිති දියණියකට පියකු, ගැබිනි බිරියකට සැමියකු අහිමි කළ මේ ගැටුමේදී ප්‍රදේශවාසීන් පොලිසියට විරුද්ධව ප්‍රකෝපකාරීව හැසිරීම පුදුමයට කාරණයක් නොවේ. ගැටුමකට මුල පිරීම පහසුය. 


එහෙත් ඉන් ඇතිවන විපාකවලට මුහුණ දීම දුෂ්කරය. මේ ගැටුම නිසා 'මිනිස් පැය' විශාල ගණනක් අපතේ ගියේය. ආරක්ෂාව තර කිරීමට වැය වුණේ රජයේ මුදල්ය.

කෙසේ වුවද 'පොලිසිය' ක්‍රියා කළ යුත්තේ ගැටුම් නිරාකරණයට මිස ගැටුම් නිර්මාණය කිරීමට නොවේ. එහෙත් පොලිසිය කිසිදිනෙක පාඩම් ඉගෙන ගන්නා පාටක් නම් නැත. දේශපාලනඥයන් සමඟ හොරා පොලිස් සෙල්ලමට ඔව්හු වඩාත් ප්‍රිය කරති.



ඇඹිලිපිටියේ පැවැති නොසන්සුන් වාතාවරණය හේතුවෙන් අනවශ්‍ය ගැටුම් ඇතිවීම වැළැක්වීමේ අරමුණ ඇතිව අධිකරණ නියෝගයක් ලබා දී තිබුණේ 'දේහය' රැගත් අවමඟුල් පෙරහර ඇඹිලිපිටිය පොලිස් ස්ථානය අසලට ගමන් කිරීම වළකාලමිනි. එම වැදගත් තීන්දුව නිසා අවමඟුල සාමකාමීව පැවැත්වීමට හැකි විය. 


එහෙත් 'රාවණා බළකාය' නම් සංවිධානයක නායක හිමිනමක් අවමඟුල් උත්සවයේදී ප්‍රකාශ කර තිබුණේ උසාවියේ වාරණ නියෝග ලබාගෙන අවමංගල්‍යයට පවා නිගාවක් කර ඇති බවත් යහපාලන ආණ්ඩුව යටතේ පොලිසිය අහිංසකයන් ඝාතනය කිරීමට තරම් නීතිය වල්වැදී වනචරභාවයට පත්වී ඇති බවත්ය.

පශ්චාත් යුද සමයේ 'ඇඹිලිපිටිය' වැනි සිද්ධිවලට පමණක් නොව ඊටත් වඩා බරපතළ සිද්ධින්වලට පොලිසියට චෝදනා එල්ල වූයේ එකක් දෙකක් නොවේ. රටේම නීතිය වල්වැදී තිබියදී 'පොලිසිය' ඇතැම් විට කටයුතු කළේ 'කැලෑ' නීතියට අනුවය. 


මෙවැනි අවමඟුල්වලදී පමණක් නොව වැඩවර්ජන, විරෝධතා පාගමන් උද්ඝෝෂණ අරබයා ද අධිකරණ නියෝග ලබාගැනීම පොලිසියේ සිරිත විය. රාවණා බළකායට මේ අතීතය 'පදාස පිටින්' අමතක වීමේ රෝගය වැලැඳී තිබෙන බව පෙනේ. නොඑසේ නම් මැරී ඉපදුනාක් මෙන් මෙසේ කතා කිරීමට නොහැකිය.

සෑම පුරවැසියකුටම 'ගෞරවාන්විත' මරණයක් හිමි විය යුතුය. එය 'ඇඹිලිපිටියේ සුමිත්'ට මෙන්ම 'කොළඹ තාජුඩීන්'ටද එක ලෙස අදාළය. මෙවැනි සාහසික ඝාතනවලට වගකිවයුත්තන්ට දඬුවම් දීම අනිවාර්ය වන්නේය. 


එහිදී තරාතිරම, වත්පොහොසත්කම් හෝ නිලතල අදාළ කර නොගත යුතුය. කුමන හේතුවක් මත වේවා නිරායුධ පුද්ගලයන් මරා දමන්නෝ බියගුල්ලෝ වෙති. ඔවුන් කිසිදු අයුරකින් වීරයන් වන්නේ නම් නැත.
 
Related Posts with Thumbnails