Ads 468x60px

.

නොරොච්චෝලේ කන්කරච්චලය ජනතාවට බරක්‌ නොවන ආකාරයට කළමනාකරණය කිරීමට නම්.

පසුගිය සතියේ බ්‍රහස්‌පතින්දා සිදුවූ විදුලිය බිඳ වැටීම නිසා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලිය උත්පාදනය සහමුලින්ම ඇනහිට ඇතැයි වාර්තා වී තිබිණ. එපමණකුදු නොව එය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින ගණනාවක්‌ ගතවනු ඇතැයිද කියති.

කොහොමත්, නොරොච්චෝලේ හදපු දා සිට මේ වෙනතෙක්‌ සිදුවූයේ විදුලිය උත්පාදනය කිරීමට වඩා අලුත්වැඩියා කිරීම් නිසා ඒ ගැන කිසිවෙකුත් කලබල විය යුතු නැත. ඊට වගකියන අදාළ බලධාරීන් (හිටපු සහ වත්මන්) කොහොමටවත්ම කලබල වීමේ අවශ්‍යතාවක්‌ නැත. 


මෙය බලාගාරයේ "අතිශය සාමාන්‍ය" තත්ත්වයයි. එකම විශේෂත්වය වන්නේ මෙවර බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම එකවර අක්‍රිය
වීම පමණක්‌ බව කාගෙ කාගේත් දැනගැනීම පිණිස සටහන් කරමු. ඉන් එක්‌ යන්ත්‍රයක්‌ නඩත්තු කටයුතු සඳහා සති කිහිපයක්‌ ක්‍රියා විරහිතව තිබුණු අතර, අනෙක්‌ යන්ත්‍ර දෙක ද මේ වන විට අක්‍රියව තිබේ.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රිය වීමේ කතන්දරය ද අලුත්ම අලුත් එකක්‌ නොවන බව කිව යුතුය. දැනට මාස තුනකට පෙර, එනම් 2015 දෙසැම්බර් 12 වැනිදා ද මෙවැනිම අක්‍රිය වීමක්‌ සිදුවිය. කාගේ හෝ කරුමයකට මෙන් මෙම විදුලි උත්පාදන යන්ත්‍ර "තුනම" එකපාර කැඩෙන එක පුදුමයට කාරණයකි.

රටේ ජනතාව සිය විදුලිබල අවශ්‍යතාවෙන් වැඩි ප්‍රතිශතයක්‌ සපුරාගෙන ඇත්තේ මෑත දශකයක කාලය තුළ බව කිව යුතුය. එතෙක්‌ රටේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පවා කුප්පි ලාම්පු, චිමිණි ලාම්පු භාවිතය දකින්නට හැකි විය. විදුලි බල ලද පසු ලාම්පුව අමතක කළ අපට එක මොහොතක්‌ විදුලි බලය නැතිව කාලය ගතකිරීමට හැකියාවක්‌ නැත. එය ශරීර බද්ධ පුරුද්දක්‌ වී හමාරය.

එහෙව් රටක, "ඉඳහිට" කාර්මික දෝශයක්‌ මතුවී යන්ත්‍ර සූත්‍ර අබලන් වන විට අපට ඇති කැක්‌කුම කුමක්‌ දැයි කවරෙකු වුවද ප්‍රශ්න කළ හැකිය. ඇත්තෙන්ම අපට ඇති ප්‍රශ්නය නොරොච්චෝලේ "ඉඳහිට" කැඩෙන එක නොව, එය නිතරම කැඩෙන්නට සාදා ඇති එකක්‌ වීමය. 


ඒ කාට කාටත්, අපට කියන්නට තිබෙන්නේ නොරොච්චෝලේ මේ තරම් ප්‍රසිද්ධව තිබෙන්නේ කැඩෙන නිසාම බවය. අපට මතක හැටියට මේ වන විට නොරොච්චෝලේ 28 වතාවකට ආසන්නව කැඩී තිබේ.

පසුගිය බ්‍රහස්‌පතින්දා වන විට අක්‍රිය වූ එක්‌ යන්ත්‍රයක විදුලි උත්පාදන ධාරිතාව මෙගාවොට්‌ තුන් සියයක්‌ බව කියති. ඒ අනුව බලන විට අක්‍රිය වූ එම යන්ත්‍ර දෙකෙන්ම මෙගාවොට්‌ 600 ක විදුලි උත්පාදනයක්‌ සිදුව තිබේ. 


එම විදුලි උත්පාදනයන් එක්‌ දිනකදී නොව දින කීපයකදී නොලැබී යන තත්ත්වයක්‌ මතුවන විට විදුලි බල මණ්‌ඩලය පැටලෙන "ජංජාලය" අමුතුවෙන් කිව යුතු නැත. එසේ වන විට එම මෙගාවොට්‌ හයසියයක විදුලි අවශ්‍යතාව කවර හෝ විකල්ප ක්‍රම මගින් සපුරා ගැනීමට අදාළ බලධාරීන්ට සිදුවේ.

බලාගාරය විවෘත කළේ 2011 මාර්තු 22 වැනිදාය. බලාගාරය හදන්නට වැය කළ මුදලේ බදු බර දරන්නේ ජනතාවය. කැඩෙන කැඩෙන පාරට හදන විටත්, විකල්ප ක්‍රම මගින් විදුලිය ජනනය කරන විටත්, ඒවාට වැය කරන්නේද ජනතාවගේ බදු මුදල්ය. ඒ සියලු කාරණාවලට අමතරව වාර්ෂිකව විදුලි බල පද්ධතියට ඇති කරන බලපෑම ද එතරම් සුබදායක නැත. ඉතින් රටේ ජනතාවට කේන්තියැම ගැන සාධාරණව සිතිය යුතුය. 


මේ සියලු අහක යන කුණු ගොඩවලට ජනතාවට පව් ගෙවන්නට සිදුව ඇත්තේ සිය විදුලි බිලෙන් බව කිසිවෙකුත් අමතක කළ යුතු නැත. මාසෙ පඩියෙන් වැඩි කොටසක්‌ විදුලිය සඳහා වැය කරන ලෝකයේ එකම ජාතිය වන්නේ අපය. කන්දක්‌ තරම් උස බදු බරක්‌ද, තවත් "රටේ" ප්‍රශ්න රාශියක්‌ද හිස දරා සිටින ජාතියද අපය.

ඒ නිසාම නොරොච්චෝලේ කන්කරච්චලයක්‌ බවට පත්වීමේ අර්බුදය ජනතාවට බරක්‌ නොවන ආකාරයට කළමනාකරණය කිරීම බලධාරීන්ගේ වගකීමය.
 
Related Posts with Thumbnails