Ads 468x60px

.

බර කරත්ත වෙනුවට සැප වාහන....


මේ රටේ දේශපාලනඥයන්ට "පහසුවෙන්" ගමනක්‌ බිමනක්‌ යැමට හැකියාවක්‌ නොමැති තත්ත්වයක්‌ උදා වී ඇති බව පෙනේ. 

ඒ ඕනෑම දේශපාලනඥයකු පාරට බැස්‌ස තැන පටන් විවිධ වුවමනාවන් වෙනුවෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන, ලියුම් කරදහි දිගු කරන පිරිස නිසා
නොවේ. (ඡන්දයකින් පසු, ඇමැතිවරයකු, මන්ත්‍රීවරයකු නොව පළාත් පාලන නියෝජිතයකු හඳෙහි හාවා දකිනවාටත් වඩා කලාතුරකින් දකින බව වෙනම කතාවකි.) 

ඇත්ත වශයෙන්ම දේශපාලනඥයන්ට ඇත්තේ තමන්ගේ ගමන "පහසුවෙන්" යැමට වාහන නොමැතිකමය. මඟ තොටේදී අප දකින (දැනටත්) දිලිසෙන මාලිගා වැනි මේ උදවිය පාවිච්චි කරන වාහන අබලන්ය. පොඩි වැස්‌සකට පවා ඇතුළත තෙමේ. එම වාහනවල තිදෙනකුට හතර දෙනකුටවත් පහසුවෙන් ගමන් කළ නොහැක. 

මහමඟදී මෙවැනි අබලන් රථ "බ්‍රේක්‌ ඩවුන්" වූ විට දේශපාලනඥයන්ට බැස ඒවා අලුත්වැඩියා කර ගැනීමට සිදු වේ. නිතරම තම ගම් පළාතේ දුෂ්කරතාවනට පත් ජනතාව වෙනුවෙන් "කට්‌ට" කන දේශපාලනඥයන් දුක්‌ විඳින්නේ මෙවැනි අබලන් වාහන සමඟය.

සමාවන්න, මේ සඳහන් කළේ පසුගිය කාලවකවානුවේ හෝ වර්තමානයේ හෝ හෙට අනිද්දා හෝ අපේ රටේ දේශපාලනඥයන් විඳ ඇති හෝ විඳින්නට නියමිත දුක්‌ කන්දරාවෙන් කොටසක්‌ නොවේ.

එහෙත් දේශපාලනඥයන් වෙනුවෙන් ගෙන එන යෝජනා, අණපනත් වලින් ඔවුන්ට ලබාදෙන ප්‍රතිලාභ, වරප්‍රසාද ගැන අවධානය යොමුකරන විට එවැනි ප්‍රශ්නයක්‌ ඇති බව අපට සිතේ.

පසුගිය පෙබරවාරි තුන්වැනිදා පැවැති කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ද මැති ඇමැතිවරුන්ගේ "දුක" නිවීමේ යෝජනාවක්‌ ඉදිරිපත් වී තිබේ. ඒ, තීරු බදු රහිත වාහන ආනයන බලපත් ලබාදීමේ යෝජනාවකි. මෙය අලුත් කතාවක්‌ නොවේ. එම යෝජනාවේ අලුත් වී ඇත්තේ මෙතෙක්‌ පැවැති ආනයන බලපත්‍රයේ වටිනාකම වන ඩොලර් 50,000 ක මුදල වෙනුවට ඩොලර් 62,500 ක්‌ ලෙස එය වැඩිකර තිබීමය. 


ඒ අනුව රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් වාහනයක්‌ ගෙන්වා ගැනීමේ හැකියාව මැති ඇමැතිවරුන්ට ලැබේ. වාහනයක්‌ ආනයනය කිරීමේදී ඒ සඳහා අය කරන බදු ප්‍රමාණය, එම වාහනයේ එන්ජින් ධාරිතාව හා සුඛෝපභෝගිත්වය මත තීරණය කෙරේ. 

එම බදු ප්‍රමාණය වාහනයේ මිල මෙන් සියයට සියයේ සිට සියයට තුන්සීය දක්‌වා අගයක්‌ ගනී. එවැනි තත්ත්වයක්‌ තුළ මැති ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන ආනයන කිරීමේදී රටට අහිමි වන බදු ප්‍රමාණය කොතෙක්‌දැයි රටේ බුද්ධිමත් ජනතාවට ගණන් හිලව් සහිතව පෙන්වා දීමේ අවශ්‍යතාවක්‌ මතුවන්නේ නැත.

මේ මොහොත වන විටත් මැති ඇමැතිවරු ගමන් ගන්නේ එන්ජින් ධාරිතාව 660, 800 සහිත කුඩා ප්‍රමාණයේ ඉන්දියන් වාහනවල නොවේ. බර කරත්තවල නොවේ. රටේ ජනතාවම කියන පරිදි ඒ වාහන "සුපිරි" ය. දැන් මේ වාහන කුලප්පුවක්‌ සෑදී තිබෙන්නේ එවැනි තත්ත්වයක්‌ තුළය.

රජයේ සේවකයන්ගේ මූලික වැටුපට ලබාදෙන දීමනාවලින් රුපියල් 2500 ක්‌ එකතු කිරීමට (වැඩි කිරීමට නොවේ) ක්‍රමවේදයක්‌ සකසා ගැනීමට බැරි, ලෝක තෙල් මිල බින්දුවට බැස තිබියදී අපේ රටේ තෙල් මිලට සූත්‍රයක්‌ හදාගන්නට බැරි, බඩු මිල අහස උසට යද්දිත් එය පාලනය කරන්නට හැකියාවක්‌ නැති තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව මේ කරන්නේ කවර නොපනත්කමක්‌දැයි අපි විමසා සිටිමු. 


ආණ්‌ඩුව කියන්නේ ද බොහෝ අනවශ්‍ය වියදම් "කපා හැර" ඒවා රටේ සංවර්ධන වැඩ කටයුතුවලට යොදවන බවය. සියලු දේ පසෙකින් තිබියේවා. පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන්ට මේ වාසනාව අත්පත් කර දෙන්නට ආණ්‌ඩුව සැරසෙන්නේ රටේ ජනතාවට කුඩා වාහනයක්‌ තබා යතුරුපැදියක්‌ හෝ මිලට ගැනීමට ඇති ඉඩකඩ අහුරා දමමින් නොවේද? එය කොතරම් සදාචාරාත්මකදැයි අපි විමසා සිටිමු.
 
Related Posts with Thumbnails