Ads 468x60px

.

ත්‍රස්‌තවාදීන්ට "පොදු සමාව" නොව "පොඩි සමාවක්‌" හෝ නොදෙන එක ගැන...


දේශයට හිතැති කාගෙත් හිත හැදෙන සිත් ගත් ප්‍රකාශයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කර තිබේ. පසුගියදා 'ද හින්දු' පුවත්පතට ජනාධිපතිවරයා කියා තිබුණේ රැදවුම්භාරයේ සිටින හිටපු
ත්‍රස්‌ත ක්‍රියාකාරීන් 215 කට පොදු සමාව නොදෙන බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් නොමැති බවත්ය. 

එමෙන්ම ජනාධිපතිවරයා තවත් වැදගත් දෙයක්‌ පවසා තිබිණි. ඒ, ත්‍රස්‌තවාදී මර්දන පනත අහෝසි කිරීමට පෙර එකී කරුණු අවධානයට යොමුකරන බවය. ජිනීවා යෝජනාවට අනුව යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණය ස්‌ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට කිසිදු හදිසියක්‌ නැතැයිද ජනාධිපතිවරයා පවසා තිබිණි.

"ජිනීවා යෝජනාවෙන් අපට නියෝගයක්‌ කර නෑ, අධ්‍යයනය කර අවශ්‍ය පියවර ගන්නවා" යෑයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ජිනීවා යෝජනා යනු "ආඥවක්‌", "නියෝගයක්‌" යෑයි පාරම්බාමින් සිටින ඊනියා සාම තෙල් කාරයන්ටත්, ජාත්‍යන්තරයට ගොට්‌ට අල්ලන මහත්වරුන්ටත් මේ කතාව කනේ පහරක්‌ම වන බව නිසැකය. 


මේ කතාව ජනාධිපතිවරයා කියා ඇත්තේ මෙරට මැතිවරණ වේදිකා මතදී නොවේ. වගකිවයුතු මාධ්‍යයකටය. එහෙයින්ම ඒ ප්‍රකාශයේ නිවරද්‍යතාව ගැනත් අභීත බව කෙරෙහිත් අපි තදින්ම විශ්වාසය තබමු.

ත්‍රස්‌තවාදී සැකකරුවන් යනු දේශපාලන සිරකරුවන් යෑයි වුවමනාවෙන් ඇතිකරගත් "වැරදි වැටහීමක" සිටින උදවිය බොහෝ දෙනෙක්‌ පොදු සමාව, නිදහස වැනි කතන්දර කරළියට ගෙන ආවේය. 


ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කිරීම එතරම්ම ප්‍රායෝගික නොවන කරුණක්‌ බව බොහෝ විද්වතුන්, දේශපාලනඥයන් විවිධ අවස්‌ථාවල ප්‍රකාශ කර තිබිණි. ත්‍රස්‌තවාදී සැකකරුවන් සම්බන්ධයෙන් එවැනි මතයක්‌ ප්‍රකාශ වීමට සර්ව සාධාරණ හේතු තිබිණි. ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී සැකකරුවන් යනු එල්.ටී.ටී.ඊ. කාඩරයන් මිස අන් කවරෙකුවත් නොවේ. 

එල්.ටී.ටී.ඊ. ය යනු අදටත් ශ්‍රී ලාංකීය සමාජය තුළ යම් භීතියක්‌ දනවන ත්‍රස්‌තවාදී මූලයක්‌ය. දැන් මේ නිදහස්‌ කරන්නට යෑයි කියන (එහෙත් ජනපතිවරයා එවැන්නක්‌ නොවේ යෑයි ඉඳුරාම කියන) සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ හොර අරක්‌කු පෙරූ නිසා නොවේ. 

