Ads 468x60px

.

මහජන මුදල් සමඟ ක්‍රීඩා කිරීමට යැම එතරම් සුබ දායක නොවන බව සහ කොතලාවල කතාවස්‌තුව.


සිසිලියා කොතලාවල (කවුරුත් දන්නා පරිදි සිසිලි කොතලාවල) නිදහස්‌ දිනය දා (පෙබරවාරි 04 වැනිදා) අත්අඩංගුවට පත්වූවාය. ඇය අත්අඩංගු වට ගනු ලැබුයේ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසිනි. 

ඉන් පසුව ඇය රහස්‌ පොලිස්‌ ඒකකයට බාරකරන ලදුව, රෝහල්ගත වීමට ඉඩකඩ සලසා තිබිණි. ඒ රෝගාතුර තත්ත්වයක්‌ හේතුවෙනි. පසුගිය සතිය අවසානය වන විට ඇය අත්අඩංගුවට පත්වීමේ ප්‍රවෘත්තිය සෑම මාධ්‍යයකම ප්‍රමුඛ පුවතක්‌ බවට පත්වී තිබිණි. 

සිසිලියා කොතලාවල යනු සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳය. රටේ විශාල ආන්දොලනයක්‌ ඇති කිරීමට සමත් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාර්ඩ් සමාගමේ ප්‍රශ්නය නිසා ඇය එතෙක්‌
කලක්‌ සිටියේ විදෙස්‌ගතවය. 

විදෙස්‌ගතව ජීවත් වූවා යෑයි කියනවාටත් වඩා බොහෝ සෙයින් සාධාරණ යෙදුම වන්නේ ඇය රටින් පලාගොස්‌ සැඟව සිටියාය කීමය. 

2008 වර්ෂයේදී රටින් පිටව ගිය සිසිලි කොතලාවල එංගලන්තයේ ජීවත් වූවා යෑයි කී අතර, ඇය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ ද වරෙන්තු නිකුත් කර තිබිණි.

සිසිලි කොතලාවල මහත්මිය රටින් පලාගියේ ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාර්ඩ් සමාගමේ මූල්‍ය අර්බුද ඇතිවී එහි තැන්පත්කරුවන් තම තැන්පතු මුදල් ඉල්ලා සිටීම නිසා මතු වූ අර්බුද හමුවේය. කොතලාවල මහත්මිය, ලලිත් කොතලාවල මහතාගේ බිරිඳ මෙන්ම ගෝල්ඩන් කී ක්‍රෙඩිටි කාඩ් සමාගමේ අධ්‍යක්‍ෂවරියක්‌ ද වූවාය.

අත්අඩංගුවට ගැනීම් ගැන රටේ අමුතු කතා කියෑවෙන කාලපරිච්ඡේදයක සිසිලි කොතලාවල අත්අඩංගුවට ගැනීම ගැන එතරම් ප්‍රබල ලෙස කතාබහට ලක්‌වූයේ නැත. ඇත්ත වශයෙන්ම, ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ කාඩ් සමාගම බිඳවැටීම යනු රටේ මූල්‍ය ක්‍ෂේත්‍රයේ යම් පිපිරවීමක්‌ ඇති කිරීමට සමත් වූ සිදුවීමකි. 


සිසිලි කොතලාවල මහත්මිය අත්අඩංගුවට ගැනීම සුළු කොට තැකිය නොහැකි කාරණයක්‌ වන්නේ ඒ නිසාය. ගෝල්ඩන් කී සිදුවීමේදී තැන්පත්කරුවන් නවදහසකට පමණ දැඩි දුෂ්කරතාවනට මුහුණපෑමට සිදු වූ අතර ඔවුනට රුපියල් කෝටි 700 කට ආසන්න මුදලක්‌ අහිමි වී ඇති බව හෙළි වී තිබිණි. 

තවමත් මේ ගැන අධිකරණයේ නඩුවක්‌ විභාග වේ. වත්මන් රජය එම සමාගමේ තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල් ගෙවීමට මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් විකල්ප වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන ලදී.

ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කළ සියලු දෙනා ඇති හැකි අය නොවේ. දුක්‌ මහන්සියෙන් හරි හම්බකරගත්, කීයක්‌ හෝ ඉතිරි කරගත් බොහෝ පිරිසක්‌ ඒ අතර වූහ. ඔවුන් ගෝල්ඩන් කී ක්‍රෙඩිට්‌ සමාගමේත්, තවත් මූල්‍ය සමාගම්වලත් සිය මුදල් තැන්පත් කරන්නේ ලැබෙන පොලියෙන් සුදි කිරීමට නොවේ. 


මුදල් තැන්පත් කළ බොහෝ දෙනෙක්‌ තමන්ගේ අර්ථසාධක අරමුදල එම සමාගමේ තැන්පත් කර තිබිණි. තවත් පිරිසක්‌ වටිනා ඉඩම් විකුණා ඒ මුදල තැන්පත් කර තිබුණේ ලැබෙන පොලී මුදලින් එදිනෙදා වැඩ කටයුතු කරගැනීමටය. 

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්, විශ්‍රාම ගිය පසු එදිනෙදා විය හියදම් වෙනුවෙන්, බේත් සහ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් එම තැන්පත් මුදල වෙනුවෙන් ලැබුණු පොලී මුදල වියදම් කළ බොහෝ පිරිසක්‌ වූහ. 

ඒ බොහෝ දෙනෙක්‌ පසුකාලීනව අපාදුක්‌ විඳි බැව් නොදන්නා කිසිවෙකුත් නැත. එය ජූලි වැඩ වර්ජකයන්ගේ ප්‍රශ්නය තරම්ම සමාජයේ බොහෝ දෙනාගේ හදවතට දැනුණු දෙයක්‌ බවට පත්ව තිබිණි.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට විශාල අගතියක්‌ සිදු වූවා සේම, සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ බැංකු සහ විවිධ සමාගම්වල සේවය කළ දහස්‌ ගණනකට ද රැකියා අහිමි වීමේ තත්ත්වයක්‌ උද්ගත වූ බව මේ සිදුවීමේ අගමුල දන්නා උදවිය දනිති. 


එවකට ආණ්‌ඩුව වහා මැදිහත් වී ඒ කඩාවැටෙන ව්‍යාපාරවලට මුක්‌කු ගසා පවත්වාගෙන නොයන්නට මේ කතාවේ "සාමාජික" පිරිස තවත් බොහෝ සෙයින් වැඩිවන්නට තිබිණි. 

කෙසේ හෝ සිසිලි කොතලාවල අත්අඩංගුවට ගැනීමත් සමඟම මේ කතාවට අලුත් පණක්‌ ලැබෙන බව නිසැකය. බොහෝ කාලයක්‌ තිස්‌සේ මහමඟ කට්‌ට කමින්, මාධ්‍යයට තොරතුරු ලබාදෙමින් දිගු අරගලයක නිරත වන ගෝල්ඩන් කී තැන්පත්කරුවන් බොහෝ පිරිසකට සිසිලි කොතලාවලගේ ආගමනය (අත්අඩංගුවට ගැනීම) බලාපොරොත්තුවක්‌ ඇති කිරීමට සමත් වී ඇති බව පෙනේ.

මහජන මුදල් සමඟ "ක්‍රීඩා" කිරීමට යැම එතරම් සුබදායක නොවන බව කොතලාවල කතාවස්‌තුව අපට නැවත සිහිපත් කර දෙන්නේය.
 
Related Posts with Thumbnails