Ads 468x60px

.

දුප්පතුන්ගේ ප්‍රශ්න විසඳන තෙක්‌ රටේ ප්‍රශ්න අවසන් නොවන බව...


රටේ ප්‍රශ්න නැවත වරක්‌ ඔඩු දුවමින් තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරද්දී තොටළඟ ප්‍රදේශයේ ඉදිකර තිබූ නිවාස කඩාදැමීමට එරෙහිව එම නිවාසවල පදිංචිකරුවන් තොටළඟ සිට පෑලියගොඩ දක්‌වා වූ ප්‍රදේශය ඇතුළු ආසන්න මාර්ග සියල්ල අවහිර කර විරෝධතා පළකරන ලදී.

මේ සියල්ල හමුවේ රජය මේ ප්‍රශ්න විසඳීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගෙන වගකීම් විරහිතව කටයුතු කරනු පෙනේ. දහනව වන

ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර රටේ සියලු ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි යහපාලන රජයකට බලයට පත්වී සුළු කාලයකින් මෙලෙස මහජන ප්‍රශ්න අමතක කරමින් කටයුතු කළ නොහැක.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයන් කොටුව දුම්රියපළේ සිට උද්ඝෝෂණ පා ගමනකින් යන අතරතුර පොලිසිය කඳුළු ගෑස්‌ හා ජල ප්‍රහාරයක්‌ එල්ලකරමින් එය වැළැක්‌වීය. මෙය අතිශය බරපතළ තත්ත්වයකි.

රටේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම රජය සතු වගකීමකි. එසේම එසේ ලබා නොදෙන්නේ නම් සාමකාමී උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීමේ අයිතිය මහජනතාවට තිබේ. රජයට එරෙහි ඕනෑම කෙනකුට ප්‍රහාර එල්ලකරන මානසිකත්වයකින් කටයුතු කිරීම යහපාලනය ගැන පොරොන්දුවී බලයට පැමිණි රජයකට තරම් නොවේ.

මේ රජය යටතේ මීට පෙරද උපාධිධාරීන්ට පොලිස්‌ ප්‍රහාර එල්ල විය. එසේ ප්‍රහාර එල්ල කර වැරදිකරුවන් වූ පිරිස්‌ පවා මේ වන විට යළිත් වතාවක්‌ සේවයේ පවා පිහිටුවා තිබේ.

පසුගිය රජය විසින් විරෝධතා මැඬපවත්වන ලද්දේද මීට සමාන ආකාරයෙනි. එදා එම රජය මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කරද්දී අද සිටින ඇමතිවරු එදා මන්ත්‍රීවරුන් ලෙස ඊට එරෙහිව හඬ නැගූහ. එහෙත් අද ඔවුන් විසින් පිහිටුවන ලද යහපාලන ආණ්‌ඩුව කටයුතු කරමින් සිටින්නේද ඊට නොදෙවෙනි ආකාරයෙනි.

කොළඹ අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රශ්නය දැන් කලක සිට පවතින්නකි. එම ජනතාව වසර හැට-හැත්තෑවක්‌ තිස්‌සේ පදිංචිව සිටි ස්‌ථානවලින් එකවර ඉවත් කරන්නේ නම් එය බරපතළ තත්ත්වයකි. 


මෙවර ද නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සහායද ලබා ගනිමින් මෙම අනවසර ලෑලි නිවාස කඩා ඉවත් කරන්නට වීමත් සමඟ එම පදිංචිකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින්, කෑගසමින් කලහකාරී ලෙස හැසිරෙන්නට වීමත් සමඟ උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. 

එම නිවැසියන් සිය දරුවන්ද රැගෙන තොටළඟ හන්දියට විත් සතර දිසාවට ඇති මාර්ගයන් වසා ටයර් පුළුස්‌සා දමමින් නිවෙස්‌ කැඩීම සම්බන්ධයෙන් විරෝධය පාන්නට වූ ආකාරය සිත්පිත් ඇති බොහෝදෙනකුට ඇතිකළේ අතිශය සංවේදී හැඟීම්ය. 

පැල්පත් හෝ ලෑලි ගෙවල්වල ජීවත් වුවද ඔවුහු මනුෂ්‍යයෝය. විරෝධතා කරුවන් ප්‍රධාන මාර්ගය අවහිර කිරීම නිසා තොටළඟ සිට පැරැණි කැලණි පාලම ප්‍රදේශයේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුවී තිබිණි.

එම තත්ත්වය හමුවේ පැය ගණනාවක්‌ තිස්‌සේ දැවැන්ත මාර්ග තදබදයක්‌ ඇතිවී ලක්‌ෂ ගණන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. එම තත්ත්වයද අප අනුමත කරන්නේ නැත. ප්‍

රශ්න විසඳා ගැනීමට ප්‍රචණ්‌ඩකාරී වීම සුදුසුද නැත. එහෙත් වගකිවයුතු බලධාරීන් කිසිවකුත් එහි නොසිටීම මේ ප්‍රශ්නය දුර දිග ගෙනයන්නට සමත් වූ බවද කිව යුතුය.

පසුගිය රජය සමයේ නාගරික සංවර්ධන අධිකාරිය පොලීසිය හා හමුදාව යොදා මේ ආකාරයටම කටයුතු කරද්දී අපි එදා ඊටද විරුද්ධ වූයෙමු. පසුගිය රජය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දැවැන්ත පරාජයක්‌ ලබන්නට මෙය විශාල හේතුවක්‌ විය. 


අනෙක්‌ අතට එදා කොළඹ නගරයේ නිවාස කඩා බිඳ දමනවාට එරෙහිව හඬනඟා අධිකරණයට ගිය විපක්‌ෂ මන්ත්‍රීවරු අද වර්තමාන රජයේ ප්‍රබල ඇමැතිවරුන්ය. අද ඔවුන් ඇමැතිවරුන් ලෙස බලයේ සිටියදී ඔවුන් එදා මෙන් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින්නේ මන්ද යන්න අපට නම් ගැටලුවකි. නිවාස යනු මිනිසාගේ මූලික අවශ්‍යතාවකි. 

මිනිසකුගේ නිවාසයකින් ඔවුන් ඉවත් කරන්නේ නම් ඒ සඳහා නිසි ක්‍රමවේදයක්‌ තිබිය යුතුය. ඔවුන්ට නව නිවාස ලබාදී ඔවුන්ගේ සුභසාධනයද ඇති කළ යුතුය. ඒ තරමට මිනිසකු තම නිවසින් ඉවත් කිරීම සංවේදී මෙන්ම සංකීර්ණ කටයුත්තකි. එසේ නොමැතිව රජයක්‌ ලෙස වගකීම් විරහිතව කටයුතු කරද්දී ජනතා කෝපය මතුවීම වැළක්‌විය නොහැක.

මේ සෑම කාරණයකම අවසන් වගකිවයුත්තා වන්නේ රජය බව අපගේ හැඟීමය. .මේ රටේ එදාවේල අමාරුවෙන් හරි හම්බ කරගෙන ජීවත්වන දුප්පතුන්ගේ ප්‍රශ්න විසඳන තෙක්‌ රටේ ප්‍රශ්න අවසන් නොවන බව රජයක්‌ ලෙස හොඳින් මතකයේ තබා ගැනීම යහපාලන ආණ්‌ඩුවේ පැවැත්මට වඩා හිතකර වනු ඇත.
 
Related Posts with Thumbnails