Ads 468x60px

.

තිරිසන් කමකට, පාපයකට ඇති "බිය" සමාජය තුළ නැවත වගා කල යුතු බව...


පහළොස්‌ හැවිරිදි වියෙහි පසුවන පිරිමි දරුවන් දෙදෙනකුට මත්පැන් පොවා අපයෝජනයට ලක්‌කරන ලද නැටුම් ගුරුවරයකු යෑයි කියන අධමයකු අත්අඩංගුවට ගෙන ඇති බව පසුගිය දිනවල පුවත්පත් කිහිපයකම වාර්තා කර තිබිණි. 

වාසනාවකට මෙන් එම දරුවන් ජීවතුන් අතර බව කිව යුතුය. මේ දිනවල වාර්තා වන තොරතුරු අනුව මෙවැනි කතා ඛේදජනක ලෙස අවසන්
වීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබේ. ආසන්නතම උදාහරණය ඊයේ පුවත්පත් වාර්තා කර තිබූ "රත්නපුර, මාරපන" දී ඝාතනය කර තිබූ 14 හැවිරිදි සිසු දරුවාගේ කතාන්දරයයි.

එම දරුවා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කිරීමෙන් පසු ඝාතනය කර තිබිණි. ඝාතකයා ද ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබිණි. එවැනි පාපිෂ්ඨයන් විසින්ම දඬුවම නියම කර ගැනීම එක්‌ අතකින් සැනසිල්ලට කාරණයකි.

පෙරකී නැටුම් ගුරා නටා ඇත්තේ අමුතුම නැටුමකි. මේ කෂඩයා තමන්ගෙන් නැටුම් උගෙනුමට ආ දරුවන් දෙදෙනාට මත්වන ආකාරයේ යම් පානයක්‌ ලබාදී ඇත. ඉන්පසු සිහි විකලට පත් වූ දරුවන් දෙදෙනා අපයෝජනයට ලක්‌කිරීමෙන් නොනැවතී මේ තුච්ඡ ක්‍රියාව වීඩියෝ ගත කරන්නටද මේ සක්‌කිලි නැටුම් ගුරා කටයුතු කර ඇති බව කියෑවේ. මේ වැනි පාපතර ක්‍රියාවල යෙදෙන තිරිසනුන්ගේ තරම කෙබඳුදැයි සිතාගන්නට ඒ සිදුවීම ප්‍රමාණවත්ය.

පසුගිය වකවානුවේ කොටදෙණියාවේ අහිංසක දැරිවියක බරපතළ "තිරිසන්" අපයෝජනයකට ලක්‌කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුද එවැනි සිදුවීම් කිහිපයක්‌ වාර්තා විය. කවර හේතුවක්‌ නිසා හෝ ඒ බොහෝ සිදුවීම් සමාජයේ එතරම්ම කතාබහට ලක්‌වූයේ නැත.

කතාබහට ලක්‌වීම යන්නෙන් අපි අදහස්‌ කරන්නේ එවැනි තිරිසන් ක්‍රියා ත්‍රිල් ස්‌ටෝරි වශයෙන් ලියන මාධ්‍ය වාර්තා නොවේ. මේ නරක තත්ත්වය පිටුදැකීම සම්බන්ධයෙන් සමාජගත විය යුතු කාරණාය. 


විශේෂයෙන් මේ මාසයේ මුල් සතියේ වාර්තා වී තිබූ කුරුණෑගල මාවතගම දහතුන් හැවිරිදි දැරියගේ ඝාතනය පවා සමාජයේ එතරම් අවධානයට ලක්‌වූ බවක්‌ නොපෙණිනි.

මේ හැම සිදුවීමක්‌ දෙසම කල්පනාකාරීව බලන ඕනෑම කෙනකුට කතන්දරයේ ප්‍රධාන දුෂ්ටයා "ළඟින්ම" ඉන්නා අයෙකු බව පෙනේ. ළඟම ඥතියා, සමීපතමයා, අසල්වාසියා, ගුරුවරයා වශයෙන් එම ලැයිස්‌තුව දිගු විය හැකිය.

දරුවන් ශිල්ප ඉගෙනුමට යන්නේ නැටුම් ගුරා තිරිසනකු බව දැනගෙන නොවේ. මවුපියන් ද එසේ සිතන්නේ නැත. මාවතගම දැරිය පමණක්‌ නොව තවත් බොහෝ දැරිවියන් නිදහසේ ගමේ පාර තොටේ ඇවිදින්නේ අල්ලපු ගෙදර එකා ගෙවල යකෙකු බව දැනගෙන නොවේ. 


රත්නපුර, මාරපන දරුවා නිදහස රිසිසේ භුක්‌ති විඳින්නේ ගෙදර නැවතී සිටින එකා අධමයකු බව දැනගෙන නොවේ.

මිනිස්‌ තිරිසනුන්ට පාපිෂ්ඨකම වෙනුවෙන් සමාජය විසින්ම ඉඩ කඩ සපයාදී තිබේ. ඒ අනුවණකම නිසා ම නොවේ. වටපිටාව පිළිබඳව එතරම්ම විශ්වාසයක්‌ ගොඩනැගී ඇති නිසාය. තමන් සමඟ සිටින පුද්ගලයාගේ මනස බරපතළ ලෙස විකෘතිව ඇති බව අනෙකාට දැනගන්නට ක්‍රමයක්‌ නැත. 


ප්‍රශ්නය වන්නේ මේ විකෘති තත්ත්වය පසුගිය කාලය පුරාම වැඩි වර්ධනයක්‌ පෙන්වූයේ ඇයි දැයි යන කාරණයයි. ඒ වෙනුවෙන් පුළුල් සමාජ සංවාදයක්‌ ගොඩනැඟිය යුතු යෑයි අප කියන්නේ එබැවිනි. 

මෙවැනි කතාබහකදී මුලටම ගෙන එන දුලභම යෝජනාව වන අන්තර්ජාලය තහනම් කිරීම, ජංගම දුරකථන අන්තර්ජාල සබඳතා අගුලු දැමීම වැනි ප්‍රායෝගික නොවන කාරණා වෙනුවෙන් කල්මැරීම ඵලක්‌ නැත. එවැනි යෝජනා අවුරුදු දෙක තුනක කාලයක සිට ක්‍රියාත්මක වූ නමුත්, ඵලක්‌ වී නැති බව කිව යුතුය. එම යෝජනා සාර්ථක විණි නම් 2015 වර්ෂයේ ස්‌ත්‍රී දූෂණ සංඛ්‍යාව 1854 ක්‌ වන්නේ නැත.

එම වර්ෂයේ මුල් මාස එකොළහ තුළ සිදුවූ ස්‌ත්‍රී දූෂණවලින් දූෂණ 1717 ක්‌ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබිණි. 


ඉන් කී දෙනකු සිරගත වී දඬුවම් විඳිනවාද යන්න හෝ කීදෙනෙක්‌ එළියට පැමිණයේදැයි අප දන්නේ නැත. සමාජය තුළ මෙවැනි පාදඩකම්වලට ඇති "බිය" තරමක්‌ නොව බොහෝ සෙයින් තුරන්ව ඇති බවක්‌ නම් අපට හොඳින්ම පෙනෙන කාරණයකි. අවශ්‍ය වන්නේ එවැනි තිරිසන් කමකට, පාපයකට ඇති "බිය" සමාජය තුළ නැවත වගා කිරීමය.

 
Related Posts with Thumbnails