Ads 468x60px

.

වැලන්ටයින් දිනය "වලත්ත දිනයක්‌," සල්ලාල දිනයක්‌ බවට පරිවර්තනය කරගත් සංස්‌කෘතියක්‌...


ආදරවන්තයින්ගේ දිනය යෙදුණු දා (පෙබරවාරි 14) තරුණියන්ගේ දිවිනසා ගැනීම තුන්ගුණයකින් ඉහළ ගිය බව සමීක්‍ෂණයකින් සොයා ගන්නා ලද බව වාර්තා වී තිබිණි. මෙය පසුගිය ආදරවන්තයින්ගේ
දිනයේදී පමණක්‌ නොව වසරක්‌ පාසා සිදුවන ක්‍රියාවලියක්‌ බව කියති.

ඉහත තොරතුරු අනාවරණය කරන අන්දමට ප්‍රධාන වශයෙන් මෙම සියදිවි නසා ගැනීම්වලට යොමු වන්නේ අවුරුදු 16-24 ත් අතර වයසේ පසුවන්නන් බව එම සමීක්‍ෂණයේ දී හෙළිවී තිබේ.

කොහොමත් වැලන්ටයින් දිනය "වලත්ත දිනයක්‌," සල්ලාල දිනයක්‌ බවට පරිවර්තනය කරගත් සංස්‌කෘතියක්‌ වර්ධනය වන තත්ත්වයක්‌ තුළ ඊටත් වඩා දෙයක්‌ බලාපොරොත්තු විය නොහැකි බව අපේ විශ්වාසයයි. 


වැලන්ටයින් දිනය ඇසුරෙන් කරන ලද එම සමීක්‍ෂණයේ දී හෙළිවී ඇති ඇතැම් කරුණු අඩු වැඩි වශයෙන් හැම දිනයකටම අදාළ වන බවද කිව යුතුය.

අනාවරණය වන පරිදි මෙම සියදිවි හානිකර ගැනීමට බලපාන විවිධ හේතු සාධක තිබේ. තරුණියක්‌ සමූහ වශයෙන් දූෂණයට ලක්‌වීම, තම පෙම්වතාට තෑග්ගත් රැගෙන දීමට නොහැකිවීම, මවුපිය අවවාද නොරිස්‌සීම, ආදර සබඳතා කඩාවැටීම ඒ අතර වේ.

පසුගිය කාලය පුරාම වාර්තා වූ සියදිවි නසා ගැනීමේ සිදුවීම් විමර්ශනය කිරීමේදී ඊට හේතු පාදක වී ඇත්තේ ඉහත සඳහන් කළ කාරණා බව පැහැදිලි වේ. මවුපිය අවවාද නොරිස්‌සීම, ආදර සබඳතා කඩාවැටීම වැනි කාරණා නිසා සියදිවි නසා ගැනීම් මෙන්ම අනෙකාගෙන් පළිගැනීම් දක්‌වා තත්ත්වය වර්ධනය වූ බවත්, එම තොරතුරු විමර්ශනයේ දී හෙළිවේ. 


විශේෂයෙන් මවුපිය අවවාද නොරිස්‌සීම නිසා සියදිවි නසා ගැනීම වැනි කාරණයේ දී ඊට හේතුවන සමාජයීය කාරණා පිළිබඳව නිසි සොයා බැලීමක්‌ කර නැති බව අපේ විශ්වාසයයි.

අදාළ තොරතුරු තවත් වැදගත් කාරණයක්‌ අවධාරණය කර තිබේ. එනම් සාමාන්‍යයෙන් වසරේ අනෙකුත් දිනවලට වඩා ආදරවන්තයන්ගේ දිනයේදී කොන්ඩම් සහ උපත් පාලන පෙති අලෙවිය සාමාන්‍ය දිනයකට වඩා අට ගුණයකින් ඉහළ යන බවය. 


සාමාන්‍යයෙන් ආදරවන්තයන්ගේ දිනය දා රතු රෝස මල් කිනිත්තක්‌, සුවඳ විලවුන් වැනි දේ වැඩිපුර විකිණෙන බව සැබෑය. ඒ (පෙනෙන්නට නැති) පිවිතුරු ආදරය සංකේතවත් කරමිනි. එසේ නම් ඉහත කී ද්‍රව්‍යවල අලෙවිය අටගුණයකින් ඉහළ යැම සංකේතවත් කරන්නේ කවරක්‌ද? 

ඒවා වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් බවද කියති. එළැඹ තිබෙන නරක තත්ත්වය ගැන සඳහන් කරන්නට තවත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. 

පෙරබවාරි 14 වැනිදාට පසු එළැඹෙන දිනයන්හිදී ගබ්සා මධ්‍යස්‌ථාන හෝ වෛද්‍යවරුන් මුණගැසී උපදෙස්‌ ලබා ගැනීම්ද සිදුවන බව එම සමීක්‍ෂණයෙන් හෙළිවී ඇතැයි කියති.

ආදරවන්තයින්ගේ දිනයේ දී පමණක්‌ නොව සඳුදා සිට ඉරිදා දක්‌වා ඕනෑම කාලයකදී දිවයින පුරා විහිදී පැතිර ඇති ලැගුම්හල් පරීක්‍ෂා කළහොත් මෙවැනි "ආදරවන්තයන්" තොග පිටින් සොයා ගැනීමට හැකියාව ලැබෙන බව අපි සිහිපත් කරමු. 


ඇත්ත වශයෙන්ම ආදරවන්තයන්ගේ දිනයේදී සිදු වන්නේ එක්‌ දිනක්‌ තුළ තත්ත්වයෙහි වැඩිවීමක්‌ මිස අන් කවරක්‌වත් නොවේ. කොතැනක හෝ වරදක්‌ ඇති බව පැහැදිලිය. මෙවැනි අවස්‌ථාවලදී ගතහැකි සිල්ලරම විසඳුම වන ලැගුම්හල් වටලා ජෝඩු පිටින් පොලිසියට කුදලාගෙන ඒම, මවුපිය - වැඩිහිටියන් කැඳවා අවවාද අනුශාසනා කොට පිටත් කර හැරීම වැනි දේට වඩා විධිමත් වැඩපිළිවෙලක අවශ්‍යතාව ඉතාම හදිසි බව අපි සඳහන් කරමු. ඉහත ප්‍රවෘත්තිය එය අවධාරණය කරන්නකි. 

මෙය දරුවන් මතටම වරද පටවා නිදොස්‌ විය හැකි දෙයක්‌ නොවන බව සඳහන් කළ යුතුය. මවුපිය, වැඩිහිටි පමණක්‌ නොව දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක අදාළ වගකිව යුතු සියලුම ආයතන විසින් වගකීම බාරගත යුතු ගැටලුවකි. මේ තත්ත්වය වඩා නරක අතට හැරීමට පෙර ඒ සියලු දෙනාගේම එකතුවෙන් සැලසුමක්‌ සකස්‌ කළ යුතුව ඇතැයි අපි කියමු.
 
Related Posts with Thumbnails