Ads 468x60px

.

රටේ කිසිවෙකුටත් ලෙඩක්‌ දුකක්‌ නොපැමිණේවා. (නැවත ඖෂධ ගෙන්වන තුරු)


සියලුම රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයක හිඟයක්‌ සති කිහිපයක්‌ තිස්‌සේ පවතින බව පසුගිය සෙනසුරාදා (13 දා) පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබිණි.

අදාළ ඖෂධ හිඟය සම්න්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශය වාර්තාවක්‌ මගින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඒ නිසාම කිසිවෙකුටත්

මේ කතාව බොරුවක්‌ බවට තර්ක කිරීමේ හැකියාවක්‌ නැත. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින අටෝරාශියක්‌ ප්‍රශ්න අලුත්ම අලුත් ඒවා නොවේ.

එහෙත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් අපි වැඩිදුර අවධානය යොමු කළ යුතු වන්නේ මෑතක සිට එම තත්ත්වයන්හි වර්ධනීය තත්ත්වයක්‌ දකින්නට ඇති බැවිනි.

ඖෂධ වර්ග සියයක්‌ යනු සුළුවෙන් තැකිය හැකි සංඛ්‍යාවක්‌ නොවේ. මේ හිඟ යෑයි කියෑවෙන ප්‍රතිශක්‌තිකරණ එන්නත්, ළමා රෝගීන්ට ලබාදෙන එන්නත්, සිසේරියන් සැත්කම් සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු ඖෂධ වර්ග සියයේ හිඟය මාසයක්‌ දක්‌වා පවතින බවද වාර්තා වේ. 


මෙය රෝගීන් සම්බන්ධයෙන් ඉතාම "නරක" ආරංචියක්‌ වන අතරම සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් ගත්විට පරිපාලනමය දුර්වලතාවයේ නරකම තත්ත්වයක්‌ පෙන්නුම් කරන්නකි. මේ දුර්වලතාව මෙන්ම ගන්නා තීන්දු තීරණවල අමනෝඥ බවද පෙන්නුම් කරන සිදුවීම් ගණනාවක්‌ ද පසුගිය කාලයේ සිදුව තිබුණු බව කිව යුතුය.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා සම්බන්ධයෙන් මතුවූ ප්‍රශ්නය ඊට ආසන්නතම උදාහරණයයි. අදාළ බලධාරීන්ට ඖෂධ මිල ඉහළ යැමත්, ඖෂධ හිඟවීමත් යන කාරණා දෙකටම වඩා විසදා ගන්නට ප්‍රශ්න ඇති බව අප කියන්නේ, ඒ පෙනෙන්නට ඇති දේ නිසාය.

ජාතික ඖෂධ පනත සම්මත කරන ලද්දේ 2015 වර්ෂයේ මාර්තු 06 වැනිදාය. ඉන්පසුව ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන ලදී. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා ඇත්තේ ආවාට ගියාට තකතීරු අන්දමට නොවන බව අපි විශ්වාස කරමු. එම අධිකාරිය පිහිටුවා ඇත්තේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය යටතේය.

ඖෂධ නියාමනය සම්බන්ධයෙන් අතිශය වැදගත් වන්නා වූ නියාමනයන් රැසක්‌ එම පනතේ අඩංගුය. විශේෂයෙන් කිවහොත්, ආරක්‍ෂාකාරී සහ නිවැරැදි තත්ත්වයෙන් යුත් ඖෂධ ලබාදෙන බවට තහවුරු කිරීම, ඖෂධ ලියාපදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම, ඖෂධ හා වෛද්‍ය උපකරණ ලියා පදිංචි කිරීම, බලපත්‍ර ලබාදීම හා ආනයනය කිරීම, ඒවා විනිවිදභාවයකින් යුතුව තිරසාර ලෙස සිදු කරන බවට තහවුරු කිරීම, ශ්‍රී ලංකාව තුළ නිවැරැදි තත්ත්වයෙන් යුත් ඖෂධ නිෂ්පාදනය දිරිමත් කිරීම, ඖෂධ පැවරීම නියාමනය කිරීම වැනි තවත් බොහෝ කාරණා එහි අඩංගු වේ.

දැන් ඖෂධ හිඟය නිසාම රෝගීන් කරමුලටම හිර කර තිබෙන්නේ එකී මෙකී නොකී සියලු කාරණා අඩංගු පනතකින් සම්මත කරන ලද ඖෂධ නියාමන අධිකාරියක්‌ද තිබියදීමය.

මෙම බොහෝ ඖෂධ වර්ග මැලේසියාව, ඉන්දියාව, බංගලාදේශය වැනි රටවලින් ගෙන්වීමට දින කිහිපයක්‌ ගත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ව තිබිණි. 


"අත්‍යවශ්‍ය ඖෂධ" හිඟ යෑයි කියති. "අත්‍යවශ්‍ය ඖෂධ" යනු නැව එනතුරු සතියක්‌ දෙකක්‌ මාසයක්‌ බලා සිටිය හැකි ඒවා දැයි අපි අසන්නට කැමැත්තෙමු.

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාත්, ප්‍රධාන විධායක නිලධාරිවරයාත් සම්බන්ධයෙන් ගැටලුවක්‌ මතු වූයේ ඖෂධ නියාමන අධිකාරියෙන් මෙතෙක්‌ බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම නිසා බව වාර්තා වී තිබිණි. ඒ දෙදෙනා ඉවත් කිරීම හෝ ඉල්ලා අස්‌වීම ප්‍රශ්නයට විසඳුමක්‌ නම් මේ වනවිට මේ ප්‍රශ්නයට නිසි විසඳුමක්‌ ලැබී තිබිය යුතුය. එසේ වූ බවක්‌ පෙනෙන්නට ද නැත.

ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවා මාස අටක්‌ ඉකුත්ව අවසන්ය. ඖෂධ හිඟවන බවත්, ඖෂධ මිල ඉහළ යන බවත්, ඒ මාස අට තුළදීම කිසිවෙකුටත් නොතේරීම පුදුමයට කාරණයක්‌ මෙන්ම රෝගීන්ගේද අවාසනාව බව කියමු. සති දෙක තුනක්‌, මාසයක්‌ යනතුරු (නැවත ඖෂධ ගෙන්වන තුරු) රටේ කිසිවෙකුටත් ලෙඩක්‌ දුකක්‌ නොපැමිණේවා යන්න අපේ ප්‍රාර්ථනාවය.
 
Related Posts with Thumbnails