Ads 468x60px

.

'බෝල' පාස් කරමින් සිටින ඇමැතිවරුන්ගෙන් රටට වැඩක් නැත.


ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 26 දක්වා පහත බැස තිබේ. එහෙත් ආණ්ඩුව තෙල් මිල පහත දැමීමට පියවර ගත්තේ නැත. ඒ ගැන වැඩියෙන්ම කම්පාවට පත්වී සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයයි. මේ යහපාලනය දැයි ඔවුහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති. 

තෙල් ඇමැති පවසන්නේ මිල අඩු කිරීමේ යෝජනාව ආර්ථික කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කර ඇති බවය. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත මිල අඩුකිරීම හෝ නොකිරීම සිදුකෙරෙන බව ඉන්
පැහැදිලිය. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ඉකුත් සතියේ ප්‍රකාශ කළේ ඉදිරි කාලයේදී තෙල් මිල ඉහළ නොදමන බවට සහතිකයක් ලබා දිය හැකි බවය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඩීසල් ලීටරයකින් රුපියල් 15.50ක්ද, පෙට්රල් ලීටරයකින් රුපියල් 66.00ක්ද 'බදු' ලෙස අය කර ගනී. 


භූමිතෙල්වලින් බදු අය කිරීමක් සිදුවන්නේ නැත. ඛනිජ තෙල් සංස්ථාව වාර්ෂිකව විශාල පාඩුවක් ලබන අතර අධික ණය බරකින් පෙළෙයි. මෙවැනි 'බදු' තෙල්වලින් අය කිරීමට සිදුව ඇත්තේ එනිසාය. 

ලෝක වෙළෙඳපොළේ 'තෙල්' මිල ශීඝ්‍රයෙන් පහළ බසිමින් තිබුණද, අඩු කරනවා නම් අඩු කළ හැක්කේ ඩීසල් මිල පමණක් බවත්, පෙට්රල් මිල අඩු කළ හැක්කේ 'බදු' අඩු කිරීමෙන් පමණක් බවත් දැනගන්නට ඇත.

මීට අවුරුදු තුනකට පමණ පෙර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අහස උසට නැග්ගේය. තෙල් බැරලයක මිල ඩොලර් 100ද ඉක්මවා ගිය අතර ඩොලර් 200 දක්වා එය ගමන් කරනු ඇතැයි අනාවැකි පළ කෙරුණි.



මෙරට පාරිභෝගික ජනතාවට තෙල් මිල දරාගත නොහැකි වූ අතර, කර කියා ගත නොහැකි වූ ආණ්ඩුව 'හෙජිං' නමින් ගිවිසුමක් අස්සන් කෙළේ ඉහළ පහළ යන තෙල් මිලේ ලාභ - පාඩු තුලනය කිරීම සඳහාය.

'කොරේ පිටට මරේ' කීවා සේ හෙජිං ගිවිසුම ලංකාවට අතිශයින් අවාසිදායක ලෙස බලපෑවේය. අවසානයේ සිදුවූයේ ගිවිසුමේ අනෙක් පාර්ශ්වය වූ විදේශීය පෞද්ගලික බැංකුවකට දෙගුණයකින් ලාභ ඉපැයීමට ඉඩ සැලැසීමත් පැවැරුණු නඩුවේ නීතිඥ ගාස්තු පවා රජයට ගෙවීමට සිදුවීමත්ය. 


'තෙල් මිල' ප්‍රශ්නය ශේ්‍රෂ්ඨාධිකරණය දක්වා ඇදී ගියේය. උපරිම මිලක් අධිකරණය නියම කළද 'රාජපක්ෂ ආණ්ඩුව' විසින් එය නොසලකා හරිනු ලැබීය. තෙල් මිල දිගින් දිගටම ඉහළ යෑම, බස් ගාස්තුවලට පමණක් නොව සියලු දෙයට බලපෑම නිසා පාරිභෝගික ජනතාව මහත් අසීරුතාවට පත්වූහ.

2015 ජනවාරියේ සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පෙබරවාරි මාසයේ තෙල් මිල සැලකිය යුතු ගණනකින් පහළ දැමීමට නව ආණ්ඩුව කටයුතු කළේය. එය මහත් සහනයක් වූ අතර බස් ගාස්තුද අඩු කෙරිණි. 


කෙසේ වුවද නව ආණ්ඩුවේ අය - වැය ලේඛනයෙන් තෙල් මිල අඩුවේ යැයි බලාපොරොත්තු වුවද එය සිදුවූයේ නැත.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන රාජ්‍ය ආයතන අතර මුල්තැනක සිටින්නේ කලෙක සිටය. ඒ නිසා ආණ්ඩුවේ අරමුණ තෙල් මිල පහළ යෑමේ 'වාසිය' රජයේ අලාභය අවම කර ගැනීමට යොදා ගැනීම විය හැකිය. එහෙත් ඉන් පාරිභෝගිකයාට ඍජුව වාසියක් අත්වන්නේ නැත. එය ඔවුන්ට කරන අසාධාරණයකි.

තෙල් සංස්ථාවේ සිදුවන දූෂණ, වංචා අවම කර ගැනීමටත්, හෙජිං ගිවිසුම, බාල තෙල් ආනයනය වැනි දූෂිත ගනුදෙනුවලට වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත් 'ආණ්ඩුව' පියවර ගත යුතුය. 


එහෙත් තවමත් දූෂිතයන්ට දඬුවම් දීම සිදුවූයේ නැත. ඒ ෆයිල් වසා දමා ඇත්දැයි නොදනිමු. දූෂිතයෝ, වංචනිකයෝ තවමත් තනතුරුවල වැජඹෙති. ඉදිරියේදී වංචාවට දූෂණයට පාර කැපෙන්නේ ඔවුන් අතිනි. දඬුවම් නොදුන්වට සෙස්සන්ගේ ආදර්ශය වන්නේ ඔවුන්ය.

ආණ්ඩුව පවසන්නේ පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාවට 'විශේෂ තෙල් අරමුදලක්' පිහිටුවන බවය. කුමක් කළත් එය වගකීමෙන් කළ යුතුය. අවශ්‍ය වන්නේ පාරිභෝගික ජනතාවට 'බරක්' නොවන ලෙස තෙල් මිල පවත්වා ගෙනයෑමය; 


තෙල් සංස්ථාව දූෂණයෙන් මුදාගෙන කාර්යක්ෂම ආයතනයක් කිරීමය. හෙංචයියන්ට, පරාජිතයන්ට ඉහළ පුටු භාරදීමෙන් එය කළ නොහැකිය. ඇමැතිවරයා පවා අවංක දක්ෂයකු විය යුතුය. ප්‍රශ්නය වන්නේ මන්ත්‍රි වරුන් අතරින් අවංක දක්ෂයකු සොයා ගැනීමය.

ප්‍රශ්නයක් ඇති වූ විට 'බෝල' පාස් කරමින් සිටින ඇමැතිවරුන්ගෙන් රටට වැඩක් නැත. අවාසනාව වන්නේ බොහෝ ඇමැතිවරුන් එවැන්නන් වීමය.
 
Related Posts with Thumbnails