Ads 468x60px

.

කොරහේ කිඹුලන් දැකිය යුතු නැති බව...


ඉන්දු ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට වඩා ‘ඉට්කා’ යෙදුම හුරුය. කටට හුරුවූවත් රටට නුහුරුය. ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර තිබේ. 

වෛද්‍යවරුන්ගේ සංගමය, ඒකාබද්ධ ඉන්ජිනේරු සංවිධානය, ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය ප්‍රමුඛ වෘත්තිකයන් අවි අමෝරා සිටී. මේවාට අගමැතිවරයා
කැත්තට ‍පොල්ල මෙනි. රට පුරා ‘ඉට්කා’ විරෝධයක් ගොඩනැඟෙයි. 

දිනපතාම කොතැනක හෝ මාධ්‍ය හමුවකි. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම විසින් ගිවිසුමේ කෙටුම්පත ලබන සතියේ සියලු වෘත්තීයවේදීන්ගේ සංගම් වෙත ඉදිරිපත් කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා කියයි.


වෘත්තීය සංගම් පවසන්නේ ගිවිසුම වෘත්තිකයන්ට ඉතා අහිතකර බවය. ආණ්ඩුව පවසන්නේ දැනට ඇත්තේ ගිවිසමේ මූලික රාමුව පමණක් බවය. යෝජිත ගිවිසුමට මතෛක් බරපතල විරෝධතා එල්ලවී ඇත්තේද වෘත්තීයවේදීන්ගෙනි. 


ගිවිසුමෙන් ඉන්දීය වෘත්තීයවේදීන්ට මෙරට වෘත්තීන්හි නිරතවිය නොහැකි බවත්, අවශ්‍යතා ඇති වෘත්තිකයන් පමණක් අවශ්‍ය නම් ගෙන්විය හැකි බවත් ආණ්ඩුව කියයි. තෝරා ගැනීමක් කරන්නේ වෘත්තීයවේදීන් හා සාකච්ඡාවකින් අනතුරුව බවත්, තෝරා ගන්නා ක්‍ෂේත්‍ර පමණක් විවෘත කරන බවත් පවසයි. 

දැනටද කිසිදු නියාමනයකින් තොරව ඉන්දියානුවන් මෙරට වෘත්තීන්හි නිරතවන බවත්, නියාමනයක් තිබුණා නම් එසේ නොවන බවත් ආණ්ඩුව කියයි. එහෙත් ඉන්දියාව හා මෙවන් සහයෝගීතාවක ඇති සැබෑ අවශ්‍යතාව, එයින් රටට ලැබෙන ප්‍රතිලාභ ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් පැහැදිළි කිරීමක්ද නැත. 

‘ඉට්කා’ යනු පුළුල් විස්තීරණ ආර්ථික සහයෝගීතා ගිවිසුම එනම් ‘සීපා’ ගිවිසුමටම කියන වෙනත් නමක් බව විරෝධතාකරුවෝ කියති. 

ගෝලීයකරණය හමුවේ ජාතික රාජ්‍යයන්හි ස්වාධිපත්‍ය අභියෝගයට ලක්වන බව නොරහසකි. ලාබ ශ්‍රමයට, ලිහිල් ෙනෙතික තත්ත්වයන්ට වැඩි ඉල්ලුමක් තිබේ. කිසිදු රටකට හුදෙකලාව පැවැතිය නොහැක. 

තාක්ෂණයෙන්, සන්නිවේදනයෙන්, නිෂ්පාදනයෙන්, ගමනාගමනයෙන් ලෝකය එකිනෙකාට සමීප වී තිබේ. එවන් තත්ත්වයකදී ද්වී පාර්ශ්වික හෝ බහුපාර්ශ්විය වෙළෙඳ ගිවිසුම්වල අරමුණ වියයුත්තේ රටට වැඩි ප්‍රතිලාභ අත්කර ගැනීමය. 

කෙටිකාලීනව කෙසේ වූවත්, දීර්ඝ කාලීනව ඉහළ වාසි හිමිකර ගැනීමය. දේශීය නිෂ්පාදනයන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ‍පොළ කොටස පුළුල් කරගැනීමය. අත්පත්කර නොගත් නූතන තාක්ෂණය රටට කැඳවා ගැනීමය. නිරපේක්ෂ වාසිය රටට හිමිකර ගැනීමය.

