Ads 468x60px

.

ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අප පියවරක් හෝ ඉදිරියට තැබූවක් බව...


ඊයේ ගාලුමුව‍ෙදාර පිටියේදී සැමරූ 68 වැනි නිදහස් සමරුවේදී සුවිශේෂී වූ සිදුවීමක් විය. එනම් ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද ගායනා කිරීමය. අදහස් උදහස් රැසක් මැද මෙම අංගය එකතු කිරීම ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අප පියවරක් හෝ ඉදිරියට තැබූවක් බව අපේ හැඟීමය.

'ජාතිය' යන්නට විවිධ අර්ථකථන දිය හැකිය. ශ්‍රී ලංකාවේ විවිධ ජාතීන් ජීවත් වන බවද සත්‍යයකි. ඔවුහු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී

ජාතීන් වශයෙන් වෙන් වෙන්වූ සංස්කෘතික අනන්‍යතාවන්ගෙන් යුතුව, ශ්‍රී ලංකාව නිජභූමිය හෙවත් උපන් භූමිය කරගෙන ජීවත් වූවෝ වෙති.

ලොව දියුණු ජාතියක් ලෙස අද සලකනු ලබන්නේ රටක් වශයෙන් යුක්තය යන සමස්ත අර්ථයකින්ය. ඉන්දියාවේ හෝ චීනයේ කෙතරම් ජාතීන් විසුවත් ඔවුන් ජාත්‍යන්තරයේදී පොදු අර්ථයකින් ඒ ඒ රටට අනන්‍ය වන ලෙස 'ඉන්දියානුවන්,' 'චීනුන්' වශයෙන් පිළිගැනේ. 


එතැනදී කිසිදු වර්ගවාදී හෝ ආගම්වාදී අර්ථ ඉස්මතු වන්නේ නැත. චීනයේ වැසියන් 'චීනුන්' විනා වෙන අන්කවරකුත් නොවන්නේය. මේ 'බහුවිධ අනන්‍යතාව' දියුණු ජාතියක් ලෙස සමස්ත අර්ථයෙන් පිළිගැනේ.

එහෙත් රට තුළ ජීවත් වන අපි විවිධ භාෂාවන් කතා බහ කරන, විවිධ ආගම් අදහන, ඒ අනුව සිතන පතන, විශ්වාස කරන මිනිසුන්ගෙන් සැදුම් ලත් අය වෙමු. තමන්ගේ භාෂාවෙන් නොව, නොතේරෙන අන් බසකින් බලෙන් හිතට කාවද්දන අදහසකට කිසිවකුත් කැමැති වන්නේ නැත. 


අප කවුරුත් කැමැති වන්නේ තමන් කියන දේ හොඳින් තේරෙන බසකින් හිතට කාවදිනවා නම් පමණය. ඒ අර්ථයෙන් ගත් කල සිංහල අපට තේරෙන දේ අපේ සහෝදර ජනතාවටද ඒ අර්ථයෙන්ම තමන්ගේ භාෂාවෙන් තේරුම් යනවා නම් එතැන ඇත්තේ සුබවාදී දෙයකි. 

දෙමළ මිනිසාටත්, මුස්ලිම් මිනිසාටත් සිංහලෙන් ගැයූ ජාතික ගීයේ සම්පූර්ණ අර්ථය තමන්ගේ බසින් හදවතට කාවදින්නට තරම් දෙයක් වීම, ඔවුන් එය හොඳින් තේරුම් ගැනීම, කෙතරම් වටිනා දෙයක් දැයි මොහොතකට සිතිය යුතුය.

එහෙත් මෙය තේරුම් නොගන්නා ජාතිවාදීන් පිරිසක් මේ උත්සාහය පවා කඩාකප්පල් කරන්නේ නොදියුණු ගෝත්‍රික අදහස් සිත් පුරවාගෙනය. ඒ යට ඇත්තේ ජාතිවාදී කලකෝලාහල අවුළුවන, ගිනි තියන චින්තනයකි. 


ඒ මතින් රුධිර ගංගා මැදින් සිංහලයන් දෙමළ හා මුස්ලිම්වරුන් අතර කාකොටා ගැනීම් ඇති කරවන්නට යන උත්සාහයකි. එය ජාතිවාදී නායකයන් බලයට ගෙන එන්නට, මාවතක් විවර කරන්නට, යටි අරමුණු සහිතව වූවක්ද විය හැකිය.

පළමු නිදහස් සැමරුම දා මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන් පැවැසුවේද ශ්‍රී ලංකාව මවු රට කර ගත් සියලු ජාතීන් එකාවන්ව අපේ මනුෂ්‍යයන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුය යන්නය. 


සේනානායක මහතාගේ කතාව කාටත් අමතකව තිබුණත්, අද එය යළි යළිත් කියැවිය යුතුයැයි, තව තවත් දැක්විය යුතු යැයි සිතෙන්නේ ඒ තුළ තිබුණේද 'ශ්‍රී ලාංකික ජාතිය' යන පිරිපුන් චින්තනය නිසාය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගැයූ ඊයේ එම අවස්ථාව කෙතරම් සංවේදී වූයේද යතොත් විපක්ෂ නායක ආර්. සම්බන්දන්ගේ දෑස් කඳුළින් පිරී ගියේය. ඒ ඔහුටද තම බසින් තමන්ගේ රටේ නිදහස් දිනය දා ජාතික ගීය හිතට හොඳින් කාවැදුණු නිසා විය යුතුය.

මෙය තවමත් වටහා නොගන්නා ජාතිවාදී අමනයන් දිගින් දිගටම සූදානම් වන්නේ යළි අප සැබැවින්ම ගල් යුගයට ගෙන යෑමටත්, විනාශයේ සුසානභූමියට තල්ලු කරන්නටත්ය. 


තමන්ගේ බසින් කතා කර, තමන්ට අවැසි දෙයක් ඉටු කර ගන්නට, යන්නට, එන්නට, දෙපයින් නැඟී සිට දියුණු වන්නට සෙසු ජාතීන් හා මිශ්‍රව වෙසෙන්නට, බියෙන්, සැකෙන් තොර රටක් හැදෙන්නට සියලු ජාතීන්ට මෙය ඉතා හොඳ පූර්වාදර්ශයකි.

දැන් අපට ඇත්තේ කාගෙ කාගේත් පෑරුණු හිත් හදාගෙන මුල සිටම පටන් ගන්නටය. එම ගමන බියකරුය. ජාතිවාදී වනසතුන් පිරි වනාන්තරයක් මැදින් ජීවිතය පරදුවට තබා යායුතු මඟක් බව පෙනෙන්නට ඇත. 


එහෙත් මෙය යායුතුම ගමනකි. එක අඩියක් හෝ පසුපසට නොගෙන පෙරට තැබිය යුතු ගමනකි. එවන් ගමනක මේ පියවරත් හිතට එකඟව කටයුතු කරන සකලවිධ ශ්‍රී ලාංකිකයන්ගේ පැසසුමට ලක්වන්නකි.


 
Related Posts with Thumbnails