Ads 468x60px

.

මේ නරුම පාතාලය මැඬලන්නට බැරි ඇයි...?


උතුරේ ත්‍රස්‌තවාදය අවසන් කෙරුණේ 2009 වර්ෂයේදීය. ජනතාවට බිය සැක නොමැතිව ජීවත් වීමේ අවස්‌ථාව තව දුරටත් වැඩි කිරීමේ අරමුණින් ම කොළඹ හා කොළඹින් පිට බොහෝ ප්‍රදේශවල ප්‍රචණ්‌ඩත්වය වපුර මින් සිටි "පාතාලය" මර්දනය කිරීමේ මෙහෙයුමක්‌ද ඇරැඹිණි. ප්‍රභා කරන්ට රටින් පනින්නට හෝ ඉඩක්‌ තිබුණේ නැත. 

එහෙත් පාතාල මර්දනයේදී 'ගෝඩ් ෆාදර්ලා' යෑයි කී පාතාල නායකයෝ බොහෝ දෙනෙක්‌ රටෙන් පලා ගියහ. තත්ත්වය කෙතරම් වෙනසක්‌ ඇති කළාද කිවහොත් නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බුරුතුපිටින්
අත්අඩංගුවට ගැනිණි. 

එපමණක්‌ නොව එකල රට පුරා කුඩු හිඟයක්‌ ද ඇතිවිණි. එහෙත් පසුගිය මහ මැතිවරණ සමයේ ආරංචි වූයේ නැවතත් පාතාලයන් මෙරටට පැමිණ වැඩ අරඹා ඇති බවය. ආරංචිය ගෙනාවේ රටේ ජනතාව නොව පොලිසියමය.

දැන් මේ පාතාලය නැවතත් දකුණෙත්, බස්‌නාහිරත් භීෂණය පතුරවමින් සිටිති. වැල්ලම්පිටියේ තිදෙනකු ඝාතනය කිරීමේ සිදුවීම සහ බලපිටියේදී දෙදෙනකු ඝාතනය කිරීම ආසන්නතම ම්ලේච්ඡත්වය හා භීෂණය වැපිරීමේ සිදුවීමය. 


දැන් නැවතත් ඒ ගැන ලියන්නට සිදුව තිබේ. ඒ පුවත්පත පළව තිබූ ප්‍රවෘත්තිය ආරක්‍ෂක අංශවලට තවත් සිතන්නට බොහෝ දේ ඉතිරිකර ඇති නිසාය. එම ඝාතන සිද්ධියේදී මියගිය එක්‌ තරුණයකුගේ පියා පවසන්නේ මෙවැනි කතාවකි.

"තුන්දෙනෙක්‌ මරලත් මිනීමරුවෝ නිදැල්ලේ. ටී පනස්‌හයේ තුනක්‌ මේ ප්‍රදේශයේ ගැවසෙනවා. මිනීමරුවන්ගේ ඉලක්‌කය කවුද කියලා අපි දන්නේ නෑ."

තත්ත්වය ඉතාම බරපතළ බව එහි පළමු වැකි දෙක කියවන විටම අවබෝධ කරගත හැකිය. "ටී පනස්‌හයේ තුනක්‌ මේ ප්‍රදේශයේ ගැවසෙනවා" යන්න කියන්නේ බුද්ධි අංශ නිලධාරියකු හෝ "අරක්‌කු තිබේ දැයි" විමසන්නට ගිය පොලිස්‌ නිලධාරියකු නොවේ. 


රටේ සිවිල් පුරවැසියෙකි. ඉන්තේරුවෙන්ම "ටී පනස්‌හයේ තුනක්‌" ඇති බව ඒ තැනැත්තා කියන්නේ කෙසේද යන්න සොයා බැලීමත් පොලිසියටම අයත් රාජකාරියකි. "අත්අඩංගුවට ගැනීමට උසාවි නියෝග අවශ්‍ය" බව පොලිසිය කියතැයි එම තැනැත්තා පවසා සිටින්නේය. 