මෙවන් අවස්ථාවන්හිදී ගතයුතු තීරණයන්ට ඉතිහාසය, වර්තමානය සහ තුලනාත්මක අධ්‍යයනය පූර්වාදර්ශ සපයයි. ශ්‍රී ලංකාව ඉන්දියාව හා නිදහස් වෙළෙඳ ගිවිසුමකට මුලින්ම සම්බන්ධ වන්නේ 1998දීය. 


එය වර්ෂ 2000 සිට ක්‍රියාත්මකය. ආරම්භයේදී ඩොලර් මිලියන හයසිය පනස් අටක්ව පැවැති ඉන්දු ලංකා වෙළෙඳ ගනුදෙනු 2005 වන විට ඩොලර් මිලියන දෙදහස දක්වාත්, 2010 වන විට තුන්දහස දක්වාත් වර්ධනය විය. 2013 වන විට මෙරට ඉන්දීය අපනයනයන්ගෙන් සියයට හැට පහක්ම ගිවිසුමෙන් ආවරණය විය. 

ඉන්දීය ආනයනයන් සියයට දහතුනකි. වටිනාකම් අනුව ශ්‍රී ලංකාව ඩොලර් මිලියන තුන්සිය පනස්පහක අපනයන කරන විට ඉන්දීය ආනයනයන් මිලියන තුන්සිය අනූතුනකි. වෙළෙඳ අවාසිය ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. එය මේ වන විට ඩොලර් මිලියන පනස් පන්දහස් හයසියයකට ආසන්නය. 

1985 දකුණු ආසියානු සහයෝගීතා සමුළුව, 1996 දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම, 2000 පාකිස්තානු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම, 2006 ආසියා පැසිෆික් වෙළෙඳ ගිවිසුම වැනි ගිවිසුම්වලට එළැඹියද ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්විය නොහැකිය. 

ඉන්දියාව සේම පාකිස්තානය සහ චීනය සමග වන සබඳතාවන්ගේත් වෙළෙඳ අවාසිය ක්‍රමයෙන් වර්ධනය වූවා මිස රටට වාසි සහගතවී නැත.


එසේ වූවත් සිංගප්පූරුව විස්සක්, මැ‍ලේසියාව, චීනය සහ ජපානය දාහතර බැගින්, ඉන්දියාව දහතුනක් සහ පාකිස්තානය දහයක් වශයෙන් මේවන විට නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගෙන තිබේ. ආර්ථික අතින්ද ඔවුන් සිටින්නේ අපට බොහෝ ඉදිරියෙනි. 


බංග්ලාදේශය සහ මාලදිවයින් ගිවිසුම් තුන හා එක බැගිනි. එසේ බලන කල ආර්ථිකයේ ගෝලීය ප්‍රවණතා අත්පත්කර ගැනීම අතින් අපද සිටිනුයේ පසුපසින් බව පැහැදිලිය. දේශීය නිෂ්පාදන ජාත්‍යන්තරයෙන් ආරක්ෂා කර ගන්නා ආරක්ෂණවාදය කල් ඉකුත්වී හමාරය. 

නිදහස් වෙළෙඳාම තුළ මහා පරිමාණ හා බහුජාතික සමාගම් වඩ වඩාත් ශක්තිමත් වෙයි. දේශීය, සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් අභියෝගයට ලක්වෙයි. එහෙත් පවත්නා ධනේෂ්වර ආර්ථිකයේ වෙළෙඳ‍පොළ තරගය තුළම පැවැත්ම තහවුරු කර ගතයුතුය. 

වඩා වැදගත් තරගය තුළ නොනැසී තහවුරු වීමය. ඒ සඳහා ගිවිසුම් ආරක්ෂාකාරීය. එහෙත් කොන්දේසි වාසි සහගත සහ විවෘත විය යුතුය. එසේ වන්නේ නම් මෙලෙස කොරහේ කිඹුලන් දැකිය යුතු නැත.
 
Related Posts with Thumbnails