බස්‌ රියේදී කෝච්චියේදී මාල කඩා නොවේ. ස්‌ථිර වශයෙන්ම ම්ලේච්ඡ ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යෑයි තහවුරු කරගෙන ඇති නිසාය. ත්‍රස්‌ත කල්ලියක සාමාජිකයකු ලෙස හෝ ත්‍රස්‌ත ක්‍රියාකාරකම් වලට සම්බන්ධ සැකකරුවකු නිකම්ම නිදහස්‌ කිරීමට තරම් අමනෝඥ තීරණයක්‌ ගන්නේ නම් සමාජය තුළ අර්බුදකාරී තත්ත්වයක්‌ මතුවීම වැළැක්‌විය නොහැක්‌කකි. 

එවැන්නන්ට පොදු සමාවක්‌ ලබාදීමට එරෙහිවන්නන් මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ලෙසද ජාතිවාදීන් ලෙසද හංවඩු ගැසීම කොහෙත්ම සාධාරණ නොවේ. "ත්‍රස්‌තවාදීන් 215 කට පොදු සමාවක්‌ නැතැයි" ජනාධිපතිවරයා කියන විට අපට සැනසිලිදායක සිතුවිල්ලක්‌ මතුවන්නේ එබැවිනි.

එක්‌ අතකින් ජාත්‍යන්තරයේ සියලු රටවල් අපමණ ත්‍රස්‌තවාදී බියකින් පෙලෙන විට අප ත්‍රස්‌තවාදී සැකකරුවන්ට පොදු සමාවක්‌ දීමට යැම වරක්‌ දෙවරක්‌ නොව දස දහස්‌වරක්‌ කල්පනා කළ යුතු තත්ත්වයකි. 


ප්‍රංශය, බ්‍රිතාන්‍යය, රුසියාව, ඉන්දියාව මේ ආදී වශයෙන් ලොව ප්‍රමුඛ පෙළේ ආරක්‍ෂාව ගැන උපරිම විශ්වාසය තබා සිටි රටවල් පවා අද වන විට තමන්ගේ රටේ ආරක්‍ෂාව ගැන සියයට සියයක්‌ම සතුටුවන තත්ත්වයක්‌ පෙනෙන්නට නැත. 

යකඩ මල්ලටත් හෙණ ගැහැව්වා නම්, පුළුන්මල්ල ගැන කවර කතාද? අපේ ආරක්‍ෂාව ගැන බලාගන්නට වෙන්නේ අපටමය. දැන් ත්‍රස්‌තවාදය හිසරදයක්‌ යෑයි කියන, මානව හිමිකම් ගැන නොසිතාම ත්‍රස්‌තවාදයට මුහුණ දියයුතු යෑයි කියන රටවල් ශ්‍රී ලංකාවට ත්‍රස්‌තවාදය ගැන අමුතුම පාඩම් කියාදෙන්නටත්, මානව හිමිකම් ගැන කියාදෙන්නටත් ආ බව අපට මතකය. යුරෝපයේ බොහෝ රටවලට පසුගිය කාලය පුරාම අප පැහැදිලි කළේද ත්‍රස්‌තවාදය භයානක යෑයි කියන කාරණයමය.

ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, බස්‌ බෝම්බ, බිම් බෝම්බ තබා මිනිස්‌ ඝාතන සිදුකිරීම, උතුරු නැගෙනහිර ගම්වැසියන්, ළදරුවන් පෙතිගසා ඝාතනය කිරීම, නාවික යාත්‍රා පිපිරවීම වැනි බරපතළ ම්ලේච්ඡ හා බිහිසුණු අපරාධවලට සම්බන්ධවූ ත්‍රස්‌තවාදීන්ට පොදු සමාව ලබා නොදීමට ජනාධිපතිවරයා ගත් තීරණය ගැන රටක්‌ ජාතියක්‌ වශයෙන් එකහෙළාම එකඟ වන්නෙත්, සතුටු වන්නෙත් ඒ නිසාය. ත්‍රස්‌තවාදීන්ට "පොදු සමාව" නොව "පොඩි සමාවක්‌" හෝ නොදෙන එක ගැන දැන් ජාත්‍යන්තරයද එකඟය.
 
Related Posts with Thumbnails