ඒ අතරම ඔහු අපූරු කතාවක්‌ කියන්නේය. "ඒවා ඉතින් පොලිසියේ රාජකාරි" ඇත්ත වශයෙන්ම එය පොලිස්‌ රාජකාරියකි. පොලිසියට වුව "පැන්නා - ගත්තා" මට්‌ටමේ සෙල්ලම් දමන්නට බැරි බව අපිදු දනිමු. එහෙත් මේ පාතාල කතන්දර ටිකක්‌ විතර දුර දිග ගොස්‌ ඇති බවත් සිහිපත් කරමු.

ඊළඟ ඉලක්‌කය කවුරුන් බවට පත් වේ දැයි යන්න තමන් නොදන්නා බවද ඉහත කී පුද්ගලයා සඳහන් කරන්නේය. ඒ ප්‍රකාශය තුළම සමාජයේ ක්‍රම ක්‍රමයෙන් නැවත හිස ඔසවන බිය - සැක සහ අවිනිශ්චිත බව ගැන ඉඟියක්‌ තිබේ. 


ඇත්ත වශයෙන්ම මෙරට පාතාලය යනු ඉතාලියේ "සිසිලි මාෆියාවේ" හෝ "ජපානයේ යකුෂා" පරම්පරාවේ දිගුවක්‌ නොවේ. කෂඩ දේශපාලනඥයන් අතළොස්‌සක්‌ විසින් තමන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පූර්ණකාලීනව සහ අර්ධකාලීනව නඩත්තු කරනු ලබන මැර සංචිතයකි.

කලකට ඉහත සිටි "චණ්‌ඩි" පරම්පරාව සමාජය තුළ භීතිකාවක්‌ නිර්මාණය කළේ නැත. "චණ්‌ඩියකු" සිටින ගම ප්‍රදේශය ආරක්‍ෂිත යෑයි ඒ ඒ පැතිවල සිටි ජනතාව තදින්ම විශ්වාස කළහ. පාතාලය ගැන ඇත්තේ ඊට වඩා වෙනස්‌ වූ භීතිකාවකි. 


පාතාල කල්ලි දෙකක්‌ අතර හටන්නා ගිනි අවි යුද්ධයකදී අහක ඉන්න කෙනකුට වුව ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන බව පාතාලයන් ගැවසෙන ප්‍රදේශවල ජනතාව හොඳින්ම අවබෝධ කරගෙන සිටින කාරණයකි.

පාතාලයේ කාඩරයකු යමෙකු ඝාතනය කරන්නේ නම් ඊට නිශ්චිතවම යම් හේතුවක්‌ තිබේ. එක්‌කෝ එය පාතාලයේ "කිරුළ" විය හැකිය. 


නැතහොත් තමාගේ බිස්‌නස්‌ එකට (නීත්‍යනුකූල ව්‍යාපාර නොවේ. මත්ද්‍රව්‍ය, කුලියට මිනිමැරීම, කප්පම් ගැනීම වැනි මැර ව්‍යාපාර) වෙනත් අයකු හොම්බ දැමීම විය හැකිය. තම සගයා මරා දැමීමේ "රිටර්න්" එක විය හැකිය. මේ කවර කාරණයක්‌ වුව සමාජයේ හිතසුව පිණිස වන කාරණා නොවේ.

අපේ රටේ තිබෙන්නේ හොඳම තත්ත්වයේ බුද්ධි අංශයක්‌ බව අපි තදින්ම විශ්වාස කරමු. නම කැතකරගත් වැඩ දහසක්‌ කළ ද පොලිසිය ද රාජකාරිය හොඳින්ම ඉටුකර ඇති අවස්‌ථා බහුල බවද අපි කියමු. 


විශේෂ කාර්ය බළකායේ අනෙකුත් ආරක්‍ෂක අංශවල විශිෂ්ට මෙහෙයුම් ගැන රටට අමුතුවෙන් කියන්නට ද වුවමනා නැත. එසේ තිබියදී මේ නරුම පාතාලය මැඬලන්නට බැරි ඇයි?
 
Related Posts with Thumbnails